සයිටම් මහින්දගේ දරුවෙක් නොවේ.. ආරම්භ කර ඇත්තේ අනුමැතිය නැතිවයි..

February 14, 2017 at 1:20 pm | lanka C news
සයිටම් මහින්දගේ දරුවෙක් නොවේ.. ආරම්භ කර ඇත්තේ අනුමැතිය නැතිවයි..

පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

ආණ්ඩුවේ සයිටම් තර්ක වලට අපෙන් පිලිතුරු

මා මිත්‍ර එස්බී දිසානායක රාජිත සේනාරත්න සහ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමන්ලා හරි විහිළුකාරයෝ වෙලා.  සයිටම් එක එස්බී රාජිත කිරිඇල්ල හවුල් ව්‍යාපාරයක් ද කියලා සිතෙන තරමට ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.  එතුමන්ලා මතු කරන බොලඳ තර්ක කිහිපයකට අපි පිලිතුරු දිය යුතුයි.

අපෙන් අහනවා සයිටම් විරෝධය කොතලාවල වෛද්‍ය පීඨයට එල්ල කලේ නැත්තේ ගෝඨාභයට තිබුණු භය නිසා ද?  එතුමන්ලා බයේ කටවල් වසා ගෙන සිටියත් අපි රාජපක්ෂ ආණ්ඩුව කාලයේත් සිරිසේන ආණ්ඩුව කාලයේත් බයට කටවල් වසා ගෙන සිටියේ නෑ.  අපි කොතලාවල වෛද්‍ය පීඨයට විරුද්ධ නොවුණේ එය ආණ්ඩුවෙන් කරන නිසා.  අපි ගාස්තු අය කර උපාධි පාඨමාලා පවත්වනවාට විරුද්ධ නෑ.  පිවිතුරු හෙළ උරුමය විරුද්ධ ලාභ පරමාර්ථයෙන් උපාධි කඩ දානවාටයි.  ඒ නිසා කොතලාවල වෛද්‍ය පීඨයට විරුද්ධ වෙන්න අපට හේතුවක් නෑ. සයිටම් කියන්නේ මුදලාලි කෙනෙක් ලාභ පරමාර්ථයෙන් කරගෙන යන ව්‍යාපාරයක්. ඒක තමයි කොතලාවල පීඨය හා සයිටම් අතර ඇති බරපතලම වෙනස. ලෝකයේ ගාස්තු අය කරන විශ්ව විද්‍යාල වලින් 99.9% ක් ම කොතලාවල වෛද්‍ය පීඨය වගේ ගාස්තු අය කරන රජයේ වෛද්‍ය පීඨ.

ඔක්ස්ෆඩ් කේම්බ්‍රිජ් යේල් ප්‍රින්ස්ටන් වැනි ලෝකයේ සුප්‍රකට දැවැන්තම විශ්ව විද්‍යාලත් පෞද්ගලික විශ්ව විද්‍යාල කියන එක මේ අයගේ තවත් තර්කයක්. පට්ටපල් බොරුවක් මේකත්. මේ විශ්ව විද්‍යාල සියල්ලම පල්ලියෙන් පටන්ගත් ලාභ ලැබීමේ පරමාර්ථයක් නැති විශ්ව විද්‍යාල. ඒ වගේම පෞද්ගලික හිමිකාරීත්වයක් ඒවාට නැහැ. ඔක්ස්ෆඩ් කේම්බ්‍රිජ් යේල් ප්‍රින්ස්ටන් වැනි විශ්වවිද්‍යාල සයිටම් සමග සංසන්දනය කිරීම විහිළුවක්.  එවැනි විශ්ව විද්‍යාලවල සාතිශ්‍ය බහුතරය ආණ්ඩුවට අයිතී. ඉතිරු ටික ආගමික සංවිධාන වලට නැතිනම් සමාජ සේවා සංවිධාන වලට නොඑසේනම් ව්‍යාපාරික ආයතන සමාජ සේවා සත්කාර ලෙස පවත්වාගෙන යනු ලබන භාර වලට.

