සයිටම් ආයතනයට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කිසිම අනුමැතියක් දී නෑ..

July 1, 2017 at 12:00 pm | lanka C news
සයිටම් ආයතනයට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කිසිම අනුමැතියක් දී නෑ..

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට වෛද්‍ය පීඨ ශිෂ්‍යය දෙමාපිය සංගමය විසින් සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු මැයෙන් සිදු කරනු ලබන සත්‍යග්‍රහයට සහභාගීවිමෙන් අනතුරුව නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

මේ රටේ අද වෛද්‍යවරු වැඩ වර්ජනය කරලා තියෙන්නේ තමන්ට ඉහල වැටුප් ඉල්ලා නෙවෙයි. ඒ වගේම අපේ සරසවි දරුවන් පන්ති වර්ජනය කරලා තියෙන්නේ පෙළපාලි ගිහින් හැමදාමත් කදුළු ගෑස් කන්නේ ඔළුපලා ගන්නේ තමන්ට ලැබිය යුතු දෙයක් ගන්න නෙවෙයි. මේ වෛද්‍ය ශිෂ්‍යයන් කොහොමත් වෛද්‍යවරු වෙනවා. වෛද්‍යවරු වුනාම ඔවුන්ගේ දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යවා හෝ ඉගැන්වීමේ හැකියාව ඔවුන්ට ලැබෙනවා. මේ ඔවුන් සටන් කරන්නේ අනුන්ගේ දුප්පත් දරුවන් වෙනුවෙන් මේ රටේ රෝගීන්ගේ අයිතීන් වෙනුවෙන්.

මේ වැඩ බැරි ආණ්ඩුව ප්‍රශ්න විසදා ගන්න විදිය දන්නේ නැති නිසා හැමෝටම තලා පෙලා රාජ්‍ය මර්ධන යන්ත්‍රනයත් අධිකරණයත් භාවිතා කරමින් මේ ප්‍රශ්නය විසදීමට උත්සහා කරනවා. අධිකරණය කෙරෙහි අපගේ ගෞරවයක් තියෙනවා. නමුත් අධිකරණය හරහා මෙවැනි දේශපාලන ප්‍රශ්න විසදන්න බෑ කියන තිත්ත ඇත්ත මේ ආණ්ඩුව තේරුම් ගත යුතුයි. මේ ආණ්ඩුව සයිටම් ප්‍රශ්නය හරහා රටම ලේ විලක් කිරීමට වෑයම් කරන බවයි පෙන්නේ. වෘත්තිය වෙනුවෙන් ජනතාවගේ අයිතිය වෙනුවෙන් මේ පටන් ගත්ත සටන හිර ගෙවල් පෙන්නලා කුළුපොලු පෙන්නලා බය කරන්න මේ ආණ්ඩුවට හැකියාවක් නෑ.

අපි ඉල්ලන යුක්තිය ලැබෙන තුරු මේ සටන ඉදිරියට යාවී. මේ ඉන්නේ දෙමාපියන් ඔවුන්ට තිබුණා තමන්ගේ ළමයින්ට කියන්න පන්තිවලට යන්න කියලා. ඒ වෙනුවට දෙමාපියන් මේ සත්‍යග්‍රහයට එක්වෙලා තියෙන්නේ තමන්ගේ දරුවන් පන්ති වර්ජනය කරමින් ඔළුපලාගෙන මේ කරන්නේ යුක්ති සහගත සටනක් මේ සටනේදී දරුවන්ට අවවාද දෙනවාට වඩා ඔවුන්ගේ පිටුපස සිට ගනිමින් ඔවුන්ගේ සටන ශක්තිමත් කළයුතුයි කියලා දෙමාපියන් සිතන නිසා. අපිට මතකයි මැක්සියම් ගෝර්කි ගේ අම්මා කෘථියේ ඉන්න (Maxim Gorky) අම්මාවරු සහ පියවරු තමයි මේ සටනේදී දරුවන්ට ශක්තියක් වෙලා තියෙන්නේ. මුලින් සිටියේ වෛද්‍ය සිසුන් විතරයි. ඊළගට වෛද්‍යවරු එකතු වුණා. දැන් දෙමාපියන් එකතුවෙලා ඉන්නවා සමස්ත සංවේදී දේශපාලකයන් මේ ප්‍රශ්නෙදී එකාන්විතව මේ සටනත් එක්ක හිට ගෙන ඉන්නවා. තව ඔළු කීයක් පලන්න ඕනේද තව ජිවිත කීයක් බිලි දෙන්න ඕනේද තව දවස් කීයක් මාර්ග හරස් කරන්න ඕනේද? අපි කියන දේ ආණ්ඩුවට ඇහෙන්නේ නැද්ද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.

