සංඥා භාෂා පරිවර්තකයන් 50ක් පුහුණුවට….

September 26, 2016 at 2:05 am | lanka C news
සංඥා භාෂා පරිවර්තකයන් 50ක් පුහුණුවට….

සංඥා භාෂා පරිවර්තකයන් 50ක් වහාම පුහුණු කිරීම සඳහා සමාජසේවා දෙපාර්තමේන්තුව විසින් පවත්වන ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භය අද(26) සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ සිටින ලක්ෂ 05කට අධික ශ්‍රවණාභාධිතයන් සංඛ්‍යාවකගේ භාෂා පරිවර්තන අවශ්‍යතා ඉටුකිරීම සඳහා සිටින පුහුණු සංඥා භාෂා පරිවර්තකයන් ප්‍රමානය 08 දෙනෙක් බව අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ අවධානයට ලක්වීමෙන් පසු වහාම ඒ සඳහා 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බඳවාගෙන වහාම පුහුණුව ලබා දෙන ලෙස අමාත්‍යවරයා සමාජසේවා බලධාරීන්ට උපදෙස් දූන්නේය.

ඒ අනුව රාජගිරියේ පිහිටි සමාජසේවා විද්‍යාලය යටතේ වසරක ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා සමෘද්ධිලාභී පවුල් වල උසස් පෙළ සමත් 50 දෙනෙකු තෝරා ගෙන තිබේ.

මෙම පිරිසට පාඨමාලාව හදාරන කාලය තුල ගමන් වියදම් ගෙවීමට නියමිත අතර පාඨමාලාව සාර්ථකව අවසන් කරන අය සමාජසේවා දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රධාන අධිකරණ, පොලිස් ස්ථාන ඇතුළු භාෂා පරිවර්තකයන්ගේ සේවය අවශ්‍ය ස්ථාන වල යෙදවීමට නියමිතය.

ශ්‍රීලංකාවේ සිටින ශ්‍රවණාබාධිතයන් වෙනත් ආබාධ සහිත පුද්ගලයන්ට වඩා අධ්‍යාපන මට්ටමෙන් පහල සිටින බව සමාජසේවා නිලධාරීන් කළ සමීක්ෂණ වලදී හෙලිදරව් වී ඇති අතර එයට බලපා ඇති ප්‍රධාන හේතූන් ලෙස වාර්තා වී ඇත්තේ ප්‍රමාණවත් සංඥා භාෂා පරිවර්තකයන් නොසිටීමත්, මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ ශ්‍රවණාබාධිතයන් හට අධ්‍යාපනය ලැබිය හැකි විශේෂ පාසැල් සංඛ්‍යාව අවම වීමත්, ඒවාහි ප්‍රමාණවත් පුහුණු ගුරුවරුන් නොමැති වීමත් බව පැවසේ.

– සංජය දසනායක

27 views
Main News