වෙඩි වැදුන අයෙක් සමග තවත් සැකකරුවෙක් ගිනි අවි දෙකක්ද සමග අත්අඩංගුවේ..

May 4, 2019 at 6:31 am | lanka C news
වෙඩි වැදුන අයෙක් සමග තවත් සැකකරුවෙක් ගිනි අවි දෙකක්ද සමග අත්අඩංගුවේ..

හික්කඩුව, පටුවත ප්‍රදේශයේ යම් අපරාධයක් කිරීම සදහා සැලසුම් කරමින් සිටියදී වෙඩි වැදුන අයෙක් සමග තවත් සැකකරුවෙක් ගිනි අවි දෙකක්ද සමග හික්කඩුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙයින් පළමු සැකකරු සන්තකයේ තිබී බෝර – 12 උණ්ඩ දැමිය හැකි වර්ගයේ ගිනි අවියක් සහ දෙවන සැකකරු සන්තකයේ තිබී මෙරට නිශ්පාදිත රිවෝල්වර හැඩයේ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබේ. සැකකරුවන් පැමිණි බව කියන අංක තහඩු රහිත ඇටෑෂ් වර්ගයේ යතුරු පැදියක්ද පොලීසියේ භාරයට ගෙන තිබේ.

පළමු සැකකරු තමන් සතුව තිබූ බෝර – 12 ගිනි අවියෙන් වෙඩි වැදී බරපතල තත්ත්වයෙන් මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව හික්කඩුව පොලීසිය කියයි. සැකකරුවන් කිසියම් අපරාධයක් සදහා හික්කඩුව ප්‍රදේශයේදී සැලසුම් කරමින් සිටියේද යන්න සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වන බව හික්කඩුව පොලීසිය කියයි.

හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කීර්තිසිංහ මහතාට සිය පෞද්ගලික ඔත්තු කරුවෙකුගෙන් අංක තහඩු නොමැති යතුරු පැදියක් සැරිසරන බවට තොරතුරක් ලැබී තිබේ. ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වද්දී වෙඩි වැදීමක් පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇති අතර පටුවත ප්‍රදේශයේ මාර්ගයේ විශාල ලේ පැල්ලමක් හා මස් කැබලි කීපයක් ද තිබෙන අයුරු දැක ඇත.

අදාල තොරතුර ඔස්සේ තව දුරටත් පොලිස් පරීක්ෂණ සිදු කරද්දී හික්කඩුව, පටුවත ප්‍රදේශයේදි පොලිස් ජිප් රථය දැක පුද්ගයෙකු දිවයන අයුරු දැක ඔහු ලුහුබැද අත් අඩංගුවට ගෙන ඇත. ඔහු සන්තකයේ තිබී මෙරට නිශ්පාදිත රිවෝල්වර හැඩයේ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබෙන අතර ඔහුගේ ඇදුම් වල ලේ තැවරී තිබී ඇත. පසුව ඔහුගෙන් ප්‍රශ්ණ කිරීම් හමුවේ ලැබුණ තොරතුරු මත හික්කඩුව, පටුවත ප්‍රදේශයේ නිවසක වෙඩි වැදී සිටි පළමු සැකකරු සොයාගෙන තිබේ. බෝර – 12 උණ්ඩ දැමිය හැකි වර්ගයේ ගිනි අවිය සොයා ඇත්තේ ඔහු සන්තකයේ තිබී වන අතර එම ගිනි අවියෙන්ම ඔහුට වෙඩි වැදී තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වි තිබේ.

– ජයකාන්ත ලියනගේ

16 views
Main News