සෑම 2418කටම එක් මන්ත‍්‍රීවරයෙක්.. සියළු මන්ත්‍රීවරුන් 9098යි.. ලංකාවේ දියුණුවේ පෙරටම…

August 16, 2018 at 3:50 pm | lanka C news
සෑම 2418කටම එක් මන්ත‍්‍රීවරයෙක්.. සියළු මන්ත්‍රීවරුන් 9098යි.. ලංකාවේ දියුණුවේ පෙරටම…

පළාත් සභා රටතුළ පවත්වාගෙන යන්නේ නම්  පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 225 ක් අනවශ්‍ය බවත්,  දැන් රටේ සෑම මිනිසුන් 2418 කටම මන්ත්‍රීවරයකු සිටින බවත් එය රටට දරාගත නොහැකි බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභාපති නීතීඥ උපාලි අමරසිරි මහතා සදහන් කරයි.

උපාලි අමරසිරි මහතා මේ අදහස් ප්‍රකාශ කලේ පසු ගිය දා  පක්ෂ කාර්යාලයේ දී  පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී අදහස් දක්වා සිටි සභාපතිවරයා,

අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ක් ඉන්නවා, මේකෙන් 196 ක් ජන්දයෙන් පත්වෙද්දි 29 ක් ජාතික ලැයිස්තුවෙන් පත්වෙනවා. මේ ආකාරයට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත්කරන ක්‍රමය වෙනස් වෙන්නේ 1978 ව්‍යවස්ථාවෙන්. එයින් වසර 09 ක් ගියාට පසුව තමයි උතුරේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් 1987 දී ඉන්දු ලංකා ගිවිසුම මගින්  පළාත් සභා හදුන්වාදෙන්නේ.  ලංකාවේ  බහුතර ජනතාවගෙත් ඒ කාලේ තිබුණු ආණ්ඩුවෙ විශාල පිරිසකගේත් අකමැත්තෙන්  නමුත් 1987 ගෙන ආපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පළාත් සභා හදුන්වා දුන්නා.

1978 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රමාණය 225 ලෙස හදුනාගන්නේ 1987 පළාත් සභා කියලා සංකල්පයක්  එනබව  දැකලා නෙමයි. 87 පළාත් සභා අහම්බයක්. ඒ අහම්බයෙන් හදුන්වාදුන් පළාත් සභා සදහා මන්ත්‍රීනරු ගනන 437 ක්. පහුගිය වසරේ  පාර්ලිමේන්තුවේ සම්මත කල පළාත් සභා පනත අනුව   එන සංශෝධනයේදි 50 ට 50 ක්‍රමය මගින් මේක පොඩි ගනනක් වෙනස් වෙයි, ඓහම වෙලා දළ වශයෙන් මැතිවරණ කොඨ්ටාශයකට මන්ත්‍රීවරු දෙදෙනෙක් පමණ පත්වෙයි.

පහුගිය පළාත් පාලන මැතිවරනයේදි සෑම ගම්මාන 02 කට හෝ 03 කට ප්‍රාදේශිය මන්ත්‍රීවරයකු බැගින් පත්වුනා. මේ අයගේ එකතුව 8436 ක් පමණ වෙනවා. පළාත් සභා මන්ත්‍රීවරු 437 ක්. ජනතා ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන්න ඕනෑ තරම් මහජන නියෝජිතයෝ ඉන්නවා.   දැන් පාර්ලිමේන්තුවට 225 ක්  ඉන්නවා. ඔක්කොම මන්ත්‍රීවරු 9098 ක්. සෑම මිනිස්සු 2418 කටම මන්ත්‍රීවරයෙක් ඉන්නවා. මේ රටට මේතරම් මහජන නියෝජිතයෝ දරාගන්න බෑ.  පහුගිය කාලේ අධීක්ෂණ මන්ත්‍රීවරු කියලා පිරිසකට දුන්නා වෙනම දීමනාවක්.  මේ ලෙසම අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට  පහුගිය ආණ්ඩුකාලේ දුන්නා වාහනයක්. මේවා අනවශ්‍ය නාස්තීන්.. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව අඩුම ගානේ භාගයකින්ම අඩුකල හැකියි.

පළාත් සභා 09 ක් ස්ථාපිත වුනා පලාත් 09 ට.  මේ පළාත් සභා හැම එකකම මහ ඇමතිවරයා එක්ක ඇමතිවරු පස් දෙනෙක් ඉන්නවා. මහ ඇමතිවරයා කියන්නේ කැබිනට් අමාත්‍යවරයකුට තිබෙන වරප්‍රසාද, පළාත් අමාත්‍යවරයෙක් කියන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ වරප්‍රසාද. දැන් මහ ආණ්ඩුවේ ඇමතිවරු ගනනට 09 ක් එකතු කරලා, නියෝජ්‍ය ඇමතිවරු ගනනට 36 ක් එකතුකල යුතුයි මැති ඇමතිවරු නඩත්තුව ගැන බලද්දි පළාත් සභා තියාගන්නවානම් මෙච්චර ලොකු පාර්ලිමේන්තුවක් වැඩක් නෑ. එහෙම නැත්නම් පළාත් සභා තියාගන්නවද කියලා තීරණයක් ගතයුතුයි.