ටියුෂන් වලට විරුද්ධ නැතිව ජාත්‍යන්තර පාසල් වලට විරුද්ධ නැතුව සයිටම් වලට පමණක් විරුද්ධ වෙන්නේ ඇයි කියලා ඇමතිවරු ප්‍රශ්න කරනවා.  දැනුමේ දිග පළල තමයි ඔය ප්‍රදර්ශනය කරන්නේ.  ටියුෂන් වේවා ජාත්‍යන්තර පාසලේ වේවා අධ්‍යාපනය ලබා දෙන්නේ එම ආයතන වලින් වුවත් විභාග පවත්වන්නේ රජයෙන්.  ඒ නිසා ප්‍රමිතිය රැකෙනවා.  නමුත් විශ්ව විද්‍යාල වල දී අධ්‍යාපනය ලබා දීම මෙන්ම විභාග පැවැත්වීමට ද කරන්නේ විශ්ව විද්‍යාලයෙන්.  ඒ නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍රමිතිය රැක ගැනීම දුෂ්කරයි.  ආණ්ඩුවේ වෛද්‍ය පීඨ වල විභාග අසමත් වෙලා පාඨමාලාව අත් හැරපු අය දෙන්නෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලත් එහෙම අසමත් කලොත් කවුරුවත් මිලියන 12ක් ගෙවලා ඒවාට බැඳෙන්නේ නෑ.

පෞද්ගලික ප්‍රතිකාර හෙවත් චැනලින් කරන ගමන් වෛද්‍ය සංගමය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වීම විහිළුවක් කියලා ඇමතිවරු කියනවා.  මේවා කාරණා දෙකක්.  වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ දී හැමෝම උත්සාහ කරන්නේ හොඳම දොස්තරගෙන් බෙහෙත් ගන්න.  නමුත් උපාධියක් ලබා ගැනීමේ දී හැමෝම උත්සාහ කරන්නේ හොඳම උපාධිය ලබා ගන්න නොවේ ලෙහෙසියෙන් සමත් වෙන්න පුළුවන් උපාධිය ලබා ගන්න.  ඒ නිසා උපාධි කඩ දැම්මොත් විභාග උසස් මට්ටමින් පවත්වන විශ්ව විද්‍යාල වලට ශිෂ්‍යයෝ සොයා ගන්න බැරි වෙනවා. සෞඛ්‍ය සේවය මුදලට ලබාදීමත් අධ්‍යාපනය මුදලට ලබා දීමත් සංසන්දනය කරන්න බෑ. උදාහරනයක් විදිහට ගත්තොත්  මීයා චීස් කයි. අපේ මදු මාධව ද චීස් කයි.  ඒ නිසා මධූ ද මීයෙකි.  මේ වගේ තර්ක ගොඩ නගන්න බෑනේ.  සංසන්දනය කල නොහැකි දෙකක තියෙන සුළු සමානකම් ගෙන හැර දක්වමින් තර්ක කිරීම තර්කයේ වැරැද්දක්. අපේ ඇමතිතුමන්ලා තර්ක ශාස්ත්‍රය ඉගෙන ගෙන නැති නිසා තමයි මේ විදිහට තර්ක ගොඩ නගන්න හදන්නේ.

සරත් අමුනුගම ඇමිතිතුමන් කියනවා සයිටම් කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ දරුවෙක්. ඒ නිසා එතුමන් ඒකට දැන් විරුද්ධ වෙන එක වැරදි කියලා. ඒක පට්ටපල් බොරුවක්.  සයිටම් පටන් ගන්නේ කිසිම අනුමැතියකින් තොරව.  2009 බීඕඅයි සමාගමක් ලෙස. 2011 දී අනුමැතිය ඉල්ලුවාම ආණ්ඩුව දෙන්නේ නිසි ප්‍රමිතිය ඇති කිරීමේ කොන්දේසියට යටත් වූ අනුමැතියක්.  ඒ කොන්දේසි ඉටු කලේ නැති නිසා ඉබේම අනුමැතිය අවලංගු වුණා. වෛද්‍ය සංගමය, මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරුන් ඉන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල තිබුනට කමක් නෑ. නමුත් නිසි ප්‍රමිතියකට තිබිය යුතුයි කියන මතයේයි. ඒ අනුව මහින්ද ජනාධිපතිතුමා විරුද්ධ වෙන්නේ සයිටම් නිසි ප්‍රමිතියට නෑ කියන කාරණය මතයි.

– අරවින්ද අතුකෝරල

26 views
Main News