සංචාරකයන් ඇදගන්න ශ්‍රී ලංකාව හා මාල දිවයින එක්වෙයි..

January 1, 2020 at 2:06 am | lanka C news
සංචාරකයන් ඇදගන්න ශ්‍රී ලංකාව හා මාල දිවයින එක්වෙයි..

සංචාරක කර්මාන්තය නැංවීමට සදහා ශ්‍රී ලංකාව හා මාල දිවයින අතර එකාබද්ධ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට යයි. ඉදිරි කාලය තුල මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට මාලදිවයින ශ්‍රී ලංකා තානාපති ඕමර් අබ්දුල් රසාක් මහතා සහ කාර්මික අපනය ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවේදි එකගතාවය පල විය.

මෙම සාකච්ඡාව කොළඹ පිහිටි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේදි පැවැත්විණි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට නැරඹීම සදහා ස්ථාන ඇති බැවින් එකාබද්ධ වැඩ පිළිවෙලක් හරහා ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයින් ගෙන්වා ගැනීමටත් මෙරට සංචාරය කිරීමෙන් පසු ඔවුන් මාලදිවයිනට යොමු කර විවේකීව එහි ගත කිරීමට අවස්ථාව ලබා දීමටත් හැකියාව ඇති බව මාලදිවයින තානාපතිවරයා රණතුංග මහතාට යොජනා කලේය. මාලදිවයින සංචාරකයින්ට නැරඹීමට ස්ථාන අඩු බවත් එරටට පැමිණෙන සංචාරකයින් පැමිනෙන්නේ නිදහසේ විවේකීව සිටීමට බවත් තානාපතිවරයා කීවේය.

රණතුංග මහතා කීවේ එය හොද යෝජනාවක් බවයි. සංචාරක අංශයේ ප්‍රධානීන් සමගද සාකච්ඡා කර එම එකාබද්ධ වැඩ පිළිවෙල සකස් කළ හැකි බව  ඇමතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.

ජනවාරි 28, 29,30,31, දින වල මාලදිවයින් විදේශ කටයුතු ඇමතිවරයා මෙරටට පැමිණෙන බැවින් එහිදි මේ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡාවක් සිදු කිරීමටත් මෙහිදි දෙපාර්ශවයම එකගතාවය පල කලේය.

සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ලේකම් මරීනා මොහොමඩ් කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවට එක්වූහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

509 views
Main News