ස්ථාන දෙකකින් බෝම්බ හා පුපුරණද්‍රව්‍ය සොයාගනියි…

March 4, 2020 at 8:02 am | lanka C news
ස්ථාන දෙකකින් බෝම්බ හා පුපුරණද්‍රව්‍ය සොයාගනියි…

මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී යුද හමුදාව විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා අත්බෝම්බයක් සොයා ගෙන පොලීසියට භාර දී ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

යුද හමුදා සෙබලුන් පිරිසක් විසින් මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී කැලෑබද ප්‍රදේශයක සඟවා තිබි කිලෝ ග්‍රෑම් දෙකක පමණ බරින් යුතු වෙඩි බෙහෙත් කූරු තොගයක් සොයාගෙන ඇති අතර අනතුරුව  මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අත්බෝම්බයක් සොයාගෙන ඇත.

සවුත්බාර් ප්‍රදේශයේදී සොයාගත් වෙඩි බෙහෙත් පිරවු කූරු ධීවරයින් විසින් නීතිවිරෝධී අයුරින් මසුන් මෑරීමට රැගෙනවිත් අදාල ස්ථානයේ සඟවා තබන්නට ඇති බවටත් පල්ලිමුනෙයි ප්‍රදේශයේදී සොයාගත් අත් බෝම්බය ඉතා පැරණි තත්ත්වයේ පසුවන හෙයින් යුධ සමයේදී කොටි සාමාජිකයින් විසින් වලදමා තිබියදී මතුවී ඇති බවට සැකපලකරන්නේයැයි මන්නාරම් පොලිසිය පැවසීය.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමට මන්නාරම පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශයට යොමුකොට ඇති බවටද පරික්ෂණ සිදුකරන මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,731 Viewers
Main News