ෂාෆිගේ ශාපයටත් වඩා දරුණු වූ ශාපයක්..

July 4, 2019 at 8:02 am | lanka C news
ෂාෆිගේ ශාපයටත් වඩා දරුණු වූ ශාපයක්..

රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ආනයනික කිරිපිටි භාවිතය පිළිබඳව ලාංකීය ප්‍රජාව තුළ පසුගිය කාලය තුළ විවිධ මතිමතාන්තර ඇතිවිය. ආනයනික කිරිපිටි වල අඩංගු වූ සංඝටකයන් අතර, මෙලමයින්, ඩීසීබී සහ විවිධ තෙල් වර්ග අඩංගු වන්නේ යැයි විවිධ සමාජ සංවිධාන, දේශපාලඥයින් මෙන්ම වෛද්‍ය සංගම් පවා අදහස් දැක්වූහ. එමෙන්ම, මෙම මතවාදයන් දැඩිව පිළිගත් ලාංකීය ජනතාව ද පසුගිය කාලය තුළ ආනයනික කිරිපිටි භාවිතයෙන් වැලකී සිටිමින් නැවුම් එළකිරි සහ දේශීය කිරිපිටි භාවිතයට ද හුරු වූහ. එහෙත්, ඒ කෙටිකාලයක් පමණි. ලාංකිකයන්ගේ මතකය දින 14 කට සීමා වෙමින් වර්තමානය වන විට මෙම සියල්ලම ලාංකීය ජනතාවට ද, දේශපාලඥයන්ට ද මෙම ගැටළුව සමාජයට මුදාහරින ලද සංවිධානයන්ට ද අඩුම ගණනේ ආනයනික කිරිපිටි සමාගම් වලට ද අමතක වී ඇත. කිරිපිටි ගැටළුව සම්බන්ධයෙන් අප සංවිධානය ඉල්ලා සිටියේ විධිමත් පරීක්ෂණයක් තුළින් ගැටළුවට විසඳුමක් දීම රජයේ වගකීමක් බවයි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ගැටළුව මෙන්ම විසඳුම ද හමස් පෙට්ටියට ගොස් ඇත.

මෙම ආනයනික කිරිපිටි ගැටළුවට මේ වන තෙක් ජනතාව වෙත පිළිගත හැකි විසඳුමක් රජය හෝ කිසිඳු සංවිධානයකින් ලබාදුන්නේ නැත. දැන් සියල්ලම සාමාන්‍යය තත්ත්වයට පත්වී ඇත. එහෙත් අපට ඇති ගැටළුව නම් “දැන් ආනයනික කිරිපිටි සෞඛ්‍යාරක්ෂිතද?” යන්නයි. රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය වන අප මෙම ගැටළුව දකින්නේ ආනයනික කිරිපිටි සමාගම් මගින්ම ගැටළුවක් ඇති කර ඔවුන් විසින් කිරිපිටි මිල ඉහළ දමමින් ඔවුන් විසින්ම ගැටළුව නිශ්ක්‍රීය කිරීමක් ලෙසය.

ජනතාවාදී සංවිධානවල නිරුවත

කිරිපිටි ගැටළුව සමාජයට මුදාහරිමින් නව මතවාදයකට ශක්තිමත් පදනමක් දමනු ලැබුවේ හිටපු වාණිජ සහ පාරිභෝගික නියෝජ්‍ය අමාත්‍ය සහ වර්තමාන වාණිජ හා පාරිභෝගික කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ අමාත්‍යවරයා විසිනි. අමාත්‍යවරයා කිරිපිටි වල අඩංගු සංඝටක පිළිබඳව දැඩි ස්ථාවරයක සිටිමින් ජනතාව දැනුවත් කිරීම සිදු කරන ලදී.

ඔහු විසින් කිරිපිටි සාම්පල් ජාත්‍යන්තර පරීක්ෂාවටද යොමු කරන ලදී. අප අමාත්‍යවරයාගෙන් අසන්නේ රසායනාගාර පරීක්ෂාව සඳහා යවන ලද කිරිපිටි සාම්පල් නියැදියට සිදුවූයේ කුමක් ද? ඒ සඳහා රසායනාගාර නිරීක්ෂණ ලැබුණේ ද? එසේ ලැබූනේ නම් එහි වාර්තාව සමාජගත නොකරන්නේ ඇයි? එම වාර්තාව කිරිපිටි සමාගම් මගින් ගිලගත්තේ ද? යන්න සමාජයට මුදාහැරීමට අමාත්‍යවරයාගේ අනිවාර්ය වගකීමකි.

අතිගරු ජනාධිපතිතුමන් විසින් ද ආනයනික කිරිපිටි පිළිබඳව තම මතය සමාජයට හෙළි කළද ගැටළුවට විසඳුමක් ලබා දුන්නේ නැත. මෙම ගැටළුව බලවත් සමාජ ව්‍යසනයක් බව දැන දැනත් අඩුම තරමේ කිරිපිටි ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමටවත් ජනාධිපතිතුමා කටයුතු කළේ නැත. එය මෙරට ජනතාවගේ අභාග්‍යයකි.

