සමහර තීරණ ගැනීමේදී ඇමතිවරුන්ගෙන් අදහස් විමසන්නේ නෑ.. කිසිදු රජයක් නිසි තැන දුන්නේ නෑ..- දයා ගමගේ

April 9, 2017 at 7:06 am | lanka C news
සමහර තීරණ ගැනීමේදී ඇමතිවරුන්ගෙන් අදහස් විමසන්නේ නෑ.. කිසිදු රජයක් නිසි තැන දුන්නේ නෑ..- දයා ගමගේ

මෙතෙක් පැවති කිසිදු රජයක් දේශීය, පෞද්ගලික ව්‍යවසායකයින්ට නිසි තැන ලබා නොදුන් බව කණගාටුවෙන් හෝ පැවසිය යුතු බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ කියා සිටී.

ඔහු ඒ බව කියා සිටියේ, ජාත්‍යන්තර වෙළෙඳාම හා වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ මහජන කොමිසම පසුගියදා කොළඹදී පැවැත්වූ සමුළුවක් අමතමිනි.

ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේ, කන්තලේ සීනි සමාගම සහ අලුතින් පිහිටවූ බිබිලේ සීනි සමාගම දේශීය ව්‍යාපාරිකයින්ට පවත්වාගෙන යෑමේ හැකියාව තිබියදී සිංගප්පූරුවේ සමාගමකට භාර දුන් බවයි.

රජයේ සමහර තීරණ ගැනීමේදී ඇමතිවරුන්ගෙන් අදහස් විමසීමක් සිදු නොවන බවත්, එහිදී තමන් අසරණ වන බවත් හෙතෙම කීය.

රටක් වශයෙන් ගිවිසුම්වලට එළැඹීමේදී තමන්ගේ කොටස ආරක්ෂා කර ගැනීම සිදු විය යුතු බව ගමගේ මහතා අවධාරණය කර සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූයේ, 2005දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 37ක්ව පැවති අපනයන ආදායම රුපියලේ අගය අවමප්‍රමාණය වීම ඇතුළු හේතු නිසා මේ වන විට සියයට 14ක් දක්වා පහත වැටී ඇති බවයි.

අපනයන ආදායම ඉහළ නංවා, අනෙකුත් ක්ෂේත්‍ර ද ශක්තිමත් කොට රට සංවර්ධනය කිරීමට සියලුදෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කර සිටියේය.

– ජෝර්ජ් පෙරේරා

155 views