වී ගොවීන් අමාරුවේ.. පාරවල් පුරා වී වේලති..

February 6, 2019 at 5:30 pm | lanka C news
වී ගොවීන් අමාරුවේ.. පාරවල් පුරා වී වේලති..

මහකන්නයේ ගොවිතැන් කරන ලද වී අස්වැන්න නෙලීමේ කාලය එලඹ ඇතත් මේ දිනවල උතුරේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වී අස්වැන්න නෙලීමට නොහැකි වීමෙන් ගොවීහු දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

වවුනියාව, කිලිනොච්චිය, මුලතිව් හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි ගොවීන් මෙම අවධානමට මුහුණ පා ඇති අතර අදාල ප්‍රදේශයන්හි ගොවීන් මහකන්නයේ කුඹුරු ගොවිතැන් කටයුතු නියමිත කාලයට ආරම්භ කලද ගෙවුනු දින කිහිපය තුලදී වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ගොයම් ගස් වැටීම, වී අස්වැන්න කැපීමට නොහැකි වීම, වී ඇට පැලවීම, වී වෙලීමට නොහැකි වීම වැනි අවධානම් තත්වයකට පත්ව සිටිති.

පසුගිය වසර කිහිපය තුලදීද වර්ෂාව නොමැති වීමෙන් උතුරේ කුඹුරු රැසක ගොවිතැන් කිරීමෙන් වැලකී සිටියද මෙවර මහකන්නයේ ගොවැතැන් සෑම කුඹුරකම ආරම්භ කොට ඇතත් වී අස්වැන්න නෙලීමට ආසන්න අවස්ථාව වර්ෂාව ඇදහැලීමෙන් ගොවීහු දැඩී පීඩාවන්ට පත්ව සිටින බවට උතුරේ ගොවීහු කියා සිටිති.

එමෙන්ම වර්ෂාව හේතුවෙන් වී අස්වැන්න කැපීමෙන් පසුව වී වේලීමට පහසුකම් උතුරේ ගොවීන්ට නොමැතිකම හේතුවෙන් මේ දිනවල උතුරේ ප්‍රධාන මාර්ගවල වී වේලීම සිදු කරන අයුරුද දැකගැත හැකිය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,027 views
Main News