සදතැන්න සංචාරකයන්ට වසා දමන බව මධ්‍යම ආණ්ඩුකාර කියයි…

September 30, 2019 at 2:23 am | lanka C news
සදතැන්න සංචාරකයන්ට වසා දමන බව මධ්‍යම ආණ්ඩුකාර කියයි…

සති තුනක් ඇතුලත සඳතැන්න පාරිසරික සංචාරක කලාපය පිවිසුම් මාර්ගය සංවර්ධනය කර නිසි කළමණාකරණයකින් කටයුතු නොකරන්නේ නම් එම සංචාරක කලාපය  සංචාරකයින් සඳහා වසා තැබිමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කර සිටිහ.

මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා එ බැව් අවධාරණය කර සිටියේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ ආශ්චර්යය ශාලාවේදි පැවති දිස්ත්‍රික් කමිටු රැස්විමේදි සඳතැන්න පාරිසරික සංචාරක කලාපය පිළිබඳව මතුවු ගැටළු පිළිබඳව සාකච්ඡා කල අවස්ථාවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ නුවරඑළිය සහ බදුල්ල අල ගොවින් සඳහා බීජ ආර්තාපල් නිෂ්පාදනය කරණ සීතාඑළිය රජයේ ගොවිපොල හරහා සදතැන්න පිවිසුම් මාර්ගය පිහිටා ඇති බවත්, අබලන් මාර්ගයේ සංචාරකයින් රැගෙන යන  වාහන ධාවනයේදි සිදුවන දුවිලි සහ අධික දුම  හේතු‍වෙන් බීජ ආර්තාපල් නිෂ්පාදනයට හානි සිදුවන බව පවසා පාර කාපට් අතුරා ප්‍රතිසංස්කරණය නොකරන්නේ නම් සඳතැන්න සංචාරකයින් සඳහා වසා තැබිමට  කටයුතු කරන බවය.

නුවරඑළිය නගරයට ආසන්නයේ සංචාරක අකර්ෂණය ඇති ස්ථාන අතරින් වැඩි සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයක් ලෙස ප්‍රචලිත සදතැන්න පාරිසරික සංචාරක කලාපය තුල හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ ඇති පරිසරයට සමාන පාරිසරික සාධක දැකිමට හැකි  පාරිසරික කලාපයකි.

වර්තමානයේ කෘෂීකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගන යනු ලබන මෙම ස්ථානය සඳහා ප්‍රවේශ මාර්ග සංචාරක අමාත්‍යංශයේ රු මිලියන 75 ප්‍රතිපාදන යටතේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු පසුගිය දා ආරම්භ කල බවත්, ඉන් අනතුරුව එම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු සිදු නොවු බව  සංවර්ධන කමිටුවේදි අනාවරණය විය.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කලේ සංචාරක කර්මාන්තය මෙන්ම ගුණාත්මක බීජ ආර්ථාපල් නිෂ්පාදනයත් එක ලෙස වැදගත් බවය.

එම නිසා මතුවි ඇති ගැටළු සඳහා ඉදිරි සති තුන ඇතුළත කෘෂීකර්ම දෙපාර්තමේන්තුව, නුවරඑළිය මහ නගර සභාව, නුවරඑළිය ප්‍රාදේශීය සභාව ඇතුළු ආයතන එක්ව කඩිනමින් සකච්ඡා කර විසදුමක් ඉදිරිපත් කරණ ලෙස ආණ්ඩුකාරවරයා මෙහිදි සියළු නිලධාරින්ට උපදෙස් දෙනු ලැබුවා.

සදතැන්න පිවිසුම්   මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරිම ප්‍රමාද විම සම්බන්ධයෙන් අප නුවරඑලිය මහ නගර සභාවේ හිටපු පුරපති මහින්ද දොඩම්පගේ මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ 2014 වසරේ සදතැන්න පාරිසරික සංචාරක කලාපය තමන් විසින් හදුන්වාදුන් බවත්, ඉන් අනතුරුව නුවරඑලිය මහ නගර සභාව වාර්ෂිකව එක්කොටි තිස් පන්දහසක ආදායමක් ලැබුණු බවයි.

තමන්ගේ ඉල්ලිමක් මත සංචාරක අමාත්‍යය ජොන් අමරතුංග සහ අමත්‍යය පි හැරිසන්  මහතා විසින් පසුගිය දා නුවරඑලියට පැමිණ සදතැන්න පිවිසුම් මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කල බවයි.

දේශාපාලන හේතුවක් මත සහ කුහක දේශපාලනය හේතුවෙන් තමන් විසින් හදුන්වා දුන් සදතැන්න පාරිසරික සංචාරක කලාපයට පිවිසෙන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු බලධාරින් විසින් නතර කර ඇති බවද   හිටපු නගරාධිපතිවරයා චෝදනා කර සිටියා.

දිස්ත්‍රික් කමිටු රැස්විමට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති, පර්ලීමේන්තු මන්ත්‍රි කේ.කේ. පියදාස මහතා ප්‍රමුඛ මහජන නියෝජිතයින්, දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

116 views
Main News