සීයා හා මුණුපුරන් දෙදෙනා ගං වතුරට බිලිවෙයි..

July 11, 2021 at 8:02 am | lanka C news
සීයා හා මුණුපුරන් දෙදෙනා ගං වතුරට බිලිවෙයි..

කොස්ගොඩ, දූවේමෝදර ගගේ ගිලී කුඩා දරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ සීයා අතුරුදන් වී තිබේ.

කොස්ගොඩ පොලීසියේ මෙහෙයවීමෙන් නාවික හමුදාවේ කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් 10 සවස 4.00 ට පමණ ඔවුන් තිදෙනා සොයා ගනු ලැබීය.

එම අවස්ථාවේ කුඩා දරුවන් දෙදෙනාගේ නාඩි වැටෙන බව පවසමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් විසින් දරුවන් දෙදෙනා බළපිටිය මූලික රෝහල වෙත ගෙන යෑමට කටයුතු කළේය.

මෙසේ අතුරුදන්ව සිරුර සොයා ගනු ලැබූයේ අගම්පොඩි ඉන්දික මෙන්ඩිස් (62) නැමිති අයගේය. සොයා ගැනීමෙන් පසු බළපිටිය මූලික රෝහල වෙත ගෙන යන ලද්දේ සසිත තත්සිදු කන්දඋඩ (06) සහ සමිත තත්සිදු කන්දඋඩ (06) යන දරුවන් දෙදෙනාය. නිවුන් සොහොයුරන් දෙදෙනෙකු වන මෙම දරුවන් දෙදෙනා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ 01 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.

දරුවන්ගේ මව කොස්ගොඩ, නාපේ ප්‍රදේශයේ බවත් ගාල්ලේ පදිංචිව සිටින ඔවුන් ඊයේ (09) සිය දෙමාපියන්ගේ නිවෙස වෙත පැමිණ ඇති බවත් කොස්ගොඩ පොලීසිය කියයි. එසේ පැමිණ දරුවන් දෙදෙනා සිය සීයා (මවගේ පියා) සමග කොස්ගොඩ ගගේ දිය නෑමට ගොස් මෙම අනතුරට පත්ව තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. දරුවන්ගේ මවද ගං ඉවුරේ සිට ඇති අතර සීයා මුණුපුරන් දෙදෙනාද සමග ඔරුවකින් ගගේ මදක් දුරට ගොස් ඔරුව අල්ලාගෙන දිය නාමින් සිට ඇති අතර ඔරුව පෙරලීමෙන් මෙම අනතුරු සිදුව තිබේ.

සීයා දරුවන්ට ආරක්ෂාව සලසමින් දරුවන්ට දිය නෑමට සලස්වා ඇති බවත් ඔරුව පෙරලීමෙන් පසු සීයාගේ ග්‍රහණයෙන්ද දරුවන් මිදී ඇති අතර පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

– ජයකාන්ත ලියනගේ

13,464 views
Main News