සමරිසි සහ සංක‍්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට බලපාන නීති…

March 1, 2022 at 8:02 am | lanka C news
සමරිසි සහ සංක‍්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට බලපාන නීති…

සමරිසි සමාජභාවී සහ සංක‍්‍රාන්තික ලිංගික පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජයේ තිබෙන ආකල්ප යහපත් අතට පත්වෙමින් තිබුණත් ඔවුන් සම්බන්ධයෙන් වන නීති වෙනස් විය යුතු බවට මතුවන අදහස් දිනෙන් දිනම සමාජයේ ඉදිරියට පැමිණෙන්නේය.

සංක‍්‍රාන්තික ලිංගිකයන් සම්බන්ධයෙන් බලපාන නීතිවල සාධනීය වෙනස්කම් පසුගිය කාලයේදී සිදුව තිබුණේය. ස්වභාවික හේතූන් මත සංක‍්‍රාන්තික ලිංගිකයින් බවට පත්වන පුද්ගලයින්ගේ උප්පැන්න සහතියක වෙනස් කරගැනීමට හැකි නිතී වෙනස්වී තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන චක‍්‍රලේඛයක් මගින්ය. සංක‍්‍රාන්තික ලිංගිකයින් බවට පත්වන පුද්ගලයින් රජයේ රෝහලකට ගොස් අදාල සැත්කම් සිදුකරගැනීමෙන් පසුව හා හෝමෝන ලබාගැනීමෙන් පසුව වෛද්‍ය සහතිකයක් නිකුත් කරන්නේය. මෙම වෛද්‍ය සහතිකය රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ගේ උප්පැන්න සහිතකය වෙනස් කරගැනීමට හැකියාව ලැබෙන්නේය. උප්පැන්න සහතිකය අනුව පිරිමි යනුවෙන් සදහන් අයෙක්ට ස්ත‍්‍රියක් ලෙසට වෙනස් කරගැනීමට හැකි නීතිමය වෙනස්කම් මේ වන විට සිදුකර තිබෙන්නේය. එහෙත් ඔවුන් සම්බන්ධයෙන් වන අපරාධමය නීති සදහා සංශෝධන ගෙන ආ යුතු කාලය එළඹ ඇතැයි නීතිවේදීහු පෙන්වා දෙති.

‘‘දණ්ඩනීති සංග‍්‍රහය අනුව තමයි මොවුන් අපරාධ වරදකරුවන් බවට පත් කිරිමට හැකි නීති ගෙනවිත් තියෙන්නේ. දණ්ඩ නීති සංග‍්‍රහය කියන්නේ සුද්දාගේ කාලයේදී ගෙනාපු නීති. ඒ කාලේ තමන්ගේ යටත්විජිතවල ජීවත් වන අය ශිෂ්ඨ සම්පන්න නොවන බව කියමින්, ඔවුන් ශිෂ්ඨ සම්පන්න කිරීම සදහා තමයි මේ නීති ගෙනවිත් තියෙන්නේ. ඒත් එම රටවල් දැනට අවුරුදු පනහකට හැටකට විතර කලින් මේ නීති වෙනස් කළා. ඒත් අපි තවමත් මේ නීති එලෙසම පවත්වාගෙන යමින් තිබෙනවා’’ නීතීඥ කෞෂල්‍යා ආරියරත්න සදහන් කළාය.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විසාකේස චන්ද‍්‍රසේකරම් සදහන් කරන්නේ දණ්ඩනීති සංග‍්‍රහයේ 365 සහ 399 යන වගන්ති යටතේ සමරිසි සහ සංක‍්‍රාන්තික ලිංගික පුද්ගලයින් වරදකරුවන් බවට පත් කිරීමට උත්සාහ ගන්නා බවය.

‘‘දණ්ඩනීති සංග‍්‍රහයේ 365 වගන්තියේ තියෙන්නේ අස්භාවික ලිංගික හැසිරීම්වල යෙදුනොත් නඩු පවරන්න පුලුවන් කියන එකයි. මේ හැසිරීම් මොනවාද කියන එක නීතියේ හරියට නිර්වචනය කරලා නැහැ. ඒ නිසා පොලීසිය, නීතීඥයින් හිතන්නේ සමලිංගික අයට මේ යටතේ නඩු දාන්න පුලුවන් කියලයි. කවුරුහරි ගෙදරක දොගුලු දාගෙන හැසිරුනත්, දඩුවම් ලබාදෙන්න පුලුවන් විදියට තමයි මේ නීති හැදිලා තියෙන්නේ. මේ නීතිය සමරිසි පුද්ගලයින්ට විතරක් නෙමෙයි, සමරිසි නොවන අයෙක්ටත් බලපාන්න පුලුවන්. ඒ නිසා මේ නීති වෙනස් වෙන්න ඔ්න’’විසාකේස චන්ද‍්‍රසේකරම් සදහන් කළේය.

මෙම නීතිය නිසා සමරිසි පුද්ගලයින්ට බියෙන් ජීවත්වීමට සිදුව ඇතැයි විසාකේස චන්ද‍්‍රසේකරම් සදහන් කළේය.

ඇතැම් අවස්ථාවලදී මෙම නීතිය භාවිතා කරමින් සංක‍්‍රාන්තික සමාජභාවයක් සහිත පුද්ලයින් පීඩාවට පත් කිරිමට කටයුතු කරන බවය.

