ස්විස් එම්බසි නාඩගමේ හොදම කොටස හෙලිවෙයි.. ලේක්හවුස් ලොක්කන් රහස් පොලිසියේ..

February 4, 2020 at 10:00 am | lanka C news
ස්විස් එම්බසි නාඩගමේ හොදම කොටස හෙලිවෙයි.. ලේක්හවුස් ලොක්කන් රහස් පොලිසියේ..

ව්‍යාජ පැහැරගැනීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකා ගානියා බැරිස්ටර් සමග සම්බන්ධතා පැවැත්වු බවට තොරතුරු හෙළිව ඇති ලේක්හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ හිටපු කර්තෘ දරීෂා බැස්ටියන් සමග සම්බන්ධතා පැවැත්වු තවත් පුද්ගලයන් කීප දෙනකු පිළිබද පරීක්ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ලේක්හවුස් ප්‍රගතිශීලී සේවක සංගමය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති චන්දන බණ්ඩාර සහ එහි ලේකම් තිස්ස ධම්මික විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත මෙම පැමිණිල්ල බාර දෙන ලදී. “ ගානියා බැරිස්ටර්ගේ ස්විස් නාඩගමට සම්බන්ධ ලේක්හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත සහ දරීෂා බැස්ටියන්ට අමතරව තවත් මේ සිදුවීමට සම්බන්ධයි. ඒ අයගෙන් මේ වන වන විට ක්‍රිෂාන්ත කුරේ සහ දරීෂා බැස්ටියන් ස්විස්ටර්ලන්තයේ ජීවත් වෙන්නේ. හැබැයි මේ දෙදෙනා ගණදෙනු කළ ඔවුන්ට ස්විස් නාඩගම සදහා උදව් කළ තවත් කීප දෙනෙක් ලේක්හවුස් ආයතනයේ වැඩ කරනවා. ඒ වගේම ලේක්හවුස් ආයතනයෙන් පිට වැඩ කරනවා. මේ අය ගැන වහාම විමර්ශනයක් කරන ලෙසත් නැතිනම් මේ අයත් හෙට අනිද්දා රටින් පලා යා හැකි බවත් “ පැමිණිල්ල බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති මධ්‍ය වේදී චන්දන බණ්ඩාර මහතා කීය.

වැඩි දුරටත් ඔහු මෙසේද කීය. “මේ වන විට ස්විස් නාඩගමේ හෙළි නොවු තවත් තොරතුරු රැසක් අණාවරණය කර ගැනීමට ලංකාවේ ඉතිරිව සිටින හොදම මුලාශ්‍ර දෙක තුනක් තිබෙනවා. මේ අය වහාම ප්‍රශ්න කළ යුතුයි. නැතිනම් මේ අයත් හෙට අනිද්දා රටින් පලා යන එක ස්ථිරයි. දරීෂා බැස්ටියන්ගේ දෙවැනියා ලෙස කටයුතු කළ නීතීඥවරියක් වන ඔබ්සවර් පුවත්පතේ සම කර්තෘවරියක් සිටිනවා. ඇය ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවක්. ඇය සතුව තමයි දරීෂා බැස්ටියන් පාවිච්චි කළ ලැප්ටොප් පරිඝණකය තිබෙන්නේ. එය දැන් භාවිතා කළ නොහැකි මට්ටමට විනාශ කරලා තිබෙන්නේ. හැබැයි මේ ලැප්ටොප් එක අත්අඩංගුවට ගෙන කොළඹ විශ්වවිද්‍යාලයට යැව්වොත් තවත් තොරතුරු රැසක් අණාවරණය කර ගත හැකි වේවි.

“ඒ විතරක් නෙමෙයි ලේක්හවුස් නව මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මධුක තක්සල ප්‍රනාන්දු සහ ලේක්හවුස් රැස පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය උපදේශක රංජිත් සමරකෝන් ක්‍රිෂාන්ත කුරේගේ සියලු රහස් දන්න උදවිය. ඒ නිසා මේ අයගෙන් ප්‍රශ්න කර ස්විස් නාඩගමේ තවත් තොරතුරු සොයා ගත හැකියි. “

“ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රීලාංකික පුරවැසිභාවය ප්‍රශ්න කිරීමට ගොණු කළ නඩුව නිර්මාණය කළේ ලේක්හවුස් ආයතනයේ පරිශ්‍ර යේදී. එම නඩුව සකස් කළේ යාපනය දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ නීතීඥවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එහි සම්පුර්ණ මෙහෙයුම කළේ ලේක්හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ , සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ හිටපු කර්තෘ දරීෂා බැස්ටියන් සහ ඉන්දියානු සම්භවයක් සහිත සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ සම කර්තෘවරියක් වන නීතීඥවරියක් වන මාධ්‍ය වේදිනියක්. ඇය දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කණිෂ්ඨ නීතීඥවරිය විදිය කටයුතු කරනවා. ඒ දවස්වල රාත්‍රී කාලයේ යාපනය දිස්ත්‍රික් දෙමළ ජාතක සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හොර රහසේ ලේක්හවුස් පරිශ්‍රයට අතුළු වෙලා තිබෙනවා. එ වගේම ලේක්හවුස් ආයතනයට එකළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු නිතර පැමිණ තිබෙනවා. ලේක්හවුස් ආයතනය එකළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයාට මඩ ගැසීමේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් මධ්‍යස්ථානය විදියට ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මේවා ගැන වහාම අපක්ෂපාති පරීක්ෂණයක් අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා.

“එපමණක් නෙමෙයි 2017 සහ 2019 නොවැම්බර් මාසය දක්වා ලේක්හවුස් ආයතනයේ විදෙස් රටවල තානාපති කාර්යාලවලට සම්බන්ධ මාධ්‍ය වේදීන් වැටුප් ගෙවමින් නඩත්තු කර තිබෙනවා. ඒ සියලු දෙනා විදෙස් මාධ්‍ය වේදීන්. මේ මාධ්‍ය වේදීන් නොවැම්බර් 16 ජනාධිපතිවරණයට පසුව අපට දකින්න ලැබුණේ නෑ. ඒ විතරක් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකතුමාගේ සියලු රැස්වීම්වලට විදෙස් ජාතික මාධ්‍ය වේදීන් නිරීක්ෂණයට යොමු කර තිබුණා. එම කටයුත්ත කර තිබුණේ ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරියක් විසින්. “ ඒ නිසා විදෙස් මාධ්‍ය වේදීන් ලේක්හවුස් ආයතනයේ වැටුප් ගෙවමින් තබා ගෙන සිටියේ ඇයි. ඒ අය තානාපති කාර්යාලවලින් මෙරට ජාතික ආරක්ෂක තොරතුරු රැස් කළ ඔත්තු කරුවන්දැයි සැක මතු වෙනවා. ඒ නිසා මේ සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අණාවරණය කර ගත හැකිය. එය රටේ ජාතික ආරක්ෂාව උදෙසා ඉතා වැදගත් බව අවධාරණය කිරීමටයි අප අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට මේ පැමිණිල්ල සිදු කළේ. “ ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති චන්දන බණ්ඩාර වැඩි දුරටත් කීය.

– LH midea

79 views