සමෘද්ධී ‘දා බිදු මුතු’ දියත උයනේදී..

December 5, 2016 at 2:06 am | lanka C news
සමෘද්ධී ‘දා බිදු මුතු’ දියත උයනේදී..

සමෘද්ධි ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් ඒකරාශි කරමින් සමෘද්ධී “දා බිදු මුතු” ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය දෙසැම්බර් මස 06 ,07,08 තෙදින බත්තරමුල්ල දියත උයනේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර ඇත.

මෙය සංවිධානය කරනු ලබන්නේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අලෙවි අංශය මඟිනි.

සමෘද්ධි ව්‍යාපාරය මඟින් මේ වන විට අඩු ආදායම්ලාභි ජනතාවට සහනාධාර ලබාදෙමින්, යටිතල පහසුකම් නංවමින්, බැංකු ක්‍රමයකට ජනතාව හුරු කරමින්, ක්ෂුද්‍ර මූල්‍ය ණය සපයමින් දිවයින පුරා ලක්ෂ පහකට වැඩි ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පිරිසක් බිහිකර ඇත.
ඔවුන්ගෙන් වැඩි පිරිසක් සුළු පරිමාණ ව්‍යාපාරිකයන් ය. වෙළඳපොලෙහි ඇති දැඩි තරඟකාරිත්වය නිසාම ස්ථාවර වෙළෙඳපොලක් සකස්කර ගැනීම හා වෙළෙඳපොළ පුළුල් කරගැනීම ඔවුන්ට ඇති ප්‍රධාන ම අභියෝගය විය. සමෘද්ධි වැඩසටහන ගැන උපරිම විශ්වාසය තැබූ ඔවුන් වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඔවුන්ට වෙළෙඳපොල අවස්ථා උදාකර දීම සමෘද්ධි “දා බිදු මුතු” ජාතික වෙළෙඳ ප්‍රදර්ශනයේ මූලික අරමුණයි.

මේ සඳහා සහභාගි වන ව්‍යවසායකයන් අතුරින් හොඳම ව්‍යවසායකයන් 10 දෙනකු තෝරාගෙන ඒ අයට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම මෙහිදි සිදු වේ.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනයෙන් ඔබට, අත්කම් නිෂ්පාදන, අත්යන්ත්‍ර නිෂ්පාදන – සාරි, බෙඩ් ෂීඩ්, මේසරෙදි හා අත්පිස්නා ,එළවළු පැල හා විසිතුරු පැල කම්මල් උපකරණ, කජු , කුළුබඩු නිෂ්පාදන, චිත්‍ර නිර්මාණ ,ගෘහ භාණ්ඩ , ධාන්‍ය වර්ග ඉතා පහසු මිලට මිලදී ගත හැක.

– සංජය දසනායක

11 views
Main News