මීලඟට කිරිපිටි ගැටළුවට අවතීර්ණ වූයේ පූජ්‍ය අතුරලියේ රතනහිමිය. පූජ්‍ය රතන හිමියන් ද කිරිපිටි සාම්පලයක් පරීක්ෂාව සඳහා විදේශ පරීක්ෂණාගාරයකට යැවූ සේක. එහි ප්‍රතිපල වාර්තාව ද මේ වන තෙක් ලැබී නැත. රටේ ජනතාවද, අපද එම පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් මගබලා සිටිමු.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ද කිරිපි තුළ විවිධ වූ සංඝටක ඇතුළත් බවට ප්‍රකාශ කරමින් එහි විද්‍යාත්මක පදනම ද විග්‍රහ කරන ලදී. එමෙන්ම මාසයක කාලයක් තුළ කිරිපිටි පිළිබඳව සම්පූර්ණ සත්‍යය රටට හෙළිකරන බව පවසමින් විවිධ වූ මතවාදයන් ප්‍රකාශ කළත් අවසානයේ ඔවුන්ගේ පිළිතුරු ද ලත් තැනම ලොප් වී ඇත. ඔවුන් රටට පොරොන්දු වූ මාසයක කාලය දැන් මාස 03ක් ද ඉක්මවා ඇත.

ආනයනික කිරිපිටි වලට එරෙහිව බර අවි එසවූවන් තමන්ගේ බර අවි පසෙකින් තබා වර්තමානය වන විට පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතිකත්වය අලෙවි කරමින් කඩු කිනිසි දක්වා තම මතවාදීමය අවිය වෙනස් කරමින් සිටියි.

කිරිපිටි භාවිතය සුදුසුද නුසුදුසු ද යන්න පිළිබඳව පැහැදිලි පිළිතුරක් රජය මගින් රටට දිය යුතුය. කිරිපිටි තුළ මෙලමයින්, ඩීසීඩී සහ විවිධ තෙල් වර්ග අඩංගු නම් පාස්කු ප්‍රහාරයටත් දොස්තර ෂාෆිගේ ශාපයටත් වඩා අති භයානක බව ප්‍රකාශ කළ යුතුය.

රටකට අවශ්‍ය ආහාර පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් රජය මගින් හැකි ඉක්මනින් ඇතිකර නිරෝගිමත් ශ්‍රී ලාංකීය ප්‍රජාවක් ඇති කිරීම රජයේ වගකීමකි. එබැවින්, හමස් පෙට්ටියට දමා ඇති හෝ කිරිපිටි සමාගම් මගින් ගිල දමා ඇති ආනයනික කිරිපිටි පිළිබඳව සත්‍යය රටට හෙළි කිරීම ජනතාවට වගකියනු ලබන රජයක යුතුකමක් බව මතක් කර සිටිමු.

ධම්මික එදිරිසිංහ
ලේකම්
රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය

22,824 Viewers

4 Comments to “ෂාෆිගේ ශාපයටත් වඩා දරුණු වූ ශාපයක්..”

  1. Buddhika says:

    ඇයි කිරිපිටි විතරක්? අපි කන කෑම 100% කෘමිනාශක, වල්නාශක භාවිතා කරලයි වගා කරන්නේ. අපි කොච්චර කිව්වත් අපේ තාත්තලා කුඹුරු වලට තෙල් පෝර නොගහා ඉන්නේ නෑ. අපි කන්නෙත් ඒවම තමයි.

    අපි කන්නෙ කෑම නෙමෙයි, වහ. තව අවුරුදු 10ක් යනකොට මේ විදිහටම ගියොත් අපි සේරම ලෙඩ්ඩු වෙනවා. ආණ්ඩු වලින් අනවශ්‍ය තෙල් පෝර ගේන එක නතර කරන්න ඕනෙ. මම හිතන්නෙ නෑ කවුරු බලයට ආවත් ඕක කරයි කියලා.

  2. Aurora says:

    කිරිපිටි ගැටලුවේදී මේ රටේ මෝඩ මිනිසුන් තමුන් විසින් ඉතා පහසුවෙන් ගතහැකි ඉතා ලාභදායක තීන්දුවක් නොගෙන අනෙකුත් ගැටලුවලදී මෙන්ම අනෙකුන් මත විසඳුම් ඉදිරිපත්කිරීම පවරා නිද්‍රශීලීව සිටිති. මේ ලෝකයේ සිටින සියගණනක් වන ක්ෂීරපායීන් අතරින් දත් වැදුන පසු හෝ වැඩිහිටි වූ පසුද කිරිබොන සත්වයා මිනිසා පමණි. ඒද ගවකිරිවේ. දෙවිපිහිටෙන් නිවැරදි තීරණ ගැනීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් වයස 67 පිරුන මමත් මගේ පවුලත් කිරිපිටි නොමැතිව නීරෝගී ජීවිත ගතකරමු. කිරිපිටි මෙන්ම කිසිම ආත්ම විශ්වාසයක් නැතිව තුන්වේලට පැනඩෝල් ගිලින්නෝද තම වකුගඩු මත අනවශ්‍ය පීඩනයක් පටවති. අවසානයේ කොම්පැනිවලට, රජයට බැණ අඬගසති. තම ජීවිතයට බලපාන සරල තීරණ තමුන් නොගනිති. බාහිර පාර්ශව හට ලාභ උපයා ගැනීම් වෙනුවෙන් අවසානයේ රෝගීන්වී ජීවිතය අවසාන කරති.

  3. Upali says:

    The people commenting on milk powder may be occupying high political and administrative positions in the country. There are also the medical practitioners who have no knowledge on food safety, but blessed to pretend to the Sri Lankan society that they know everything. We are running our food safety system with regulations established before independence, rivising them to suit immediate needs. Efforts by International organizations, requests by subject specialists on food safety have been thrown to the dustbin. Training programs created to educate the Public health inspectors have been ignored. With all our pundits, and the politicians like Ratana, Channa, Weerasinghe the current President and the lot governing food control system we cannot expect anything better. God bless us

  4. Vj says:

    There are well designed / developed food safety and quality systems in the world. In addition to this, developed countries have their regulations.
    Why you Sri Lankans, so called politicians/specialists can not adopt these systems?

Main News