ශ‍්‍රීලනිප බෝඞ් ලෑල්ල පමණක් මෛත‍්‍රීට.. ගෙඩිය පිටින් මහින්ද ලගට..

May 2, 2017 at 3:00 pm | lanka C news
ශ‍්‍රීලනිප බෝඞ් ලෑල්ල පමණක් මෛත‍්‍රීට.. ගෙඩිය පිටින් මහින්ද ලගට..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා පක්ෂයේ බෝඩ් ලෑල්ල අතේ තියාගෙන සිටින විට මුළු පක්ෂය ගෙඩිය පිටින් ඇත්තේ මහින්ද රාජපක්ෂ ළඟ බව ගෝල්ෆේස් ක්‍රීඩාංගණය උතුරන්නට ගැලූ ජනගඟ රටටම පෙන්නුම් කළේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ගෝල්ෆේස් රැලිය අසාර්ථක වී ඒකාබද්ධ විපක්ෂය මුහුදට පනින තුරු බලා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට අද සිදුව ඇත්තේ ගලකුත් ගැට ගසාගෙනම මුහුදට පනින්නට බව පැවසූ රණතුංග මහතා ගැටඹේ නොගොස් ගෝල්ෆේස් ආවා නම් සැබෑ ජනබලය ඇ‍ත්තේ කාටදැයි බලා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇති බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ මැයි දිනය සාර්ථක කර ගැනීමට සහාය දුන් මිනුවන්ගොඩ ආසනයේ ක්‍රියාකාරීන්ට සුබපැතීමට උඩුගම්පොළ දී පැවැති උත්සවයක් අමතමිනි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් පවත්වන ලද සාර්ථකතම මැයි දින රැලිය ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් ගෝල්ෆේස් ක්‍රීඩාංගණයේ දී පවත්වන්නට ඒකාබද්ධ විපක්ෂයට හැකියාව ලැබුණා. මුළු රට නියෝජනය කරන ඒ ලක්ෂ සංඛ්‍යාත ජනගඟ ගෝල්ෆේස් ක්‍රීඩාංගණයට ගැලුවේ මහින්ද රාජපක්ෂ කියන අසහාය නායකයාට පුදන උපහාරයක් වශයෙනුයි.

වහපාලන ආණ්ඩුවේ ඉන්න අන්දරේලා ගෝල්ෆේස් රැලිය ගැන දැන් විවිධ කතා කියයි. හැබැයි ගෝල්ෆේස් ක්‍රීඩාංගණය පමණක් නොවෙයි ඒ අසළ තිබෙන ගාලු පාරත් අනෙක් පැත්තෙන් කොල්ලුපිටිය දක්වාත් පුරවා දැමූ අතිවිශාල ජනකායක් ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට එක් වූ බව මේ රටේ ඉන්න ඇස් පේන මිනිස්සු දැක්කා ‍‍

ආණ්ඩුව ගෝල්ෆේස් ක්‍රීඩාංගණය දුන්නේ ඒකාබද්ධ විපක්ෂයට සෙනඟ නෑ කියන උපකල්පනය මත ඉඳලයි. ආණ්ඩුව හිතුවා අපි ඇනගනියි කියලා. දැන් කාටත් පේනවා ඇන ගත්තේ කවුද කියලා. ආණ්ඩුව ගෝල්ෆේස් ක්‍රීඩාංගණය අපට දීලා කරපු අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න අපට හැකි වුණා.

ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය කියන පක්ෂ හතරේම මැයි රැලිවලට වඩා වැඩි සෙනඟක් ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට ආවා. ඒ ජනතාව පෙන්නුම් කරේ ජනතා බලයට ආණ්ඩු බලය පමණක් නොව කොයි බලයත් යටයි කියන කාරණයයි.

සැබෑ ශ්‍රී ලංකාකාරයා ඉන්නේ කා එක්ක ද කියන එක මේ මැයි රැලියෙන් පැහැදිලි වුණා. දැඩි අව් රශ්මිය නොතකා ගෝ‍ල්ෆේස් ක්‍රීඩාංගණයට එක් වූ ඒ ජනතාවට අපි අපේ ගෞරවණීය උපහාරය පුද කරනවා. ඒ ජනතාව රට හමුවේ තැබුවේ මේ ආණ්ඩුව දැන් වහා ගෙදර යා යුතුයි කියන අභිමානවත් පණිවිඩයයි.

