සිංහල බුදු දහම සහ බුදු සසුණ වනසන ආණ්ඩුවේ කුමන්ත්‍රණ..

June 13, 2017 at 10:35 pm | lanka C news
සිංහල බුදු දහම සහ බුදු සසුණ වනසන ආණ්ඩුවේ කුමන්ත්‍රණ..

නාරම්මල මී වැව විජයවර්ධනාරාම පුරාණ මහා විහාරයේ නව සංඝාවාසයට සහ පුස්තකාලයට මුල්ගල තැබීමේ උත්සවයේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා සහභාගී විය.

මෙම අවස්ථාව සදහා කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ ග්‍රී කුසලධම්මාභිධාන මාහිමියන් පැපිළියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙන් පරිවේණාධිපති මැදගොඩ අභයතිස්ස හිමිපාණාන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි විය.

උත්සවය අමතමින් මන්ත‍්‍රීවරයා මෙසේ අදහස් පල කලේය.

සිංහල බුදු දහම සහ බුදු සසුණ වනසන ආණ්ඩුවේ කුමන්ත්‍රණ

අද මුල්ගල තැබු මේ සංඝාවාස ගොඩනැගිල්ල ඉක්මනින්නම ඉදි කර ස්වාමින්වහන්සේලාට සෙවන දෙන ස්ථානයක් බවට පත්වේවා කියා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. නමුත් පත්වේවා කියා ප්‍රාර්ථනා කලා කියලා සැබෑ වෙන්නේ නෑ. කොටි ත්‍රස්ත්‍රවාදය දුරුවේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි ගෙදරටවෙලා හිටියා නම් කොටි ත්‍රස්ත්‍රවාදය නැතිවෙන්නේ නෑ. ඒ ප්‍රාර්ථනාවෙන් ලැබෙන ශක්තිය යථාර්තයක් වෙන්න නම්, සැබෑ වෙන්න නම් අපි ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ඒ නිසා මේ සංඝාවාසය ඉදිකිරිමට මේ ප්‍රදේශයේ සියළුම දෙනා හැකි පමණින් උදව් කර මෙය යථාර්තයක් බවට පත් කරාවී කියලා අපි විශ්වාස කරනවා.

ඕනෑම ගොඩනැගිල්ලක අත්තිවාරම් හොද නම් මුල්ගල හොදනම් තමයි ඒ ගොඩනැගිල්ල ශක්තිමත් වෙන්නේ ගොඩනැගිල්ල ඉදිකිරීම සාර්ථක වෙන්නේ. එහෙම නිසා තමයි අසනීප තත්වයේ සිටියත් අපේ නායක ස්වාමින් වහන්සේ අතින්ම මුල්ගල තබා ගත්තේ. මේ ගොඩනැගිලට අද අපි මුල්ගල තියනකොට මේ රටේ මෙතෙක් කල් බුදු සසුන රැකීමට බලපාපු ප්‍රධාන මුල්ගල් දෙකෙන් එකක් මේ දවස් වල හොලවමින් පවතිනවා. ගලවයිද නැද්ද යන්න සැකය අපිට ඇතිවෙලා තියෙනවා. මේ රට බුදු දහම සමග තියෙන්නේ සුවිශේෂි සම්බන්දයක් අපේ හාමුදුරුවනේ. පොසොන් පෝ දිනය මිහිදු මහරහතන් වහන්සේ වැඩම කළ දිනයයි. මිහිදු මහරහතන් වහන්සේ වැඩම කළ දිනයේ සිට අද දක්වාම වසර 2300ක් පුරාවටම මේ රටේ බහුතර ජනතාවගේ ආගම බුදු දහමයි. මේ ලෝකයේ කිසිම රටක් නෑ වසර 2300ක් පුරාවටම එකම ආගමක් බහුතරයගේ ආගම විදිහට තිබුණු. අපිට වඩා පැරණි ශිෂ්ඨාචාරය කියලා බටහිර විද්‍යාව විදිහට හදුන්වන මිසරේ ගත්තත්, චීනය ගත්තත්, ඉන්දීයාව ගත්තත්, යුරෝපයේම තියෙන රෝමය ග්‍රීසිය ගත්තත් වසර 2300ක් එකම ආගමක් බහුතර ආගම විදිහට අදහලා නෑ. ශ්‍රිලංකාවට පමණක් මේ දේ කරන්න පුළුවන් වුණේ කොහොමද? බුදුන් වහන්සේ උපන් නේපාලයත් බුදුන්වහන්සේ ජිවත්වෙලා පිරිනිවන් පෑ ඉන්දියාවෙත් බුදුදහම අතුරුදහන් වෙද්දි මේ පුංචි රටේ බුදු දහම රැකුණේ කොහොමද? මේක අපි තේරුම් ගත්තොත් තවත් වසර 2300ක් මේ පින් බිමේ බුදුදහම රැක ගන්න පුළුවන්.

