ශ‍්‍රී ලංකාවට පොහොර දෙන බව මෝදි කියයි…

June 2, 2022 at 3:17 am | lanka C news
ශ‍්‍රී ලංකාවට පොහොර දෙන බව මෝදි කියයි…

යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය සැපයෙන අතර මෙරටට ලැබී දින 20ක් ඇතුළත බෙදාහැරීමට සැලසුම් කර තිබේ.

වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳ (01) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මේ වසර නිම වීමට පෙර අවසන් කර, මහ කන්නය සඳහා ප්‍රතිලාභ ලබාදිය හැකි බව සාකච්ඡාවේ දී අනාවරණය කෙරිණ. මොරාණ, මහගල්ගමුව පෝෂිත ඇළ, මහගෝණ වැව, විලකණ්ඩිය වැව සහ ගොඩිගමුව වැව ව්‍යාපෘති මීට සමගාමීව වැඩ නිමවීමට නියමිතය.

විදේශීය අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේ දී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

ගත වූ තෙදින තුළ සමස්ත විදුලි උත්පාදනයෙන් 80%ක් ජල සහ සුළං බලයෙන් ජාතික විදුලිබල පද්ධතියට සැපයූ බව අනාවරණය විය. ජලය මත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති ඉහළ නැංවීමට හා වහලය මත සවිකරන සූර්ය පැනල සඳහා ලබාදෙන ප්‍රතිලාභ වැඩි කර, පාරිභෝගිකයන් දිරිගැන්වීමට පියවර ගත යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

යල කන්නයේ වගා කටයුතු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණු අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ ජලය සැපයෙන ඉඩම්වලින් 50%ක් මේ වන විටත් වපුරා තිබේ. මහවැලි ගෙවතු දෙලක්ෂ විසිපන්දහසක අතිරේක භෝග වගා සඳහා සැලසුම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළ අතර මෙතෙක් වී වගා කර නොමැති ඉඩම් වෙනත් භෝග වගා සඳහා යොමු කර ඇති බව නිලධාරිහු පෙන්වා දුන්හ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

27,690 views

4 Comments to “ශ‍්‍රී ලංකාවට පොහොර දෙන බව මෝදි කියයි…”

  1. Hiranthe says:

    Wow. Is Modi our leader now. is Gota Go Home aragalaya finished. This is a misleading heading. Gota is still here to destroy Mother Lanka.

  2. Live Brave says:

    අතරමැදියන් නැතිව රුසියාවෙන්ම සෘජුව තෙල් මිලදී ගත්විට පෙට්‍රල් හෝ ඩීසල් ලීටරයක් රුපියල් 200ට අඩු මිලට පාරිභෝගිකයාට ලබා දිය හැක.
    ඒ සඳහා ජනතාව වහාම තම අරගල, උද්ඝෝෂණ ආරම්භ කල යුතුයි.
    ( ලෝක වෙළෙඳ පොළේ 110 USD වන බොර තෙල් බැරලය රුසියාව අපට 35 USD වලට ලබා දීමට සූදානම්.ඊනියා විධායක ජනාධිපතිටවත් ඒ සහනය ලාංකිකයන්ට ලබා දීමට බැරුව බටහිරට සහ දුෂ්ඨ බලවේග වලට අවනත වී ඉන්න හැටි බලන්න)

  3. reader says:

    මොරගහ කන්ද උමාඔය ව්‍යාපෘති ඉවර නැද්ද තාම? ඒවත් නිකං හරියට අර හැමදාම බාගෙට හදල තියෙන පංසල් වගේ. කවදාවත් ඉවරකරන ඒව නෙමෙයි.

  4. SL #gOhOME says:

    ලංකාවේ හදපු නැනෝ පොහොර එකේ පේටන්ට් එක ඉන්දියාවට විකුණලා දැන් ඉන්දියාවෙන් EMA නැනෝ පොහොර ගන්නවා කියන එක අත්තක් .
    මේ වැඩේ වෙනකල් බලාගෙන හිටපු කෘෂිකර්මේ කුහකයා කවුද. රටේ නායකයින් කවුද ?

Main News