වෙසක් පෝදා බූරු ගැසූ තොගයක් අත්අඩංගුවට..

May 1, 2018 at 2:08 am | lanka C news
වෙසක් පෝදා බූරු ගැසූ තොගයක් අත්අඩංගුවට..

ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ වෙසක් පොහොය දින (29) රාත්‍රී මුදල් ඔට්ටුවට තබා සූදු කෙලමින් සිටි දහසය (16) දෙනෙකු අක්මීමන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් 16 දෙනා ගාල්ල, ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නඩු පවරා (30) පෙරවරුවේ පොලිස් ඇපමත මුදාහැර තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන, කැටන්දොල ප්‍රදේශයේ හා ඒ අවට ප්‍රදේශයන්හි පදිංචිකරුවන් 16 දෙනෙකි. මොවුන් කැටන්දොල ප්‍රදේශයේ නිවසක මිදුලේ පහන් දල්වාගෙන සූදු කෙළමින් සිටියදී පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. එම පහන් අතර වෙසක් දිනය නිමිත්තෙන් දල්වන ලද වෙසක් පහන් කූඩුද තිබූ බව අක්මීමන පොලිසිය කියයි.

අක්මීමන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත මහතාට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. පොලීසිය එහි යන විටත් සැකකරුවන් සූදු කෙලීමේ නිරතව සිටි බව අක්මීමන පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අත් අඩංගුවට ගත් පිරිස වෘත්තීමය වශයෙන් සූදු කෙළීමේ නිරත පිරිසක් බවද අක්මීමන පොලීසිය කියයි. මොවුන් මීට පෙරද සූදු කෙලීම මත පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙන බවද අක්මීමන පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. මොවුන් වෙනත් කිසිදු රැකියාවක් නොකරන අය බවත් ජීවිකාව ගෙන යන්නේ සූදු කෙලීමෙන්ම පමණක් බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයිද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය. ඔවුන් මල ගෙවල්, මගුල් ගෙවල් ආදී ස්ථානයන්ට කණ්ඩායම් වශයෙන් ගොස් සූදු කෙලීමේ නිරත අය බවද පොලිසිය කියයි.

– ජයකාන්ත ලියනගේ

14 views
Main News