අපේ රටේ බුදුදහම රැකුනේ ප්‍රධාන හේතු දෙකක් හින්දා. ඒ දෙක තමයි මුල් ගල් දෙක. සිංහල බුදුදහම රණකාමි බුදුදහමක් ඒක පළවෙනි හේතුව. අපි අහලා තියෙනවා තක්ෂිලාවට බිම්කාසින්ගේ මුස්ලිම් ආක්‍රමණයට ආවේ 600යි කියලා. ඒ කාලේ ශිෂ්‍යයන් ගුරුවරුන් සහ ප්‍රජා පාලකයන් විදිහට දසදහසකට වඩා භික්ෂුන් වහන්සේලා තක්ෂිලාවේ වැඩහිටියා. උන්වහන්සේලා උදෑසන දානය වලඳන අවස්ථාවේ තමයි බිම්කාසින්ගේ හමුදාව කඩු අරගෙන තක්ෂිලාවේ කන්ද නැගලා තියෙන්නේ. නායක හාමුරුවන්ට මෙය දැනුම් දුන් පසු නායක හාමුදුරුවෝ අනුශාසනා කලා දානය වළඳන එක නවත්වලා ඇස් දෙක වහගෙන සියළු දෙනාම මරනානුස්තති භාවනාව වඩන්න කියලා.

එදා ලොකු හාමුදුරුවෝ එහෙම නොකියා එන්නේ 600යි අපේ අතේ පාත්තර 10000ක් තියෙනවා පාත්තර දානයෙන් පිරිලා තියෙන්න‍ෙ ගහපල්ලා ඔළුගෙඩි වලට කියලා කිව්වනම් අදටත් පාකිස්ථානය බෞද්ධ රටක් වෙන්න තිබුණා. නමුත් ඉතාම අවිහිංසාවාදිව තිබුනු බුදුදහම නිසා එහෙම කිව්වේ නෑ. ශ්‍රි ලංකාව බෞද්ධ රටක් වුණාට පස්සේ සේන ගුත්තික කියන අශ්වවෙළෙන්දන් දෙනාට මේ රටේ රාජ්‍ය බලය පැහැර ගන්න පුළුවන් වන මට්ටමට හමුදාවක් ඕන වුණේ නෑ. අහිංසකයි බුදු දහම. නමුත් දුටුගැමුණු රජතුමාගේ යුගයේ දී මේක වෙනස් කලා. අපේ ස්වාමින් වහන්සේලාට මිනිමැරුමක් කළොත් පරාජිකාවක් වෙනවා. සිවුර අත්හැරියා වගේ වෙනවා. නමුත් තමන්ගේ ජිවිතය බේරා ගැනිම සඳහා කෙනෙකු සමග පොරබදිද්දි එකේ ප්‍රතිළුලයකට නම් මිය ගියේ ඒක පාරිජිකාවක් වෙන්නේ නෑ. ඒ මුලධර්ම දුටුගැමුණු රජතුමාගේ කාලේ බුද්ද සාසනයට ගේනවා. සිංහල ජාතියට ගේනාවා. බෞද්ධයාට අකැප වෙනත් රටකට ගිහින් යුද්ධ කිරීම. වෙනත් කෙනෙකු සතු දෙයක් ලබා ගැනීමට යුද්ධ කිරීම. අපේ රට රැකගන්න යුද්ධ කිරීම බුද්ධාගමට අකැප නෑ. දුටුගැමුණු රජ සමයේ හමුදාවට ඉදිරියෙන් පිරිත් දේශනා කරමින් වැඩියේ මහා සංඝරත්නය. එදා පටන් අපේ රටේ බුදු සසුන රැකිමට රට වෙනුවෙන් යුධ කිරීම කැපයි කියලා විශ්වාස කලා.

