ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තු නොවූ මන්ත්‍රීවරුන්ගේ සහාය විශ්වාසභංගයේ දී අගමැතිට…

April 4, 2018 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තු නොවූ මන්ත්‍රීවරුන්ගේ සහාය විශ්වාසභංගයේ දී අගමැතිට…

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂිත ශල්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට සහ මුඛ හා මුඛ ශල්‍ය වෛද්‍ය සංකීර්ණය සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදු කෙරිනි.

ශල්‍ය වාට්ටු සංකීර්ණය මහල් 10 කින් යුක්ත වන අතර, ඒ සදහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 690 කි. මුඛ හා මුඛ ශල්‍ය වෛද්‍ය සංකීර්ණය මහල් 08 කින් යුක්ත වන අතර ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 997 කි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “සෞඛ්‍ය සේවාව පෞද්ලීකරණය කරන බවට ඇතැමුන් චෝදනා කරනවා. නමුත් නව වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා. වයඹ සබරගමුව, මොරටුව යන විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ ස්ථාපිත කරනවා. නමුත් ලංකාවේ දේශපාලන සටන් පාඨ මත සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන බවට චෝදනා කරනවා. සයිටම් එක තමයි ලංකාවේ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන බවට ඇතැම් පිරිස් ගන්නා උදාහරණය. සයිටම් එකෙන් කොහොම ද ඒ බව තීරණය කරන්නේ. ලංකාවේ සටන් පාඨ මත ආණ්ඩු පෙරළන්නත් පුලුවන්. රාජ්‍ය භාෂාව සිංහල භාෂාව කරන බව එක සටන් පාඨයක්. නමුත් අද ඉන්න අයට සිංහලත් බෑ. ඉංග්‍රිසිත් බෑ. ඉන්දියාවේ විශ්ව විද්‍යාලවල කලා පිඨයේ නිලවරණයේ පෝස්ටර් ගහන්නෙත් ඉංග්‍රීසි භාෂාවෙන්. අපේ රටේ නිලවරණයක දී ඉංග්‍රීසි භාෂාවෙන් පොස්ටර් ගහන්නේ නෑ. එහෙම ගහන්න ගියොත් නිලවරණයට ඉදිරිපත්වන අයත් අනාථ වෙනවා. එම නිසා හෙද සේවාව සදහා ස්ථාපිත කරන හෙද පීඨයේ විශේෂයෙන්ම ඉංග්‍රිසී භාෂාව ඉගැන්වීමට අපි පියවර ගන්නවා. ඇමරිකාව, එංගලන්තය වැනි රටවල හෙද හෙදියන්ට හොද රැකියා අවස්ථා තිබෙනවා. ශ්‍රී ලංකාවේ හොදට පුහුණූ කිරීමෙන් ඔවුන්ට රැකියා අවස්ථා ලබාගන්න පුලුවන්.

කරාපිටිය ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. මාතර මහ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය සහ බාහිර රෝගී අංශය පමණක් මාතර නගරයේ ස්ථාපිත කරනවා. අනෙක් සෙසු ඒකක ගොඩගම පිහිටි රෝහල් සංකීර්ණයට ගෙනයනවා. මට අවශ්‍ය වී තිබෙන්නේ ප්‍රතිකාර ලබාගැනීම සදහා කොළඹට පැමිණෙන ගම්වැසි ජනතාවට සියලු ප්‍රතිකාර ගමෙන් ලබාගැනීමට අවස්ථාව උදා කිරීමයි. රජය විසින් වසරකට රුපියල් කෝටි 23500 ක් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වෙන් කරනවා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සහ විදේශ ණය ආධාර මත තවත් මුදල් සපයා ගන්නවා. ඒ අනුව සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා වසරකට රුපියල් කෝටි 50000 ක් පමණ වැය කරනවා.

මේ අතර මෙම උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් විශ්වාසභංග යෝජනාව පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියහ. “විශ්වාසභංග යෝජනාව අපි ජය ගන්නවා. ඉදිරි වසර 02 තුලත් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නොලැබෙන බවට අසත්‍ය ප්‍රචාර පතුරු වනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තු නොවූ පිරිස් මෙම විශ්වාසභංගයේ දී සහයෝගය ලබාදෙනවා. රජයේ ගැටුම් ඇති කරන්නේ රජය පිහිටුවීමට උදවු නොකළ පිරිසක්. විශ්වාසභංගය ජයගැනීමෙන් අනතුරුව නිවැරදි මාවතක් ඔස්සේ රජය ඉදිරියට වැඩ කරනවා.”

– ප‍්‍රසන්න අධිකාරි

18 views
Main News