ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ඉතාම අභග්‍යසම්පන්න සිදුවීම පාර්ලිමේන්තුවේ..

March 10, 2017 at 6:49 am | lanka C news
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ඉතාම අභග්‍යසම්පන්න සිදුවීම පාර්ලිමේන්තුවේ..

“යකඩ මල්ලට ගුල්ලෝ ගැසූ විට පන් මල්ල ගැන කවර කථාද?’ කීවා සේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය හිමි උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගන්නා ආණ්ඩුවකින් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බලාපොරොත්තු විය නොහැකි බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ මාධ්‍ය හමුව අමතමින් පක්‍ෂයේ නියෝජ්‍ය සභාපති, ජයන්ත සමරවීර මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ඉතාමත් අභග්‍යසම්පන්න සිදුවීමක් අපි ඊයේ දැක්කා. ‘රාජපක්‍ෂ ඒකාධිපති රෙජිමය’ පන්නලා තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් දෙනවා කියපු මේ ආණ්ඩුව අද කුමක්ද කරමින් සිටින්නේ. එක පැත්තකින් පළාත් පාලන ඡන්දය කල් දමමින්, තවත් පැත්තකින් ගොවි, කම්කරු, ශිෂ්‍ය, වෘත්තිකයින්ගේ අයිතිය උදුරා ගනිමින් සිටිනවා. තම අයිතීන් අහිමි කරනකොට පාරට බහින ජන බලවේගවලට පහර දෙනවා. කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා රබර් උණ්ඩවලින් තමයි ඒවාට විසඳුම් දෙන්නේ.

එවැනි ප්‍රජාතන්ත්‍රවිරෝධී භාවිතාවක ඉන්න මේ කුණු ගඳ ගහන යහපාලන රෙජිමය ඊයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තිබෙන අදහස් දැක්වීමේ ශුද්ධ වූ අයිතියත් පැහැරගනු ලැබුවා. කථානායකවරයා ඊයේ(08) ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගත නොහැකි බව දැනුම් දුන් පසු, ඒ පිළිබඳව වාද විවාද නොවෙයි, කරුණු කිහිපයක් දැක්වීමට අප පක්‍ෂයේ නායක, විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියා. ඒ ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින්, ඊට ඉඩ නොදෙමින් කථානායකවරයා කටයුතු කිරීමේදී තමයි ඊට ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, මේ රටේ කෘතහස්ත දේශපාලනඥයකු වූ දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් මැදිහත් වූයේ. ඔහු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සම්ප්‍රදායන්, රීතීන් පිළිබඳ මනා පරිචයක් ඇති ඒ පිළිබඳ මනා දැනුමක් තිබෙන මන්ත්‍රීවරයෙක්. ඒ වගේම පසුගිය රජයේ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයද දැරූ අයෙක්. ඔහු සැමවිටම පාර්ලිමේන්තුව තුළ පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගනිමින් කටයුතු කළ අයෙක්.

විමල් වීරවංශ මහතාට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දැක්වීමේ ඉඩකඩ ලබා දෙන ලෙසයි ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ. ඊට කිසිසේත් ඇහුම්කන් නොදුන් කථානායකවරයා අවසානයේදී දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වැනි කෘතහස්ත මහජන නියෝජියකු නම්කර පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්නට නියෝග කරනවා. ඒ ඉවත් කිරීමට ගෙන්වන්නේ කැලෑ පොලීසියක්. වේත්‍රධාරිවරයා සමඟ පැමිණි පොලිස් බල ඇණියට පොලිස් අංක තහඩු නැහැ. ඒවා ගලවා තබා පාතාල කල්ලියක් ලෙස මේ පොලිස් බල ඇණිය පාර්ලිමේන්තුවට කඩා වදින්නේ පැති දොරටුවලින්. මේ සියල්ල නින්දිත ක්‍රියා. පාර්ලිමේන්තුව සතු උත්තරීතර භාවයට මහජන නියෝජිතයන් සතු වරප්‍රසාද වලට මෙතැනදි සිදු වන්නේ සුවිශාල හානියක්