කොහොමටත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර 225 ක් තිබුනට ආසන 225 ක් පනවලා තිබුනට මේ සභා රැස්වීම්වලට විශේෂ අවස්ථාවකදී හැර 100 ක් වත් එන්නෙ නෑ. පිලිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ප්‍රශ්ණවලට උත්තර දෙන්න ඇමතිවරු නැති අවස්ථාවල් ඕනතරම්.  සමහර මහජන නියෝජිතයෝ ඉන්නවා පාර්ලිමේන්තුවෙ වචනයක්වත් කතා නොකරපු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගනන 100 ත් වුනත් කමක් නෑ, එතැනට යන්න කිසියම් සුදුසුකමක්, නිර්නායකයක් තිබිම සුදුසුයි. ඒ ඉන්න ප්‍රමාණය පාර්ලිමේන්තුවේ සත්තු වගේ හැසිරෙන අය නොවිය යුතුයි. මොන කරුමයක් ද දන්නේ නෑ,රටේ නීතී හදන තැන හැසිරෙන හැටි බලන්න. අනෙක් කෙනාට කතාකරන්න නොදි බාධා කරනවා, නැත්නම් සෙංකෝලේ උස්සන් දුවනවා, නැත්නම් ගහගන්නවා, එහෙම පිරිසක් නීතී හදන තැනක ඉන්න  රටක් ලෝකෙට ණයවෙලා, හැම දර්ශකයකින්ම පහළට යාම අරුමයක් නෙමෙයි.

මේ රට මේ විදියට විනාශ වෙලා ගිහින් තියෙන්නේ කිසිම සුදුසුකමක් නැති, මිනිස්සු පාර්ලිමේන්තුවට,පලාත් සබාවලට , ප්‍රාදේශිය සභාවලට පත්කරලා යවපු නිසා. අපි ජනතාවට දොස් කියන්නේ නෑ.නමුත් මේ අය කාලෙන් කාලෙට,එක එක වේෂයෙන් ඇවිත් ජනතාව රවටනවා. අපි රටක් විදියට ඉස්සරහට යන්න නම් මේවායේ වෙනස්කම් ඇතිකරගත යුතුයි.

සමාජ සුභසාධනය අවශ්‍ය දෙයක් තමයි. නමුත් ටකරන් කොලයකට, සිමෙන්ති කොට්ටයකට,කුකුල් පැටවෙකුට උත්තරීතර මහජන පරමාධිපත්‍ය උකස් ගන්න එක වැරදියි. අපි කියන්නේ මේවා කරන්නේ බංකොලොත් දේශපාලනය. මේක වෙනත් ආකාරයකින් මැතිවරණ අල්ලස්. මේවා කොයිතරම් දුරට සමාජගත වෙලාද කියනවානම් අද මිනිස්සුත් අහනවා අපේ ජන්දය දෙන්න අපිට මොනවද දෙන්නේ කියලා. ඒ මිනිස්සු හැම කෙනාම රටේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවලා නැති බව ඇත්ත. ඒ මිනිස්සු දන්නේ නෑ, අපේ රටේ පාර්ලිමේන්තුවටත්, අධිකරණයටත් වඩා උත්තරීතර මහජන පරමාධිපත්‍ය කියන එක.ඒක තියෙන්නේ තමන් ලග කියන එක. මැතිවරණ දවසට ජනද පොලට ගිහින් කතිරයක් ගහලා කාට හරි දෙන්නේ උත්තරීතරම දෙය කියන එක. බොහෝ දේශපාලකයන් ඒක අහිංසක ජනතාවට තේරුම් කරන්නෙත් නෑ.  ඒක අවබෝධ වෙලා තිබුනා නම් මිනිස්සු තමන්ගේ වටිනා ජන්දය සිල්ලරේට පාව්චිචි කරලා කිසිම සුදුසුකමක් නැති , වැඩපිලිවෙලක් නැති අය පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට, ප්‍රාදේශිය සභා වලට යවන්නෙත් නෑ.

භයානකම තත්වය නම් අධ්‍යාපනයක් නැති මිනිස්සු පමණක් නෙමෙයි, සමාජයේ උගතුන්-බුද්ධිමතුන් කියන කොඨ්ටාශයක් ඔවුන්ගේ මට්ටමින් අර ගම්වවල අහිංසකයන් කරන දේම කරන එක. දැන් සමාජ නැගී සිටීම අවශ්‍ය කාලයක්. අපි ජනතාවට කියනවා , අවුරුදු 70 ක් පුරා අපට වැරදිලා තියෙනවා. දවසින් දෙකෙන් මේක වෙනස් කරන්නත් බෑ,වෙන්නෙත් නෑ.. මේක වෙනස් කලයුත්තේ මේක තුළ හිදිමින්මයි. ඇත්තටම මේක උඩුගම් බලා පිහිනන අමාරු ගමනක්. ඒ සදහා වැඩපිළිවෙළක් තිබෙන, උවමනාවක් තිබෙන, පලපුරුද්දක් තිබෙන කණ්ඩායමක් අවශ්‍යයි. අපි විශ්වාස කරනවා අපිට ඒ දේ කල හැකියි කියලා.

කීර්ති දුනුවිල
මාධ්‍ය ලේකම්
එක්සත් ජාතික නිදහස් පෙරමුණ

108 views

2 Comments to “සෑම 2418කටම එක් මන්ත‍්‍රීවරයෙක්.. සියළු මන්ත්‍රීවරුන් 9098යි.. ලංකාවේ දියුණුවේ පෙරටම…”

  1. Upul says:

    This should increase to 1:1 (one to one). Then everybody will be happy.

  2. ආරච්චි says:

    නියමයි…… මුන්ව නඩත්තු කරන්න යන්නේ ජනතාවගේ මුදල්.
    අවුලක් නෑ….. UNP මැති අමතිලානේ. ලක්ෂ 62කේ මුදල් වලින් නඩත්තු වුනාවේ.