සමහර මන්ත‍්‍රීවරුන් මා හමු වී ඇමතිකම් ඉල්ලනවා..- අගමැති

August 25, 2020 at 3:00 pm | lanka C news
සමහර මන්ත‍්‍රීවරුන් මා හමු වී ඇමතිකම් ඉල්ලනවා..- අගමැති

දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාව අපේක්ෂා කරන දැවැන්ත ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකළා එක්වන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.08.25 දින  පාර්ලිමේන්තුවේ සියලු නවක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

9 වන පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරී පත් වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පවත්වමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවාධාරණය කළේය.

පාර්ලිමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කළ “පාර්ලිමේන්තු සාර සංහිතා” ග්‍රන්ථය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වීම ද  පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් මෙම අවස්ථාවේදී  සිදු කරන ලදී.

“ ජනතාව හිතන්නේ ඇමතිවරයෙක් හදා ගන්න නෙමෙයි. තමන්ව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හදන්න. මොන බල සම්පන්න ඇමතිකම තිබුණත්, තමන්ගේ මන්ත්‍රීකම හරියට නොකළොත් ජනතාව එයාව ගෙදර යවනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ හොඳ මන්ත්‍රීවරයෙක්, මහජන නියෝජිතයෙක් වෙන එක තමයි රටට මේ මොහෙතේ  වැදගත්”  යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී නවක මන්ත්‍රීවරුන්ට උපදේශයක් ලබා දුන්නේය.

ගරු අග්‍රාමාත්‍යතුමා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,

මට මතක් වෙනවා අවුරුදු 50කට උඩදි මමත් ඔය වගේ වාඩි වෙලා හිටියා. අපි තරුණ මන්ත්‍රීවරුන් විදිහට වාඩි වෙලා ඉන්න කොට මේ වගේ දේශන අපිට වදයක් උනා. ඔබටත් හිතෙනවා ඇති මේ මොන ලෙඩක්ද කියලා. මේ අපි දන්න දේවල්නේ කියලා හිතෙනවා ඇති. නමුත් පුරුද්දක් විදිහය නවක මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම හැම කාලෙම  සිදු කරනවා. මට මතකයි මගේ පියා කියනවා එතුමා ප්‍රථමවරට පාර්ලිමේන්තු ආපු වෙලාවේ, ඒ කාලේ තිබ්බේ රාජ්‍ය මන්ත්‍රණ සභාව. බණ්ඩාරනායක මහත්තයා පාර්ලිමේන්තුව වටේ හැමෝම එක්කන් ගිහින් පෙන්නලා ඒ පිළිබඳව දැනුවත් කරපු විදිහ. පාර්ලිමේන්තුවේ අත්දැකීම් ඔබට ගන්න පුළුවන් පාර්ලිමේන්තුව තුළදී. පාර්ලිමේන්තුවේ කටයුතු කරද්දී ඔබට ඒ අත්දැකීම ලැබෙනවා.

මේ පාර්ලිමේන්තුවේ අලුත් මුහුණු 82ක් තියෙනවා. 2010, 2015 දී වගේම 2020 දීත් අලුත් මුහුණු විශාල වශයෙන් පාර්ලිමේන්තුවට ඇතුළුවෙලා තියෙනවා. පාර්ලිමේන්තුවට  විතරක් නෙමෙයි ප්‍රාදේශීය සභාව දක්වාම අපි එහෙම අලුත් මුහුණු ගේන්න කටයුතු කරලා තියෙනවා. විවිධ ජාතීන්වල, විවිධ ආගම්වල, විවිධ පන්තිවල, විවිධ තරාතිරම්වල අය දේශපාලන ලෝකෙට ඇවිත් අපි මේ දේශපාලනය වර්ණවත් කරලා තියෙනවා. මේ රටේ දේශපාලනයේ මම දකින වාසනාවන්තම දේ මේ අලුත් මුහුණු පැමිණීම බව මම කියන්න ඕනෑ.

