ශ‍්‍රීලනිපයට ද්‍රෝහී වූ මෛත‍්‍රීට රටට ද්‍රෝහී වන එක සුළු දෙයක්.. දුමින්දලා තම තමන්ගේ කේන්දර බලා ගනු..

October 4, 2017 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිපයට ද්‍රෝහී වූ මෛත‍්‍රීට රටට ද්‍රෝහී වන එක සුළු දෙයක්.. දුමින්දලා තම තමන්ගේ කේන්දර බලා ගනු..

මහින්ද රාජපක්ෂගේ වයස ගැන සොයන්නට පෙර රටත් පක්ෂයත් විනාශ කරන දුමින්ද දිසානායකලා තම තමන්ගේ කේන්දර බලා ගත්තොත් ඇඟට ගුණ බව  ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළේ කවුද යැයි යන්න අද කාටත් රහසක් නොවන බව පැවසූ රණතුංග මහතා අද ආණ්ඩුවේ ඇමැතිකම් දරන කවුරු කවුරුත් ඊට වගකිව යුතු බවත් නීතියෙන් ගැලවුණත් හෘදය සාක්ෂියෙන් ගැලවෙන්නට ඔවුන්ට පුළුවන්කමක් නැති බවත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමඟ ඊයේ (03) පැවැති සුහද හමුවකට සහභාගී වෙමිනි. මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අපි  මුල ඉඳන්ම කිව්වේ මේ හවුල් ආණ්ඩුවේ එකම අරමුණ රට බෙදන එක කියලයි. ඒකාබද්ධයේ අපි මේ හවුල් ආණ්ඩුවට එහෙම චෝදනා කළේ හේතු කාරණා ඇතුවයි. අද අපි කිව්ව දේවල් ඇත්ත වෙමින් යනවා. රට බෙදන ව්‍යවස්ථා කෙටුම්පත දැන් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය එදා සිටම උත්සාහ කළේ රට බෙදන්නයි. එදා සටන් විරාම ගිවිසුම් ගහලා කොටියට රට පාවා දෙන්න හදපු රනිල් අද ව්‍යවස්ථා උගුලක් ගෙනල්ලා දකුණේ ජනතාවගේ ඇස් වහලා උතුරත් දකුණත් බෙදා වෙන් කරන්න උත්සාහ කරනවා.

මේ ව්‍යවස්ථාව සම්මත වුණොත් තවදුරටත් අපේ රට ඒකීය රටක් නොවෙයි. සිංහලෙන් ඒකීය කියලා දෙමළෙන් සන්ධීය කියලා රනිල් මේ හදන්න යන්නේ බෙදුණු රටක් කියන එක දැන් පැහැදිලියි. හැබැයි අගමැතිවරයා මෙච්චර දෙයක් කරනකම් ජනාධිපතිවරයා දන්නේ නැහැ.

පන්සල්වල, ඉස්කෝලවල උත්සවවලට ගිහින් ජනාධිපතිවරයා පාරම් බානවා රට බෙදන්නේ නැහැ, රණවිරුවන් දංගෙඩියට යවන්නේ නැහැ කියලා. හැබැයි ජනාධිපතිවරයා කවදාවත් වැරදිලාවත් ජාත්‍යන්තරය ඉදිරියේ ඒ වගේ කතා කියන්නේ නැහැ.

ගමේ මිනිහා ඉස්සරහා සිංහයා වගේ ඉන්න ජනාධිපතිවරයා  ජාත්‍යන්තරය ඉදිරියේ පූස් පැටියකුටත් වඩා හීලැයි. සමහරවිට එතුමා බය ඇති ජාත්‍යන්තරය තරහා වෙයි කියලා. එතුමට එක එක පැත්තකින් සාධාරණයි. මොකද එතුමට බලය ගන්න උදව් කළේ ජාත්‍යන්තරය නිසා.

ඇත්තටම මේ යහපාලන ආණ්ඩුව යැයි කියන විකෘති සත්වයාගේ සැබෑ දෙමවුපියන් වන්නේ ජාත්‍යන්තර ප්‍රජාවම තමයි. ජාත්‍යන්තරයට බියෙන් රටත් ජාතියත් පාවා දෙන මේ වගේ ආණ්ඩුවක් ලෝකේ කොහේවත් නැතුව ඇති. මේක ආණ්ඩුවක් නෙමෙයි පාණ්ඩුවක්.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියනවා මහින්දලට වගේ රනිල් එක්ක ඩීල් එයාට නැහැ කියලා. දැන් මුලු රටම දන්නවා ඩීල් කුමාර කියන්නේ කවුද කියලා. අපි අලුතෙන් කියාදෙන්න දෙයක් නැහැ. රතු අලි පැටවු හාමු වෙනුවෙන් කඩේ යනවා කියන එක කාටත් පැහැදිලියි. දැන් තියෙන්නේ අලියගේ නැට්ටේ ගැටගහපු සීනුවක්.

දැන් ජනතා විමුක්ති පෙරමුණේ තියෙන්නේ ‍රෝහණ විජේවීරගේ ප්‍රතිපත්ති නෙමෙයි. දැන් තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තියි. රෝහණ විජේවීර ජීවතුන් අතර හිටියා ජ. වි. පෙ හැදුවේ මොකටද කියන එක අනුර කුමාරලාට කියාදෙයි.

