ශ‍්‍රීපාද වන්දනාකරුවන් ලක්‍ෂ දෙකක් එක දිනකට එයි… ඉඩ නැතිව පිරිසක් හැරී යති.. වාහන පෝලිම කිලෝමීටර 05 පනී..

February 3, 2019 at 12:40 pm | lanka C news
ශ‍්‍රීපාද වන්දනාකරුවන් ලක්‍ෂ දෙකක් එක දිනකට එයි… ඉඩ නැතිව පිරිසක් හැරී යති.. වාහන පෝලිම කිලෝමීටර 05 පනී..

සති අන්ත නිවාඩුවත් සමග  හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට ලක්ෂ දෙකක ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණ බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.

වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නිය සියළුම රථගාල් වල ගාල් කර සෙසු වාහන නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නියේ සිට මස්කෙලිය සමන් දේවාලය දක්වා කිලෝමිටර් 5 පමණ දුරට මාර්ගය එක් පසක ගාල් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

පැමිණි වන්දනාකරුවන් පිරිසකට ශ්‍රි පාදය කරුණා කිරිමට නොහැකිව ආපසු ගිය බවත්, නල්ලතන්නියේ සිට මස්කෙලිය දක්වා වන්දනාකරුවන් පැමිණෙන වාහන නිසි රථ වාහන සැලැස්මක් යටතේ ගාල් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

සති අන්ත නිවාඩුවත් සමග කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ඊයේ (02) සිට ධාවනය වු විශේෂ දුම්රියෙන් ද ශ්‍රි පාදය කරුණා කිරිමට හැටන් දුම්රිය ස්ථානයට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටියහ.

හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණෙන වන්දනාකරුවන් නල්ලතන්නිය දක්වා ප්‍රවහනය කිරිමට හැටන් ලංගම ඩිපොවෙන් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

141 views