පහුගිය ඡන්දය මේ රටේ දේශපාලන ඉතිහාසයේ අමතක කරන්න බැරි මහ ඡන්දයක් බව අපි කවුරුත් දන්නවා. ඒ සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ 2/3 ක බහුතරයක් ගත්ත නිසා පමණක් නෙමෙයි. 1946 ආරම්භ වූ පැරණිම දේශපාලන පක්ෂය වූ යූඇන්පීයට පසුගිය මැතිවරණයෙන් ආසනයක්වත් ගන්න නොලැබුණ එකත් පුදුම සහගත දෙයක්. ඒවා ඉතිහාසයට එකතුවෙන්න ඕනෑ කරුණු පමණයි. නමුත් අනාගතයට හොඳ  පණිවිඩයක් මේ ඡන්දයෙන් ජනතාව අපිට දීලා තියෙනවා.

මේ ඡන්දෙදි කිසිම දේශපාලන පක්ෂයකට සල්ලි බලෙන් ලොකු ප්‍රචාරක වැඩ කරන්න ලැබුණේ නෑ. පෝස්ටර් නෑ. කටවුට් නෑ. සංදර්ශන නෑ. පෙළපාලි නෑ. බස් දාලා සෙනග ගෙන ඒම් නෑ. හැම තැනකම සෞඛ්‍ය නීති රීති අනුව තමයි වැඩ කළේ. නමුත් ජනතාව 71% ඡන්ද පොළට ඇවිත් තමන්ගේ ඡන්දය දුන්නා. ඒක අනාගතයට දුන්න ලොකු පණිවිඩයක් කියලා මම කියන්න ඕනේ. මේකෙන් පේන්නේ ජනතාව රටට තියෙන ආදරේ වගේම  නිවැරදි වැඩපිළිවෙළකට, ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන ගෞරවයයි.

අපි බලන්න ඕනේ මේ  වතාවෙ ජනතාව ඡන්දය දුන්නේ කාටද කියලා. මේ වතාවේ අගමැති වුණත් පක්ෂ නායකයා වුණත් රටට වැඩක් කරන්නෙ නැත්නම් එයාව ගෙදර යැව්වා. මහා දේශපාලන පරපුරකින් පැවත ආවත් වැඩක් නැත්නම්, වැඩ බැරි නම් ගෙදර යැව්වා. ඒ විතරක් නෙවෙයි උගත්කමට විතරක් මේ රටේ ජනතාව ඡන්දය දුන්න කියල හිතන්නත් එපා. උගත්කම වගේම රටට ආදරේ නම්, වැඩ කරන්න පුළුවන් නම් පමණයි මේ රටේ ජනතාව දැන් ඡන්දය දෙන්නේ. ඉදිරියටත් ජනතාව කටයුතු කරන්නේ එහෙමයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මං මේ තරුණ මන්ත්‍රීවරුන්ට කියන්න ඕනේ තරුණ වුණාට, තනතුරක් තිබුණට, පරපුරක් තිබුණට, උගත් වුණාට වැඩක් නෑ. ජනතාව පවරපු රාජකාරිය හරියට කරන්නෙ නැත්නම් ලොකු ද පොඩි ද කියලා බලන්නේ නැතිව, වරාය ද ගුවන් සේවා ද මැටි ද සියඹලා ද කියලා හොයන්නෙ නැතිව හැමදේම එක හා සමානව සලකලා, ඒවා රටේ වැඩ හැටියට සලකලා වැඩ කරන්න වෙයි. වැදගත්කම තියෙනවද කියන එක ජනතාවට වැඩක් නෑ. ජනතාවට ඕන වැඩ. ඒ වගේම මේ රටේ ජනතාව දැන් මන්ත්‍රී වුණා කියලා  සලකන්නෙ නෑ. තමන්ගෙ වෘත්තීයභාවය දියුණු කරගන්න ඕනෑ  බවයි මේ මැතිවරණයෙන් කියවෙන්නෙ.