ජනාධිපතිවරයාම කියනවා ජ. වි. පෙ කියනේ ආණ්ඩුවේ කොටස්කාරයෙක් කියලා. ඉති‍න් කොහොමද අනුර කුමාරලා රෙදිත් ඇඳගෙන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දරන්නේ? විපක්ෂ නායකකම වගේම විපක්ෂයේ අනෙක් තනතුරුත් සැබෑ ලෙසම හිමිවෙන්න ඕනේ ඒකාබද්ධ විපක්ෂයටයි.

මං අහගෙන නිදහස් පක්ෂයේ ලේකම්වරයා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වයස ගැන කතා කරනවා. එතුමා අපහාස කරන්නේ පියෙක් වගේ ළඟ ඉඳගෙන එතුමට ඔතැනට එන්න උදව් කරපු නායකයාටයි. තමන් කැබිනට් ඇමැතිවරයකු වුණේ මහින්ද නිසා කියන එක අද දුමින්දට අමතක වෙලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයකට තියෙන මුල අමතක වීමේ රෝගය දුමින්දටත් බෝවෙලා. අද මහින්ද මහත්තයාට වැඩිපුරම බනින්නේ 2015ට ඉස්සර එතුමගේ කකුල් ළඟ වැඳ වැටුණ අයයි. දුමින්දලාට මුල අමතක වුණාට සැබෑ පාක්ෂිකයන්ට මුල අමතක නැහැ.

අදටත් මහින්ද මහත්තයා වටේ ලක්ෂ ගණන් ජනතාව එක්රොක් වී ඉන්නේ ඒ නිසයි. ජනාධිපතිකම නැති වුණ මහින්ද දුමින්දලාට වටින්නේ නැති වුණාට මේ රටේ ඉන්න 58 ලක්ෂයක් වෙච්ච ජනතාවකට මහින්ද අදටත් රජෙක් බව අමතක කරන්න හොඳ නැහැ.

දුමින්දලාට තියෙන එකම ප්‍රශ්නය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දවසින් දවස පාක්ෂිකයන් ඉවත් වෙන එකයි. දුමින්දලා දන්නවා මහින්ද නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ කියලා. පොදුජන පෙරමුණ වටේ ජනතාව ඒකරාශී වෙන එක සමහරුන්ට දැන් දරා ගන්න බැහැ.

නිදහස් පක්ෂය කැඩුවේ මහින්ද නෙමේ මෛත්‍රීපාල ජනාධිපතිවරයායි කියන එක මේ රටේ පොඩි ළමයෙක් වුණත් දන්න කාරණයක්. තමන්ගෙම පක්ෂයේ නායකයාට විරුද්ධව ජනාධිපතිවරණයට ගියේ කවුද කියන එක කවුරුත් දන්නවා. පක්ෂයේ නායකයාට ද්‍රෝහි වුණ කෙනාට රටට ද්‍රෝහි වීම කියන්නේ සුලු දෙයක්.

ජනාධිපතිවරණයේ දී තමන්ගේ පක්ෂයේ නායකයාත් පක්ෂයත් පරාද කරලා ඡන්දයක් දිනා ගන්න බැරුව වැලේ වැල් නැතුව හිටපු රනිල් අගමැති කරලා, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හැදුවේ වර්තමාන ජනාධිපතිවරයා මිසක් හිටපු ජනාධිපතිතුමා නොවෙයි.

එක්සත් ජාතික පක්ෂයට බලය දීලා ආණ්ඩුවක් හැදුවා මදිවට ඒ වෙනකම් තුනෙන් දෙකක බලයක් එක්ක ආණ්ඩු කරපු නිදහස් පක්ෂය සිරිකොතේ වළං හෝදන, ඉඳුල් කන තත්ත්වයට පත් කළෙත් අද පක්ෂයේ මහ පුටුවල ඉන්න අයම තමයි කියන එක නිදහස් පාක්ෂිකයන්ට රහසක් නොවෙයි.

අපට විනය පරීක්ෂණ තියන්න යන දුමින්දලා තමයි අපේ පක්ෂය විනාශ කරලා දැම්මේ. ඒ හින්දයි අපි හැමදාම කියන්නේ අපට කලින් මෛත්‍රීට විනය පරීක්ෂණ තියන්න ඕනේ කියලා. පක්ෂය විනාශ කරපු අයට කවදාවත් තමන්ගේ හෘදය සාක්ෂියෙන් ගැලවුමක් නැහැ කියන එක කවුරුත් මතක තබා ගතයුතුයි.

මහින්ද කියන්නේ වර්තමනා නායකයන් වගේ පක්ෂයෙනුත් පාක්ෂිකයන්ගෙනුත් ප්‍රතිත්ෂේපිත නායකයෙක් නෙමෙයි. මහින්ද කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කවදත් ආදරය කරන නායකයා කියන එක ගැන විවාදයක් නැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

73 views

2 Comments to “ශ‍්‍රීලනිපයට ද්‍රෝහී වූ මෛත‍්‍රීට රටට ද්‍රෝහී වන එක සුළු දෙයක්.. දුමින්දලා තම තමන්ගේ කේන්දර බලා ගනු..”

  1. David Milli-Banda says:

    Aye monawada……………. Nobel thagga himi wanna rata sampurnayen kaala thama samu ganne.
    Maara kusa ginnak welandila………….

  2. Ranjith says:

    Balagana hitapang 2025 enakam pissu ballawage burannethuwa.

Main News