ප්‍රශ්නය
මේක පටන් ගත්තේ පසුගිය රජය ඔබතුමත් එතන හිටියා ඇයි ඒකාලේ ඔබතුමන්ලා මේකට විරුද්ධ වුනේ නැත්තේ?

පිළිතුර
මුලින්ම කියන්න ඕනේ සයිටම් පිලිබද අපිට හැමදාමත් තිබුණේ එකම මතය. සයිටම් ආරම්භ කරපු දවසේ සිට අද දක්වාම අපි අඛන්ඩවම හිටියේ විරුද්ධ මතයක. තමුන්නාසේලා පරණ මාධ්‍ය තොරතුරු හොයලා බැලුවොත් අපි එදා හිටිය මතයේ මයි අදත් ඉන්නේ කියලා තේරුම් ගත හැකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කවදාවත් සයිටම් එකට අවසරයක් අනුමැතියක් දීලා නෑ. සයිටම් පටන් ගන්නේ හොර කඩයක් විදිහට කිසිම නීත්‍යානුකුල අනුමැතියකින් තොරව. මේ අර්බුදයට විසදුමක් විදිහට අනුමැතිය ලබා දීමට යම් යම් කොන්දේසි ගණනාවක් 2011 අගෝස්තු මාසේ 29 වෙනිදා නිකුත් කල ගැසට් නිවේදනය අනුව සයිටම් එකට පැවැරුවා. ඒ කිසිම කොන්දේසියක් ඉටු කර ගැනීමට බැරිවුනු නිසා සයිටම් වලට අනුමැතිය ලැබුනේ නෑ. කවුරුහරි කියනවා නම් මහින්ද රාජපක්ෂ යුගයේ අනුමැතියක් දුන්නාය කියලා එක පට්ටපල් බොරුවක්.දුන්නේ කොන්දේසි ප්‍රමාණයක් අනුමැතිය ලබා දීම සඳහා ඒ කොන්දේසි සම්පුර්ණ කරන්න සයිටම් ආයතනට බැරිවුණා. නමුත් එදා ජාතික හෙළ උරුමය විදිහටත් අද පිවිතුරු හෙළ උරුමය විදිහටත් අපි හිටියේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාල ශ්‍රිලංකාවට අනවශ්‍යයි කියන තාර්කික මතයක. මෙය අපේ රටේ බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ලෝකයේ දියුණු රටවල මෙවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නෑ. ලෝකයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙන්නේ ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, මැලේසියාව වගේ රටවල් වල අනෙක් පැත්තට ඒ රට වල වෛද්‍ය ආධ්‍යාපනය සහ සෞඛ්‍ය මහා අර්බුධයකට තල්ලු වෙලා තියෙනවා. වකුගඩු ජාවාරම් කරන, දොස්තර උපාධිය පාස් වෙලා කොන්දොස්තර කම කරන, බෙහෙත් විකුණන ඖෂධ ජාවාරම්කරුවන් බවට ඒ රටවල වෛද්‍යවරු පත්වෙලා තියෙන්නේ නිසි ප්‍රමිතියක් නැතුව රටේ අවශ්‍යතාවයට වඩා වෛද්‍යවරු බිහිකරලා තියෙන නිසා. අපි සංඛ්‍යා ලේඛන විද්‍යාත්මකව අධ්‍යනය කරලා බැලුවම අපේ රටේ ඉදිරි වසර 7 තුළදී ශ්‍රි ලංකාවේ වෛද්‍යවරු සංඛ්‍යාව 43000 ඉක්මවා යනවා. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වා දීලා තියෙන ජනගහන වෛද්‍ය අනුපාතයේ ප්‍රශස්ත මට්ටම තව වසර 7කින් ඉක්මවා යනවා. ඊට පස්සේ අපේ රටේ වෛද්‍ය අතිරික්තයක් ඇතිවෙන්න පුළුවන් ඉන්දියාවේ ඇති වී තිබෙන අවසනාවන්ත ඉරනම මේ රටට ඇති වීමට කිසිසේත්ම ඉඩ දෙන්න බෑ.

ප්‍රශ්නය
මෛත්‍රිතුමා ඔය කඩේ ඇරිය ගමන් වැහුවනම් මේ ප්‍රශ්නය ඔච්චර දුර දිග දුවන්නේ නෑ නේද? ළමයින්ට ඔළුපලා ගන්න වෙන්නේ නෑ?

පිළිතුර
අපි එදාත් කිව්වා වැරදියි කියලා අදත් කියනවා වැරදියි කියලා කවුරු කළත් කවදා කලත් වැරදි දේ වැරදිම තමයි.

– අරවින්ද අතුකෝරල

78 views
Main News