වෘත්තීයභාවය දියුණු කරගන්න මන්ත්‍රීකම, වයස බාධාවක් කර ගන්න එපා. මම 1970 පාර්ලිමේන්තුවට තේරිලා පත්වෙලා ආවට පස්සෙ තමයි නීති විද්‍යාලයට ඇතුළත් වුණේ. මං පාර්ලිමේන්තු යන ගමන් නීති විද්‍යාලයට ගිහින් ඉගෙන ගත්තා. අද වගේ ඉන්ර්ටනෙට්, ඔන්ලයින් පහසුකම් තිබුණේ නෑ. අද මෙහේ ඉඳන් විදේශීය විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙලා ඉගෙන ගන්න පුළුවන්. ඒ කිසි දෙයක් නැති කාලයකත් මං මන්ත්‍රීකම බාධාවක් කර ගන්නැතිව නීති විභාගය කළා. 1977 පරාද වුණාට පස්සේ මට ඉතිරි වුණේ නීතිඥ කම විතරයි.

තරුණ මන්ත්‍රීවරුන් දැන් බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු ආපු ගමන් ඇමැතිකමක් කරන්න. සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී මාව හම්බෙලා කියනවා අපිට රටට වැඩ කරන්න ඇමතිකමක් දෙන්න කියලා. මතක තියාගන්න ජනතාව පාර්ලිමේන්තුවට තෝරලා එවන්නේ ඇමැති කෙනෙක්ව නෙමෙයි, මන්ත්‍රී කෙනෙක්ව. තමන්ගෙ නියෝජිතයෙක්ව. ජනතාව හිතන්නේ ඇමතිවරයෙක් හදාගන්න නෙමෙයි. තමන්ව නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් හදන්න. මොන බලසම්පන්න ඇමතිකම තිබුණත් තමන්ගේ මන්ත්‍රීකම හරියට නොකළොත් ජනතාව එයාව ගෙදර යවනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ හොඳ මන්ත්‍රීවරයෙක්, මහජන නියෝජිතයෙක් වෙන එක තමයි රටට මේ මොහොතේ වැදගත්. ඒ වගේම මතක තියාගන්න ඇමැතිකමක් නැතිව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට කවදාවත් විපක්ෂයේ දේශපාලනය කරන්නත් බෑ. ඇමැතිකමටම දේශපාලනය කළ මිනිහට මන්ත්‍රීකමේ වගකීම් ඉටු කරන්න බෑ. එහෙම ඇමැතිකම මතම ඉන්න අය තමයි විපක්ෂයට ගිය ගමන් පක්ෂ මාරු කරන්නේ. එහෙම අයට දේශපාලනයේ හොඳ අනාගතයක් නැති බවත් අපි තේරුම් ගන්න ඕනේ.

මම ආණ්ඩුවල හිටපු කාලය වගේම කාලයක් විපක්ෂයේ ඉඳලා තියෙනවා. අද වගේ නෙමෙයි අපි විපක්ෂයේ හිටියේ තමන්ගේ අදහස් ප්‍රකාශ කළොත් මහපාරේ බල්ලෙක් වගේ මරලා දාපු කාලේ. විරුද්ධවාදීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා හිරේ විලංගුවේ දාපු කාලේ. ඒ වගේ විපක්ෂවල දීර්ඝ කාලයක් මන්ත්‍රීවරයෙක් විදියට වැඩ කරලා  මට නම් හොඳ පුරුද්දක් තිබුණා. ඒ නිසා තමයි 2015 ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙන්නත් කලින් මම ගෙදර ගියේ. උතුරු නැගෙනහිර මට වැටිලා තියෙන ප්‍රතිශතය 89% කියලා දැන ගත්තාම මම කිව්වා එහෙනම් මම පරාදයි කියලා. උදේ පාන්දර 6 ට මම මැදමුලන බලා යන්න පිටත් වුණා. ඒ අපිටතියෙන දේශපාලන පුරුද්ද. ඒ වගේම වසර 04කදි ආපහු ආණ්ඩුවක් පෙරලලා බලයට ආවේ, මේ ජයග්‍රහණය ලබා ගත්තේ විපක්ෂයේ ඉඳලා අපට තිබුණ පුරුද්ද නිසා.

