සෙවනගල ලංකා සිනි සමාගම පුද්ගලීකරණය නොකරන්නැයි ඉල්ලති..

January 27, 2018 at 2:02 am | lanka C news
සෙවනගල ලංකා සිනි සමාගම පුද්ගලීකරණය නොකරන්නැයි ඉල්ලති..

සෙවනගල සීනි සමාගම පෞද්ගලිකරණය කිරීමට හා වෙනත් ගැටළු සම්බන්ධයන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එහි වෘත්තීය සමිති විසින් යවනු ලැබූ ලිපියක් සම්බන්ධයෙන් පරික්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතාට යොමු කිරීමෙන් පසු එම වෘත්තීය සමිති ආණ්ඩුකාරවරයා හා කළ සාකච්ජාවකදී පහත සඳහන් අදහස් පළ කරන ලදි.

ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති මෙම සාකච්ජාවේදී තවදුරටත් අදහස් දැක්වූ එම වෘත්තීය සමිති නිළධාරීන් මෙම සමාගම රජය සතුව තිබුන කාලය තුළ ඉහල නිෂ්පාදනයක් පැවති බවද ඒ අනුව ඉහලම ලාභයක්ද වාර්තා වූ බවද එහෙත් පෞද්ගලීකරණය කිරීමෙන් පසු සමාගමේ නිෂ්පාදනයන් පසුබෑමකට ලක්වූ අතර ඒ තුලින් දිවයිනේ සීනි නිෂ්පාදනයට බලපෑමක් සිදුවූ වෘත්තීය සමිති නිලධාරීන් ගෙන්වා එසේම වාර්තාවේ සඳහන් වර්ථමාන සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්‍ෂක මණ්ඩලය කැපවීමෙන් කටයුතු කරන බවද එමඟින් කර්මාන්ත ශාලාවේ ඇඹරුම් ධාරිතාවය ටොන් 800 සිට ටොන් 1200 දක්වා වැඩිවූ බවද ඒඅනුව විශාල ලාභයක් උපයගනිමින් දේශීය සිනි නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබා ගත හැකි බවත් රජයට ගෙවිය යුතු හිඟ මුදල් ගෙවා අවසන් කරනමින් පවත්නා බවද පෙන්වා දෙන ලදි.

මේ පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් සමඟද සාකච්ජා කළ බවත් එම අමාත්‍යවරුන්ද පුද්ගලීකරණය කිරීමට කටයුතු නොකරන බව අවධාරණය කළ බවද වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

මෙම සමාගමේ සේවකයන් 974ක් , ට්‍රැක්ටර් හිමිකරුවන් 200ක් ගොවින් 4500ක් වක්‍ර රැකියා අවස්ථා 2000 මුළු සේවකයින් සංඛ්‍යාව 8000 කට ආසන්න බවද ඒ අනුව ඔවුන්ගේ රැකියා සුරැකීම සඳහා තවදුරටත් රජය යටතේ පැවතිය යුතු බවද පෙන්වා දෙන ලදී.

මේ සාකච්ජාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම් එච්.එම්.සෝමතිලක, හා ඌව පළාත් කෘෂිකර්ම අමත්‍යංශ සහකාර ලේකම් ආර්.බි.එන්.ආර්.ප්‍රියශාන්ත මහතා, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් එල්.ඒ.කෝකිල චමින්ද මහතා ජාතික සේවක සංගමයේ ලේකම් ජි.ආර්.ප්‍රියන්ත කුමාර මහතා, අන්තර් සේවක සංගමයේ භාණ්ඩාගාරික එච්.ජි.කේ.ජයසුන්දර මහතා, උක් ප්‍රවාහන ට්‍රැක්ටර් සංගමයේ ටී.එම්.කුලතුංග බන්ඩා මහතා ඇතුළු වෘත්තීය සමිති රැසක නිලධාරීන් සහභාගී විය.තම ඉල්ලීම් පිළිබඳව මේ අයුරුන් කැඳවා ඊට සාධාරණ විසදුමක අවශ්‍ය කටයුතු වාර්තාකිරීමට ක්‍රියාකිරීම පිළිබඳව ස්තූතිය ඌව පළාත් ආණ්ඩුකාරතුමාට පළකරන බවද වෘත්තීය සමිති නිලධාරීන් මෙහිදී සඳහන් කරන ලදි.

– uva media

102 views
Main News