අවසානයේදී ඒ ප්‍රජාතන්ත්‍රවිරෝධි ඉවත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම විරෝධය දැක්වූ පසු එජාපය දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට යෝජනාවක් ගෙන ආවා. මෙසේ ප්‍රජාතන්ත්‍රවිරෝධිව කටයුතු කරමින් පාර්ලිමේන්තු ඉතිහාසයට දැවැන්ත කළු පැල්ලමක් එක් කරන අවස්ථාවේදී ජවිපෙ කටයුතු කළේ කොහොමද? ඔවුන් අනුගමනය කළේ නපුංසක පිළිවෙතක්. එජාප යෝජනාවට විරුද්ධ වීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. මේ නරක පූර්වාදර්ශය හමුවේ ඔවුන් ඡන්දය දීමෙන් වැළකී සිටියා. මේ තමයි ජවිපෙ අපේ ආණ්ඩුව බොරු කියලා එලවලා ගෙනාපු යහපාලනය, තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය.

අපේ පක්‍ෂය පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ ස්වාධින කණ්ඩායමක් ලෙස පිළිගන්නා ලෙස අපි ඉල්ලා සිටියේ ඉතාමත් සාධාරණ හේතු මතයි. අපි 2015 මහ මැතිවරණයට පෙනී සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ. එම මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා. රට බෙදන – රට විකුණන ප්‍රතිපත්තියට විරුද්ධව ඒ සන්ධානයට මන්ත්‍රී ධුර 98ක් ලැබුණා. අද ඒ මන්ත්‍රීධුර අතුරින් 43ක් කොල්ල කාලා මෛත්‍රී- රනිල් ආණ්ඩුවක් හදාගෙන ඉන්නවා. මේ මන්ත්‍රීධුර 43 කොල්ලකෑවේ ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දීලා, සංවර්ධන කමිටු සභාපතිකම් දීලා, වාහන දීලා. එක්සත් ජනතා නිදහස් සන්ධානය 2004 දී හැදුවේ අපි කියලා අද මහ ලේකම්ලා වෙලා ඉන්න මහින්ද අමරවීර දන්නවාද? එදා රට බෙදපු – රටේ සම්පත් විකුණපු රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ගෙදර යවන්න. එහෙම හදපු එජනිස අද රට බෙදන විකුණන ආණ්ඩුවක පාර්ශ්වකරුවකු වී සිටින විට අපට එජනිස සමඟ තවදුරටත් ඉන්න බැරි නිසයි අපි ඉවත් වීමට තිරණය කළේ.

ඒ නිසා අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව විපක්‍ෂයේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායමක් ලෙස ඉන්න බව කථානායකවරයාට පළමුවරට දැනුම් දුන්නේ 2016 අප්‍රේල් 05 වැනිදා මීට ඉහතදී එසේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායමක් ලෙස එහි සාමාජික පක්‍ෂ කටයුතු කළ පූර්වාදර්ශය තිබෙනවා. අපට අදාළ උදාහරණ දෙකක් තිබෙනවා. 2005 ජුනි මාසයේදී ජවිපෙ එජනිසයෙන් ඉවත් වූවා. එහි මන්ත්‍රීවරු 39 දෙනා ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ලෙසයි ඊට පසු කටයුතු කළේ. 2008 අප්‍රේල් 08 වැනිදා ජවිපෙන් ඉවත් වූ අපද පාර්ලිමේන්තුව තුළ වෙනම ස්වාධින කණ්ඩායමක් ලෙස පිළිගනු ලැබුවා. මේ සිදුවීම් දෙකම විජමු ලොකුබණ්ඩාර කථානායකතුමාගේ කාලයේ සිදු වූයේ. එවැනි ඉතාමත් පැහැදිලි පූර්වාදර්ශ තිබියදී තමයි. කථානායකවරයා ජානිපෙ මන්ත්‍රීවරුන්ගේ අයතීන් උදුරා ගත්තේ. ඉහත කී පැහැදිලි කිරීමට කථානායකවරයා ඉඩ දුන්නේ නැහැ. ඉඩ නොදුන්නේ මෙහි ඇති අසාධාරණය කුඩා දරුවකටත් තෙරෙන හින්දා. අද රනිල් බටලන්ද තියරියට එජාපයේ නියෝජ්‍ය නායකයාද වන කථානායක කරූ ජයසූරියත් යොදා ගැනීමට කටයුතු කර ඇති බව පෙනෙනවා.

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා ද සහභාගී විය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

184 views
Main News