මගේ ජීවිත කාලේ ඉතිහාසයේ ලොකුම වගකීම් පැවරුණ මැතිවරණ දෙකක් තිබුණා. එකක් 2005 ජනාධිපතිවරණය. එදා පැවරුව වගකීම තමයි දෙකඩ වෙලා තිබුණ රට එක්සේසත් කිරීමේ දැවැන්ත වගකීම. ඒ රාජකාරිය අපි හරියට ඉටු කළා. ඒ සඳහා නවක මන්ත්‍රීවරුන් අපිට ශක්තියක් උනා. සහයෝගය දුන්නා. ඊළඟට දැවැන්තම වගකීමක් පවරලා තියෙන්නේ මේ මැතිවරණයෙන්. සමානුපාතික මැතිවරණ ක්‍රමයකින් ලැබුණ 2/3ක දැවැන්ත ජනවරම අප වෙත ජනතාව පැවරූ වගකීමක් ලෙස අපි භාරගන්න ඕනේ. දැන් අපිට දේශපාලන මධුසමය ගතකරන්න වෙලාවක් නෑ. වෛර පිරිමහන්න, මට සළකුවේ නෑ, මාව කොන් කළා කියමින් කන්කෙඳිරි ගාන්න වෙලාවක් නෑ.

දැවැන්ත ව්‍යවස්ථා වෙනසක් ජනතාව අපේක්ෂා කරනවා. අලුත් ව්‍යවස්ථාවෙන් ඉතිහාසයේ වෙච්ච වැරදි නිවැරදි කරගනීවි කියලත් ජනතාව බලාපොරොත්තු වෙනවා. අපි සියලු පෞද්ගලික න්‍යායපත්‍ර පැත්තකට දාලා ජනතාවගේ බලාපොරොත්තුව ඉස්සෙල්ලාම ඉටු කරන්න ඕනේ.

1977 ඉඳන් මේ දක්වා අඩසියවසකට ආසන්න කාලයක් රට පාලනය කරපු ව්‍යවස්ථාවක් තියෙන්නේ. මේක කාලීනව සංශෝධනය විය යුතුයි.

ව්‍යවස්ථාව කියන්නේ එක පාර්ශ්වයක උරුමයක් නෙමෙයි. ඒක අපි කාටත් බලපාන මූලික නීතිය. ඒකේ තියෙන හැම කොමාවක්ම, නැවතීමේ ලකුණක්ම අපේ ජීවිතයට බලපානවා. ඒ නිසා ජනතාව ඉල්ලා සිටින ව්‍යවස්ථාව හදන ක්‍රියාවලියේ දී දේශපාලන පක්ෂ බේදයක් තියාගන්න එපා. මේක අපේ වගකීමක්.මෙතෙක් තිබුණ ව්‍යවස්ථාවේ සාධනීය සියලු දේ අපි උරාගන්න ඕනේ. ඒවාට සත්භාවයෙන් තමන්ගේ අදහස් පළකරන්න ඕනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පුස්තකාලය භාවිතා කරන්න. තමන්ගේ පාර්ලිමේන්තු කතාවට එය මනා පිටිවහලක් වෙනවා. පාර්ලිමේන්තු දිනයට පාර්ලිමේන්තුවය පැමිණෙන්න. ඇතැම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ඇවිත් නිදා ගන්නවා. පාර්ලිමේන්තු එනවා කියලා ගෙදරින එනවා. පාර්ලිමේන්තුවේ ඉන්නෙ කියලත් ගෙදරට කියනවා. බලන කොට වෙන වෙන ගෙවල්වල එයාලා ඉන්නෙ. එහෙම අවස්ථා තියෙනවා. ඒවට පුරුදු වෙන්න එපා. පාර්ලිමේන්තු කටයුතු දාට පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කරන්න. අවසන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ආරම්භ වූ ඔබේ දේශපාලන ගමනට සුබපතන්නත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.

මේ අවස්ථාව සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා, නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ.

