ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙන යෝජනා නෑ.. අද මධ්‍ය කාරක සභාවේදී පෙරලි නෑ… 16 පිලත් යයි..

May 17, 2018 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙන යෝජනා නෑ.. අද මධ්‍ය කාරක සභාවේදී පෙරලි නෑ… 16 පිලත් යයි..

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (17 වැනිදා) පැවැත්වෙන පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී තීරණයක්‌ ගැනීම පිළිබඳව අවිනිශ්චිතතාවයක්‌ මතුව ඇත.

එම මධ්‍යම කාරක සභා රැස්‌වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17 වැනිදා) පස්‌වරු 7.00 ට ජනපති නිල නිවසේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් වෙනවාද නැද්ද පිළිබඳව එම මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී තීරණය කරන බව ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 16 දෙනා මීට පෙර ප්‍රකාශ කර තිබුණත් කළ විමසීමකදී හිටපු ඇමැති එස්‌. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ එවැනි යෝජනාවක්‌ පිළිබඳව එහිදී කතා කරන්නේවත් නැති බවය.

එවැනි යෝජනාවක්‌ ඉදිරිපත් වී තිබෙන බවත් එහෙත් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක්‌ ගන්නෙ නැති බවත් පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මූලික කරගෙන මධ්‍යම කාරක සභා රැස්‌වීම අද පැවැත්වෙන බවත් ඒ මහතා කීය.

ආණ්‌ඩුවෙන් ඉවත්වූ හිටපු ඇමැති ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්‌කොඩි මහතාගෙන් ඒ පිළිබඳව කළ විමසීමකදී පැවසුවේ ශ්‍රීලනිපය ආණ්‌ඩුවෙන් ඉවත් වීම පිළිබඳව අද තීරණයක්‌ ගන්නා බවයි.

අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී ඒ පිළිබඳව තීරණයක්‌ ගන්නා බව ජනාධිපතිවරයා පසුගිය ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී ප්‍රකාශ කළ බවත් ප්‍රතිපත්තියක්‌ තියාගෙන ශ්‍රිලනිපයට තවදුරටත් ආණ්‌ඩුවේ සිටීමට නොහැකි බවත් වීරක්‌කොඩි මහතා ප්‍රකාශ කළේය.

ආණ්‌ඩුවෙන් ඉවත් වූ හිටපු රාජ්‍ය ඇමැති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. ඒකනායක මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ ආණ්‌ඩුවෙන් ඉවත් විය යුතුයි යන යෝජනාව අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් එවැනි යෝජනාවක්‌ සම්මත කර ගැනීමට කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව තමන් දන්නා පරිදි නම් තීරණයක්‌ ගෙන නැති බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (16 වැනිදා) පැවැසීය.

ආණ්‌ඩුවෙන් ශ්‍රීලනිප පාර්ශවය ඉවත් විය යුතු බවට යෝජනාවක්‌ ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පසුගිය සතියේ භාරදී තිබිණි.

කෙසේ වෙතත් ශ්‍රීලනිප මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ ආණ්‌ඩුවෙන් ඉවත්වන්න ශ්‍රීලනිපයටත් තමන්ටවත් කිසිම අවශ්‍යතාවයක්‌ නැති බවයි.

කුෂාන් සුබසිංහ
– divaina

14 views
Main News