බටහිර රටවල මහා විහාරයේ කියන මහා ඇලෙක්සැන්ඩර්, නැපෝලියන්බොනපාට්, ජුලියට්සීසර්, ගින්ගිස්කාන්, මේ අය කවුද හොරු වෙන අයගේ රටවල් ආක්‍රමනය කරලා සම්පත් කොල්ලකාපු අය. අපේ රටේ වීරයන් දුටුගැමුණු, වලගම්බා, විජයබා, පැරකුම්බා, මේ අය කවුද කිසිම රටක් හොරකම් කරන්න ගිහින් නෑ. තමන්ගේ රට රැක ගන්න සටන් කරපු අය. ඒ අපිට බුද්ධාගම උගන්නපු පාඩම. දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ අපිට පරසතුරු අක්‍රමනයක් ඇති වුණොත් බුදු දහම අවදානමට ලක් වුණොත් යුද්ධයට සටනට ජනතාව මෙහෙය වන්නේ අපේ ස්වාමින්වහන්සේලා. ආයුධ ටික රැස්කළේ පන්සල ඇතුලේ. පරන කතාවක තියෙනවා කුඩාපොළ හමුදුරුවන්ට තරුණ ගැටයෙක් දානය රැගෙන ආවාහම ඒ තරුණයට බිමපෙරළගෙන ගැහුවා කියලා. තරුණයා බලනවා මම හාමුදුරුවන්ට දානය ගෙනාවේ පින්සිදුවේවා කියයි කියලා හිතුවට මට හොදටම තඩිබානවා කියලා. හාමුදුරුවෝ අහනවා මේ රට ගිනි අරගෙන තියෙන වෙලාවක තෝ යුද්දෙට යන්නේ නැතුව මොකටද දන් ගේන්න ගෙදර නැවතුනේ කියලා. අපේ හාමුදුරුවෝ රට රැකීම වැදගත් වුනා තමන්ගේ දන් වැළදීමටත් වඩා. ඒ නිසා තමයි වසර 2300ක් මේ රටේ බුදුදහම රැකුණේ. මැලේසියාව ඉන්දුනීසියාව මාලදිවයින බංගලාදේශය පකිස්ථානය ඉන්දියාව නේපාලය මේ සියළුම බෞද්ධ රටවල් අපිට අහිමිවේද්දි මේ පුංචිරටේ බුද්ධාගම රැකුණේ බුදුදහමවෙනුවෙන් සටන් කිරීමට කැපවුනු රණකාමි බුදුදහමක් සිංහල බුදුදහමක් මේ රටේ හැදුණු නිසයි. අද ඒක නැති කරන්න තමයි භික්ෂුන් වහන්සේලා රටවෙනුවෙන් සටන් කිරීම අකැපයි කියලා අලුත් න්‍යායයන් සිල්පද අබෞද්ධයන්, රාජ්‍යනොවන සංවිධාන දෙසාවදාරමින් සිටින්නේ. භික්ෂුන් වහන්සේලාගේ විනය ගැන හොයන්නේ නායක සිවාමින්වහන්සේලා නෙවෙයි එන්ජීඕ කාරයන්.

දෙවැනි කාරණය තමයි මේ දේශය රජවරුන් පුන පුනා නමවතාවක් පිදු පින් බිමක්. මේ රට බුද්ධ සාසනයට අයිතියි. එදා ඉංග්‍රිසින්ට මේ රට උඩරට ගිවිසුමෙන් බාර දෙද්දි අපේ නිලමේවරු දිසාවරු තම තමන්ට ලැබෙන බලතල මොනවද කියලා නෙවෙයි ඇහුවේ බුද්ධාගම ආරක්ෂා කරගන්න වගන්තියක් දාගන්න තමයි ඒ අය උනන්දු වුණේ. 1818 බිත්‍රන්‍ය ආධිපත්තිය පිලිබද ප්‍රකාශනයේ පවා බුද්ධාගම රැකීම ආණ්ඩුවේ වගකීමක් කියා සදහන් වුණා. අපේ නිදහස් ශ්‍රිලංකාවේ බිහිවුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අද අපේ ව්‍යවස්ථාවේ 9වන වගන්තියෙන් බුද්ධාගම පෝෂණය කොට රැකගැනීම රාජ්‍යයේ වගකීම වන්නේ කියලා තියෙනවා. ඔන්න දැන් ඒ වාක්‍ය ඉවත් කරන්න යෝජනාවක් ආණ්ඩුවෙන්ම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරන මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගන්තිය වෙනුවට විකල්ප 6ක් යෝජනා කරලා තියෙනවා. මේ රටේ බුද්ධාගම රැකුණේ එක පැත්තකින් අපේ භික්ෂුන්වහන්සේලාගේ කැපවීම අනෙක් පැත්තෙන් රාජ්‍ය ලබා දුන් ආරක්ෂාව. මේ පුංචි දුපතේ බුදුදහම රැකෙන්නේ නැත්නම් බුදුදහම රකින්න කිසිම කෙනෙක් මේ ලෝකයේ ඉතිරිවෙලා නෑ. අපි පරම්පාරවට රැකගත්ත ඒ වගකීම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරිමේ කුමන්ත්‍රනයක් සිද්ධවෙනවා. එතනදි අපිට පක්ෂ දේශපාලනයක් නෑ. අපේ බෞද්ධ හැමෝම නිල් පාට කොළ පාට, රතුපාට අමතක කරලා කහපාට සිවුර වටේට එකතු වෙලා මේක දේශපාලනය නෙවෙයි. මේක අපේ උරුමය බුද්ධාගමට ප්‍රමුඛස්තාන දෙමුයි මේක බුදුන්වහන්සේට පිදු රටක් සුද්දා රැක්ක ඒ වගන්තිය නායකයන්ට රකින්න බැරි ඇයි කියලා අපේ නායක ස්වාමින් වහන්සේලා නොපමාව අපේ නායකයන්ගෙන් ඇසිය යුතු කාලය එළබිලා කියන කාරනය ඉතාම කණගාටුවෙන් වුවත් අපට සිහිපත් කරගන්න සිදුවෙලා තියෙනවා. බුදුදහමට තබා ඇති මුල්ගල් දෙකත් සුරක්ෂිතවේවා අපේ මව්බිමේ බුදුදහම චිරත්කාලයක් වැජබේවා කියා ප්‍රර්ථනා කරනවා.