‘‘දණ්ඩනීති සංග‍්‍රහයේ මෙම වගන්තිය නිසා බොහෝ අවස්ථාවලදී හිංසාකාරී තත්වයන්ට මුහුණදීමට සිදුවෙනවා. බොහෝ විට සමරිසි පිරිස් අල්ලාගෙන ඔවුන්ට කරදර කරනවා. අපහාස කරනවා. පීඩා කරනවා. කවුරුහරි පුද්ගලයෙක් ගිහින් සමරිසි ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැම්මොත් පොලීසියත් දුවගෙන ගිහින් ඒ පුද්ගලයාගේ ජංගම දුරකතනය තමයි මුලින්ම අරගන්නේ. ඊට පස්සේ නොයෙක් පීඩාවන් කරනවා’’නීතීඥ කෞෂල්‍යා ආරියරත්න පැවසුවේ මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ හා නීතිය සම්බන්ධයෙන් පුහුණවීමක් ලබාදිය යුතු බව අවධාරණය කරමිනි.

දණ්ඩනීති සංග‍්‍රහයේ 399 වගන්තියේ දැක්වෙන්නේ යම් අයෙක් රැුවටීම සදහා වෙස් වලාගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බවය. සංක‍්‍රාන්තික ලිංගික ප‍්‍රජාව සදහා බලපාන මේ නීතියේ මූලික කොටසක් යම් ආකාරයකට නම්‍යශීලී වී ඇතත් තවත් වෙනස්විය යුතු තැන් තිබේ. සංක‍්‍රාන්තික සමාජභාවයක් සහිත පුද්ගලයින්ට වෛද්‍ය සහතික ලබාගැනීමෙන් පසුව උප්පැන්නයේ තම ලිංගික අනන්‍යතාවය වෙනස් කරගැනීමට අවසර තිබේ. එහෙත් ජාතික හැදුනුම්පත වෙනස් කරගැනීමට ඔවුන්ට අවස්ථාවක් හිමිවන්නේ නැත.

‘‘සංක‍්‍රාන්තික සමාජභාවී පුද්ගලයින්ගේ හැදුනුම්පත් වෙනස් කිරීමට අවස්ථාවක් නොමැති නිසා ඔවුන් විශාල ගැටලුවලට මුහුණ දෙනවා. ඔවුන් ඇදගෙන ඉන්නේ එක විදියකට. ඒත් ඔවුන්ගේ හැදුනුම්පත්වල තියෙන්නේ තවත් විදියකට. කාන්තාවක් විදියට ඇදගෙන හිටියාට ඔවුන්ගේ හැදුනුම්පතේ තියෙන්නේ පිරිමි නමක්. මේ ආකාරයට සංක‍්‍රාන්තික සමාජභාවයක් සහිත පුද්ගලයින් පීඩාවට පත් කරන නීති වෙනස් වෙන්න ඔ්න’’ ආචාර්ය විසාකේස චන්ද‍්‍රසේකරම් පැවසුවේය.

මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගත් විටත් මේ ආකාරයට වෙනස් කර සැලකීමට කිසිදු අවස්ථාවක් නැතැයි ආචාර්ය චන්ද‍්‍රසේකරම් සදහන් කරන්නේය.

‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය අනුව පුද්ගලයින්ට වෙනස් කොට සලකන්න බැහැ. නීති මගින් වෙනස් කර සැලකීමට අවස්ථාවක් නෑ. සමරිසි හෝ සංක‍්‍රාන්තික සමාජභාවී පුද්ගලයින් කියන එක එහි සදහන් වෙන්නේ නැතත් මේ වගන්තිය පුලුල් වගන්තියක් නිසා ඔවුන්ටත් වෙනස් කොට සලකන්න බෑ. මේ යටතේ ප‍්‍රජාවට වෙනස් කොට සලකන්න බෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවම තීන්දුවක් ලබාදී නැහැ. ඒත් අපි අධිකරණයට ගොස් තිබෙනවා. ඒ අනුව අධිකරණය විසින් තීන්දුවක් ලබාදෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා’’ආචාර්ය චන්ද‍්‍රසේකරම් කීවේය.

මේ සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානයද වාර්තාවක් නිකුත් කරමින් සිය අවධානය යොමු කර තිබුණේය.

ආචාර්ය චන්ද‍්‍රසේකරම් පවසන්නේ සංක‍්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් අපරාධකරුවන් ලෙස නොසලකන තත්වයක් ඇති කරන ලෙස පමණි. ඔවුන්ට විවාහ වීම සදහා අවසර ලබාදෙන නීති ගෙන ඒමට කිසිදු අවස්ථාවකදී ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ නැතැයි ඔහු පවසන්නේය.

‘‘මේ ප‍්‍රජාවේ පුද්ගලයින් කිසිම තැනකදී විවාහ වෙන්න අවසර දෙන්න කියලා ඉල්ලා නෑ. ලෝකයේ වෙනත් රටවලත් එවැනි අවසරයක් ලබාදී නැහැ. තමන්ගේ කැමැත්තෙන් නැතිව, ස්වභාවික හේතූන් මත ශරීරයේ වෙනස් කම් සිදුවන පුද්ගලයින් අපරාධකරුවන් ලෙස සලකන්න එපා කියන එක විතරයි අපි ඉල්ලන්නේ’’ආචාර්ය චන්ද‍්‍රසේකරම් කීවේය.

ශ‍්‍රී ලංකා පවුල් සැලසුම් සංවිධානය වෙනුවෙන් වන ව්‍යාපෘතියක් සදහා සකස් කළේ
සංජය නල්ලපෙරුම

18,798 views

2 Comments to “සමරිසි සහ සංක‍්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට බලපාන නීති…”

  1. Devin says:

    හොඳ වැඩක්. පරක්කු වෙලා හරි මේ දේවල් වෙනස් වෙන එක අගය කරන්න ඕනේ. ❤️

  2. aniwa says:

    Even in this day and day our Sri Lankans still think being gay is a choice. They will only realise the reality one day when their own son or daughter becomes gay.

Main News