රොහාන් වැලිවිට

41,252 views

10 Comments to “සමහර මන්ත‍්‍රීවරුන් මා හමු වී ඇමතිකම් ඉල්ලනවා..- අගමැති”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    okkotama dei oya kiwwata , meka kada haiyak wenna wadi athakak nah, AKD ta balaya ena dawasa ithama lagai . ohoma yamu always break down ne . ape rata ithni mehemama thama ,mewa goda danna bah .. ha ha ha

    • Nirmal says:

      ජනාධිපති කියනවා ජනතා කේන්ද්‍රීය ආර්තිකයක් හදනවා කියල නමුත් හදල තියෙන්නේ මහින්ද කේන්ද්‍රීය ආර්තිකයක්. මහින්ද කැබිනට් එක හදා ගත්තේ මහින්දට උපරිම හොරකම් කරන්ඩ පුලුවන් ආකාරයට. සුපිරිම ආයතන සියල්ල මහින්ඩ යටතේ ඉතිරි ඒවා ජොනී ප්‍රසන්න රෝහිත වගේ සහජීවනයෙන් හොරකම්කලහැකි පුද්ගලයන්ට දුන්නා. අමාත්‍යශ වලට මුදල් වෙන්කිරීමේදී තමනට සහ හිතවතුනනට අති විශාල මුදල් ප්‍රමානයක් වෙන්කරගෙන. උදාහරනයක් නම් ජොනීට රුපියල් බිලියන 76ක් වෙන්කරද්දී ගම්මන්පිලට වෙන්කර ඇත්තේ මිලියන 75ක් පමනයි. ඒ කියන්නේ ජොනීට වෙන්කර තිබෙනවා ගම්මන්පිල මෙන් දහස් ගුනයයෙක්. මේ මුදල් වලින් වැඩි කොටසක් යන්නේ කගේ සාක්කුවලටද කියා දන්නෝ දනිති .

    • 2015 මීහරකා says:

      හීන බැලීමට දැනුමක්, බුද්ධියක් අවශ්‍ය නොවේ.
      🐮

  2. A citizen of Mihinlanthaya says:

    You and your team will have to work hard to retain 6.8 mil votes.

  3. Rata surakimu says:

    Well said !!!

  4. Harindra says:

    පාර්ලිමේන්තුව ඇතුලේ සබාවාරය තුල නිදාගන්න මංත්‍රීවරු, කතා නායකවරු ඉවත් කරලා වැඩක් කරන්න පුළුවන් කට්ටියක් එවන්න බැරිද?

  5. Aruna says:

    A great speech from a veteran parliamentarian. I think it was a great privilege for those newcomers.

  6. gamarala says:

    ඇමතිකම් ඉල්ලන අය ලෝක හොරු

  7. ajith prasanna says:

    උඹලා දැන්වත් තේරුම් ගනිල්ලා චන්දෙන් පස්සේ අමෙතිකම් වරප්‍රසාද රාජපක්ෂ පවුලේ අයට විතරයි. දර දිය ඇද්ද එවුන්ට කොන්ඩම් තියරිය. ඒ කියන්නේ වැඩේ ඉවරවුනාට පස්සේ විසිකරලා දානවා. වැඩියෙන්ම හොරකම් කරපු දුශිතයෝ පට්ට හොරු ටික විතරයි රාජපක්ෂලා ලඟට ගන්නේ. ඒ උන්ට තවත් හොරකම් කරන්න ඕනේ නිසා. උඹලා හැමදාම චන්දෙ දෙන වහල්ලු පිරිසක් විතරයි. උඹලාට ඉක්මනටම වහල් බවෙන් නිදහස් වෙන්න පුළුවන් වේවා කියා මා පතමි. එතෙක් උඹලාට දියුණුවක් නැහැ.

  8. senanayake says:

    samaharu amathikam illanawa. ithin mama kiwwa tika dawasak iwasagana hitapalla hamotama dennam kiyala . eka parama dunnoth minissu kalabala wenawane. onna eeyeth ekak dunna premajayanthata

Main News