– අරවින්ද අතුකෝරල

12,461 Viewers

6 Comments to “සිංහල බුදු දහම සහ බුදු සසුණ වනසන ආණ්ඩුවේ කුමන්ත්‍රණ..”

  1. real says:

    ranakami bududahama , patta talk

  2. ඇත්ත says:

    යුද්ධය පැවති සමයේ තිබූ සිංහල භාෂා අයිතිය යුද්ධය අවසන් වීමෙන් පසු අහිමි කළේ කවුද?

    යුද්ධය තිබෙන කාලේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීතිය ඉගැනීමේ අයිතිය සිංහල දරැවන්ට හිමි වී තිබූ අතර 2009 මැයි 18 දින යුද්ධය අවසන් වීමෙන් පසු සංහිදියාව කියා 2010 සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීතිය ඉගෙනීමට තිබූ අවස්ථාව අහිමි කරනු ලැබීය.
    යුද්ධය පැවති සමයේ සිංහල භාෂාව සහ බුදු දහම වර්තමානයේ තරම් අනතුරට පත් වී තිබුණේ නැත.
    යුද්ධය අවසන් වීමත් සමගම කලු සුද්දන් විසින් ජිනීවා උගුළ අටවා සංහිදියා නාඩගම කරළියට ගෙන සිංහලත්වය විනාශ කරන අනුවේදනීය කථාව…….

  3. jayamal says:

    වසර දෙදහස් ගණනක් පුරාවට අපේ රජ දරුවන් නව වතාවක් බුදු සසුනට පූජා කල මේ පුණ්‍ය භූමියෙන් බුදුදහමට ප්‍රමුඛස්ථානය දී පෝෂණය කොට සුරැකීමට ව්‍යවස්ථාවෙන් ඇති ඉඩකඩ නැති කර මේ රට “අනාගමික රාජ්‍යයක්” කිරීමට යමපාලකයින්ට කිසි සේත් ඉඩ දිය නොහැක.

    අපේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා පෙරටු කොට මේ රටට ආදරේ මේ රටේ බුදු සසුන රැක ගත යුතුයි සිතන සියලුම දෙනා එක ධජයක් යට එක්වී අපේ උරුමය රැක ගත යුතු අන්තිම හෝරාවයි එළඹී ඇත්තේ!

  4. අට පාස් කොල්ලෝ says:

    ගම්මන්පිල මහත්තයෝ ,
    මම හිතන්නේ ඔබ තුමා හොඳට මේ ක්මේන්ට්ස් කියවනවා ඇති.
    ඔබගේ අදහස් හා ඉදිරිපත් කිරීම් හොඳයි.එත් ඒ දේවල් කෙටියෙන් වෙබ් එකේ දැම්මොත් මීට වඩා වෙනසක් ඔබට දැනේවි. In short more Viewers will be there.

  5. Kuveni says:

    Excellent.

    Food for thought!

  6. සරත් says:

    අපි ඔබ සමගයි සෑමදාම.
    ඉදිරියටම යමු.

Main News