ශ‍්‍රී ලංකාවේ සියළු ව්‍යාපෘති කළමනාකරණය දෙමළ ඩයස්පෝරාවය සම්බන්ධ සමාගමක් අතට..

September 22, 2016 at 4:06 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ සියළු ව්‍යාපෘති කළමනාකරණය දෙමළ ඩයස්පෝරාවය සම්බන්ධ සමාගමක් අතට..

ශ්‍රී ලංකාවේ සිදු කරන ඉදිරි ව්‍යාපෘති කළමනාකරණය කිරීමේ වගකීම රාජ්‍ය සේවයෙන් ඉවත් කොට දෙමළ ඩයස්පෝරාව හා සම්බන්ධ කුප්‍රකට ඇමෙරිකානු සමාගමක් වන ‘Mckinsey and Company’ වෙත පවරා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණ අනාවරණයකර සිටී.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ අනාවරණයකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ ද සඳහන් කළේය.

“ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කළමනාකරණය කිරීම විදේශ සමාගමකට පැවරීම සඳහා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපද සමාගමක් වන මැක්කින්සි (Mckinsey) සමාගමට ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කළමනාකරණය කිරීම පවරා දිය යුතු බවටයි එම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනාකර ඇත්තේ. මෙම සමාගමට ව්‍යාපෘති කළමනාකරණ කටයුතු සඳහා ගෙවීමට යෝජනාකර ඇති මුදල ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 23(රුපියල් මිලියන 338)ක්.

මැක්කින්සිට රාජ් රාජරත්නම් සමඟ පැවැති සබඳතාව

මැක්කින්සි සමාගම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ අපකීර්තියට පත් වූ සමාගමක්. මෙම සමාගම තම සේවාදායකයන්ගේ තොරතුරු විකිණීම සිදු කරනවා. උදාහරණයක් ලෙස කොටි සංවිධානයේ මූල්‍ය උපදේශකයෙකු වූ දැනට මූල්‍ය වංචා හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිර දඬුවම් විඳින රාජ් රාජරත්නම්ට මැක්කින්සි සමාගම තොරතුරු විකුණා තිබෙනවා. කොටි සංවිධානයේ මූල්‍ය උපදේශකයකු පමණක් නොවෙයි මේ රාජරත්නම් වත්මන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ගජ මිතුරෙක්. එංගලන්තයේ රජ පවුලේ තොරතුරු රැගෙන ඒවා බොහෝ ආයතනවලට විකුණූ බවට මෙම සමාගමට එරෙහිව චෝදනා ඉදිරිපත් වී තිබෙනවා. මෙවැනි ජාවාරම්කාර සමාගමකට තමයි අද ‘ව්‍යාපෘති කළමනාකරණය’ නමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළමනාකරණය සහ රාජ්‍ය පරිපාලනය භාරදීමට යන්නේ. මේ ඉතාම භයානක තත්ත්වයක්. විදේශ සමාගමක් උපදේශන සැපයීමේ මුවාවෙන් රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ කරවීමටයි දැන් මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ.

ආණ්ඩුවෙන් දෙන පණිවිඩය

මේකෙන් ආණ්ඩුව දෙන පණිවිඩය කුමක්ද? රාජ්‍ය පරිපාලනයේ මූලික වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. ඒ වගකීම කිසිදු ආණ්ඩුවකට පැහැර හරින්න බැහැ. ඒක ජනතාව ලබා දීපු පරමාධිපත්‍ය බලයෙන් ආණ්ඩුවට ලැබෙන දෙයක්. ඒත් මේ යහපාලන ආණ්ඩුව රාජ්‍ය පරිපාලනය විදේශ සමාගමකට පැවරීමට සූදානම් වෙනවා. එක පැත්තකින් මේ ආණ්ඩුව රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කරමින් සිටිනවා. එමගින් රටේ ආර්ථිකය දුර්වල වෙනවා. අනෙක් පැත්තෙන් මූල්‍ය ක්‍ෂේත්‍රය චෞරයන්ට විවෘත කිරීම සඳහා පනත් කෙටුම්පත් ගණනාවක් රැගෙන ඒමට නියමිතයි. එසේ තිබියදී තමයි මේ කැබිනට් පත්‍රිකාව රැගෙන එන්නේ. මේ සියල්ල එකම න්‍යාය පත්‍රයක කොටස් විදිහටයි හඳුනාගත යුත්තේ.

අපට ඉතාමත් පළපුරුදු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සිටිනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ආසියාවේ තිබෙන කීර්තිමත්ම රාජ්‍ය සේවයක්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය මගින් ගෙවීගිය ඉතිහාසය තුළ විස්මිත ව්‍යාපෘති ගණනාවක් සිදුකොට තිබෙනවා. ඒ නිසා බලයට පත්වන ආණ්ඩුවක් කළ යුත්තේ මේ රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සපයා දීලා ඔවුන්ගෙන් විධිමත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබා ගැනීමයි. එහෙම නැතිව ජාවාරම්කාර විදේශ උපදේශන සමාගමකට රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය සතු බලතල පවරා දීම නොවෙයි.

‘අපට සැකයක් තිබෙනවා’

කොටින්ගේ මූල්‍ය උපදේශකයකු වූ රාජ් රාජරත්නම් සමඟ සමීප සබඳතා ඇති සමාගමකට ශ්‍රී ලංකාවේ සිදුකරන ව්‍යාපෘති සඳහා උපදේශන සැපයීමේ වගකීම පැවරීම සිදුවන්නේ කාගේ උවමනාවකටද? අපි සැක කරනවා මේ ගනුදෙනුව පිටුපස දෙමළ ඩයස්පෝරාව සිටින බවට. ව්‍යාපෘති කළමනාකරණය ගුණාත්මක ලෙස ඉහළ නැංවීමට මේ ආණ්ඩුවට සැබෑ උවමනාවක් තිබෙනවා නම්, අපි යෝජනා කරනවා මේ ක්‍ෂේත්‍රයේ සිටින විශ්ව කීර්තියට පත් විදේස්ගත ශ්‍රී ලාංකික විද්වතුන්ගෙන් උපදේශන ලබා ගැනීමට කටයුතු කරන්න කියා. එසේ නොකොට දෙමළ ඩයස්පෝරාව හා සම්බන්ධ ඇමෙරිකානු සමාගමක් ශ්‍රී ලංකාවට ගෙන එන්නේ කුමකටද? ලංකාවේ රාජ්‍ය පරිපාලනයට සහ කළමනාකරණයට අදාළ රහස්‍ය තොරතුරු දෙමළ ඩයස්පෝරාවට ලබාදීමට නොවෙයිද? යන ප්‍රශ්නය අපි ආණ්ඩුවට ඉදිරිපත් කරනවා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

265 views