ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ඉහළ ආදායමක් වාර්තා කරයි….

May 9, 2018 at 8:02 am | lanka C news
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ඉහළ ආදායමක් වාර්තා කරයි….

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ප‍්‍රමුඛ රාජ්‍ය අංශයේ ආයතනයක් ලෙස ඉහළ ආදායමක් වාර්තා කරයි. එය 2017 වසර සඳහා රු. බිලියන 45.6 ක් වන අතර, 2016 වසරට සාපේක්‍ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි. 2017 වර්ෂය සඳහා බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රුපියල් බිලියන 13.3 ක් වූ අතර, එය 2016 දී රු. බිලියන 1.03 කි.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පවත්වාගෙන යනු ලබන පර්යන්ත, විශේෂයෙන් ජයබහලූ පර්යන්තය පසුගිය වසරේ පළමු කාර්තු තුන තුළදී යම් පසුබෑමක් සිදුවුව ද, වරාය ක‍්‍රියාකාරීත්වයේ ප‍්‍රාමාණික මැදිහත්වීම මත ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2017 හතරවන කාර්තු සඳහා 9.2%ක ධනාත්මක වර්ධනයක් අත්කර ගෙන ඇති අතර, එය 2018 වර්ෂයේ මුල් කාර්තුවේ දී දක්නට ලැබේ. එම වර්ධන ප‍්‍රවේශය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය 2018 පළමු කාර්තුව සඳහා 15.3% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. එම කාලය තුළ කොළඹ වරායේ සමස්ථ වර්ධනය 16.2% කී. මේ අතරතුර ප‍්‍රාදේශීය වරායයන් ලෙස ගාල්ල සහ ත‍්‍රිකුණාමලය වරායයන් ද 2017 වර්ෂයේ ලාභ උපයා ඇත.

කොළඹ වරාය බහලූ මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයකට එළෙඹෙමින් සියලූ බහලූ පර්යන්තයන්ගේ සුසංයෝගී දායකත්වයෙන් බහලූ මෙහෙයුම් මිලියන 6.2 සීමාව ඉක්මවීමට 2017 වසරේ සමත් වූ අතර, Drewry වරාය සම්බන්ධතා දර්ශකය අනුව 18 වැනි ස්ථානයේ පසු වූ කොළඹ වරාය 2017 සිව්වැනි කාර්තුවේ දී වරායයන් 5 ක් අභිබවා මුල්පෙළට පැමිණීම සුවිශේෂිත වේ. මෙම ශ්‍රේණිගත කිරීමට අනුව කොළඹ වරාය ආසියාවේ විශිෂ්ඨතම සම්බන්ධිත වරායයන් අතරට පැමිණ තිබේ.

ග්ලෝබල් පෝර්ට් ෆෝරම් විසින් පවත්වන ලද සම්මාන උළෙලේ 2018 වසරේ වරාය අධිකාරිය සම්මානය දිනා ගැනීමට ද ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමත්විය.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් තුන් අවුරුදු සංවර්ධන සැළෑස්මක් සකස් කර ඇති අතර ඒ මගින් ඉදිරි කාලය තුළදී සංවර්ධන කටයුතු වඩාත් වේගවත්ව ඉදිරියට ගෙන යාමටත්, ඒ තුළින් බහලූ මෙහෙයුම් තව දුරටත් ඉහළ නැංවීමටත් අපේක්‍ෂිත ය.

– චිත‍්‍රාල් ජයවර්ණ

376 views
Main News