ඒ පණිවිඩය ආණ්ඩුව තේරුම් ගත යුතුයි. අපි ඒ ජනතාවට පොරොන්දු වෙනවා තවත් වැඩි කලක් යන්න ඉස්සර මේ පරගැති ආණ්ඩුව ගෙදර යවලා මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ජනතාවාදී ආණ්ඩුවක් මේ පොළවේ ස්ථාපිත කරනවා කියලා. මේ වගේ ජනගඟක් අපි පසුපස්සෙන් එනවා නම් ආණ්ඩු පෙරළන එක මහ වැඩක් නෙමෙයි.

එක්සත් ජාතික පක්ෂයේ පිළිකන්නේ ලැගගෙන ඉන්න අපේ ඇමැතිවරුන් පවා බලාගෙන හිටියේ අපට හිනාවෙන්න. දැන් උන්නැහේලාට වෙලා තියෙන්නේ කණ්නාඩිය ඉස්සරහට ගිහින් තමන්ටම හිනා වෙන්නයි. අපිට මුහුදට පනින්න කිව්ව ඇමැතිවරුන්ට දැන් වෙලා තියෙන්නේ ගලකුත් ගැට ගහගෙනම මුහුදට පනින්නයි’ කනත්තක් දුන්නානම් හොදයි කියලා කියපු යහපාලන ඇමතිවරුන්ට දැන් වෙලා තියෙන්නේ දේශපාලන කනත්තට යන්නයි.

මහ ලොකුවට කයිවාරු ගැහුවට පක්ෂයේ නායකයාට අහුවෙලා තියෙන්නේ පක්ෂයේ බෝඩ් ලෑල්ල විතරයි. බෝඩ් ලෑල්ල හැර පක්ෂයම ගෙඩිය පිටින් දැන් තියෙන්නේ මහින්ද ගාව. බෝඩ් ලෑල්ලත් අරගෙන ඡන්දෙකට ගිහින් බලමු කවුද දිනන්නේ කියලා.

පක්ෂය විනාශ කිරීමේ චෝදනාව දැන් පක්ෂය මෙහෙයවන අය භාර ගත යුතුයි. ජනප්‍රිය සංවිධායකවරුන්ගේ සංවිධායකකම් අයින් කරලා, පක්ෂ සාමාජිකත්ව අහෝසි කරලා මේ ගමන කොච්චර දුර යන්න පුළුවන්ද කියලා අපි බලමු. තනතුරු අහෝසි කළාට වටේ ඉන්න ජනතාව අයින් කරන්න පක්ෂ නායකයාට තියා සක්කරයාටවත් බැහැ.

හය හතර නොදන්න ළදරුවෝ පක්ෂ ලේකම් තනතුරුවලට දාගෙන, ජනප්‍රිය චරිතවලට පක්ෂයේ තැන නැති කරමින් වර්තමාන නායකයන් පක්ෂය අරගෙන යන්නේ කොහෙටද කියන එක බුද්ධිමත් පාක්ෂිකයන් තේරුම් ගෙන තිබෙනවා. අන්න ඒ ජනතාව තමයි මහින්ද මහත්තයාගේ දෑත් ශක්තිමත් කරන්න ගෝල්ෆේස් ආවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයට පාලන බලය දෙන්න පක්ෂ නායකයා ඇතුළු කණ්ඩායම ගන්නා උත්සාහය පරාජය කරන්නට සූදානම් ජනතාව තමයි ගෝල්ෆේස් ආවේ. ඒ පණිවිඩය තේරුම් නොගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වගකීමට ජනාධිපතිවරයාට කරගහන්න වෙයි.

– ප්රදීප් අනුර කුමාර

28 views

One Comment to “ශ‍්‍රීලනිප බෝඞ් ලෑල්ල පමණක් මෛත‍්‍රීට.. ගෙඩිය පිටින් මහින්ද ලගට..”

  1. Pachaya says:

    Yep
    Pretty correct
    But what actions Gava-palanaya would take knowing their days are numbered? ??

    It would not be sweet stories

    Public should be always behinds JO under difficult times ahead

Main News