සයිටම් වහාම අහෝසි කළ යුතුයි..- ආණ්ඩුවේ හෙල උරුමය නිල මතය කියයි..

March 14, 2017 at 4:40 pm | lanka C news
සයිටම් වහාම අහෝසි කළ යුතුයි..- ආණ්ඩුවේ හෙල උරුමය නිල මතය කියයි..

මාලඹේ සයිටම් ආයතන මගින් ලබා දෙන වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් මේ වන විට දේශපාලනඥයන් අතරත්, වෘත්තීයවේදීන් අතරත්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මෙන්ම පොදු මහජනතාව අතරත් විශාල විරෝධතාවක් නිර්මාණ වී තිබේ. එම නිසා මෙලෙස අර්බුදයට ලක්ව ඇති සයිටම් ආයතනය වහා අහෝසි කළ යුතු යැයි ජාතික හෙළ උරුමය යෝජනා කර සිටියි.

ජාතික හෙළ උරුමයේ පක්ෂ මූලාස්ථානයේ අද දින පැවැති මාධ්‍ය හමුවේ දී අනුරුද්ධ ප්‍රදීප් මහතා මේ බව පැවසීය.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික හෙළ උරුමයේ සමසභාපති දර්ශනපති හැඩිගල්ලේ විමලසාර හිමියන්, මධ්‍යම කාරක සභික බුදුගල ජිනවංස හිමියන් හා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් යන අය සහභාගී විය.

එහිදී අනුරුද්ධ ප්‍රදීප් මහතා සදහන් කර සිටියේ කඩිනමින් සයිටම් ආයතනය වසා දැමීමට ආණ්ඩුව කටයුතු කළ බවත් ඒ සදහා අප පක්ෂය පහත යෝජනා ඉදිරිපත් කරන බවත් ය.

  1. සයිටම් වෛද්‍ය විද්‍යාලය වහාම අහෝසි කළ යුතුය.
  2. දැනට බඳවාගෙන ඇති ශිෂ්‍යයන්ගෙන් හැකි උපරිම පිරිසකට වෛද්‍යවරුන් වීම සඳහා අවස්ථාව සකසා දීමට සුදුසු වැඩපිළිවෙලක් සැකසීම සඳහා විශේෂඥ මණ්ඩලයක් පත් කළ යුතුය. එසේ ඔවුන්ට වෛද්‍යවරයෙකු වීම සඳහා අවශ්‍ය සුදුසුකම් තිබේද යන්න පරීක්ෂා කිරීමේ නිර්ණායක ලෙස (අ) ඔවුන්ගේ ප්‍රවේශ සුදුසුකම්, (ආ) ආයතනයෙන් ඔවුන් ලබා ඇති අධ්‍යාපනයේ තත්ත්වය, (ඇ) ඔවුන් එහිදී දක්වා ඇති සාධන මට්ටම් සහ (ඉ) සායනික පුහුණුව යන කරුණු සලකා බැලීම සුදුසුය. එසේ වෛද්‍යවරුන් ලෙස පත්කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ නොකරන ශිෂ්‍යයන්ට විකල්ප උපාධි අධ්‍යාපන අවස්ථා ලබා දිය යුතුය. මේ අවස්ථා දෙක සඳහාම නොතේරෙන ශිෂ්‍යයන් සහ වෛද්‍ය වෙනුවට වෙනත් විකල්ප උපාධි වැඩසටහනකට අකමැති වන ශිෂ්‍යයන් සඳහා වන්දි මුදලක් ප්‍රදානය කොට ඔවුනට ආයතනයෙන් ඉවත්ව යාමට අවස්ථාව සැකසිය යුතුය.
  3. සයිටම් වෛද්‍ය විද්‍යාලය රජයේ විශ්වවිද්‍යාලයකට අන්තර්ග්‍රහණය කළ හැකිද යන්න සොයා බැලිය යුතුය. එසේ කළ හැකිනම් එය මොරටුව වැනි විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක් ලෙස සංවර්ධනය කිරීම සුදුසුය. එය එසේ රජයේ වෛද්‍ය පීඨයක් බවට පත් කරන්නේනම්, එහිදී එයද අනෙක් වෛද්‍ය පීඨ ලෙසටම එකී පොදු ජාතික ක්‍රමවේදයට අනුකූලවම ශිෂ්‍ය ප්‍රවේශය පවත්වාගෙන යා යුතුය‍.

– බුදුගල ජිනවංස හිමි

 

35 views
Main News