හම්බන්තොට තෙල් පිරිපහදුව කළු සල්ලි සුදු කිරීමක්.. ලෝකයේ සමස්ථ මුල්‍ය පද්ධතියෙන් ලංකාව ඉවත් කිරීමේ අවධානමක්..

March 27, 2019 at 10:40 am | lanka C news
හම්බන්තොට තෙල් පිරිපහදුව කළු සල්ලි සුදු කිරීමක්.. ලෝකයේ සමස්ථ මුල්‍ය පද්ධතියෙන් ලංකාව ඉවත් කිරීමේ අවධානමක්..

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

2016 දී ජර්මානු ෆොක්ස්වැගන් මෝටර් රථ නිපදවන කම්හලක් කුලියාපිටියේ නිපදවූවා. ආණ්ඩුවේ ලොක්කෝනම් මේකට කියන්නේ වෝක්ස්වැගන් කියලා. නමුත් මෙය වෝක්ස්වැගන් නෙමෙයි ෆොක්ස්වැගන්. මෙය ජර්මානු වචනයක්. ෆොක්ස් කියලා ජර්මන් බසින් කියන්නේ මහජනතාවට. වැගන් කියන්නේ වාහනයට. පොදු මහජනතාවගේ වාහනය කියන අර්ථයෙන් තමයි මේ ෆොක්ස්වැගන් කියන නම හැදිලා තියෙන්නේ.

2017 දී ඉතාලියේ මැරන්ගෝනි ටයර් සමාගම හොරණ ටයර් කම්හලක් පිහිටෙව්වා.  කුලියාපිටියේ හදන ෆොක්ස්වැගන් කාර් එකට හොරණින් මැරන්ගෝනි ටයර් දැම්මත් ගමනක් යන්න බෑ තෙල් නැතුව.  ඔන්න දැන් ඒ ප්‍රශ්නයත් විසඳුනා.  අගමැතිතුමාගේ උපන් දිනයට හම්බන්තොට තෙල් පිරිපහදුවකට මුල් ගල තැබුවා.

අපේ අගමැතිතුමන්ට නම් මොකක්දෝ බරපතල අවාසනාවක් තියෙනවා. අපි කුලියාපිටියේ ෆොක්ස්වැගන් මෝටර් රථ නිපදවන කම්හලක් පටන් ගන්නවා කියන කොටම “අපි ලංකාවට එන්න හිතලාවත් නෑ” කියා ජර්මනියේ  සිට ෆොක්ස්වැගන් සමාගම ප්‍රකාශයක් නිකුත් කළා.  ඉතාලියේ මැරන්ගෝනි ටයර් සමාගම නම් හොරණ තබා ලංකාව කියා රටක් තිබෙන බවවත් නොදන්නා ගානට කතා කලේ.  දැන් තෙල් පිරිපහදුව හම්බන්තොට ඉදි කරන්නේ සිංගප්පූරු සහ ඕමාන ඒකාබද්ධ ආයෝජනයකින් කියා ආණ්ඩුව කියන විට අපි නම් ලංකාවේ තෙල් පිරිපහදුවකට ආයෝජනය කලේ නෑ කියා ඕමාන ඛණිජතෙල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරනවා.  මුල්ගල තබන උත්සවයට ඕමාන ඇමතිවරයෙකු ආපු බව ඇත්තයි.  නමුත් තමුන් මේ පිරිපහදුවට ආයෝජනය කරන බවක් හෝ තම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය වැරදියි කියා හෝ ඔහු කිව්වා ද? නෑ.  ඇමතිකෙනෙක් ඇවිිදන් හිටගත්තට ඒකෙන් කියවෙන්නේ නෑ ඒ ඇමතිවරයා මේකට මුදල් දානවා කියලා. අපිටත් විවධ ස්ථාන වල මුල් ගල් තියන්න ආරාධනා කරනවා. අපි යනවා. මුල් ගලත් තියනවා. නමුත් ඉන් කියවෙන් නෑ එම සෑම දේකටම අපි මුදල් දෙන්න කටයුතු කල බවක්.

මේ ව්‍යාපෘතියට එකතු වන සිංගප්පූරු සමාගම මොකද්ද? ඒ තමයි සිල්වර් පාක් ඉන්ර්ටනැෂනල් සමාගම.  ඒ සමාගම අයිති සිංගප්පූරු ජාතිකයන්ට නොවේ. එක පිටුපස ඉන්නේ  ඉන්දියානුවන් පිරිසක්.  නමුත් ඔවුන් ඉන්දියානු ව්‍යාපාරිකයෝ නොවේ.  දේශපාලකයින්.  ඉන්දියාවේ හිටපු රාජ්‍ය අමාත්‍ය  තමිල්නාඩු දේශපාලක ජගත්‍රශේකන්ගේ පවුලේ අය තමයි මේ සිල්වර් පාක් සමාගමේ කොටස්කරුවන් අධ්‍යක්ෂකවරුන්  විදිහට කටයුතු කරන්නේ. ජගත්‍රශේකන් කියන්නේ  දූෂණ චෝදනා වලට ලක් වී විර්මශනයට භාජනය වන අයෙක්. එම නිසාම දේශපාලයේ  පසු පසට විසිවී සිටින පුද්ගලයෙක්. ආණ්ඩුව ඉතා උජාරුවෙන්  කිව්වා සිල්වර් පාක් ඉන්ර්ටනැෂනල් සමාගම ඩොලර් බිලියන 3.85ක් ආයෝජනය කරන බව. නමුත්   ඔහු ඩොලර් බිලියන 3.85ක් වගේ දැවැන්ත මුදලක් ආයෝජනය කරන්නේ කොහොමද?  මතක තියා ගන්න ඩොලර් බිලියන 3.85ක් කියන්නේ රුපියල් බිලියන 693ක්.  ඒ කියන්නේ 2018 ලංකාවේ රාජ්‍ය ආදායමෙන් 40%ක්. මෙතරම් දැවැන්ත මුදලක් දේශපාලකයෙක් සතුව තිබෙන්නේ කොහොමද ?  ලංකාවේ මිනිහෙක් රුපියල් ලක්ෂ 5ක් බැංකුවේ තැන්පත් කරන්න ගියාම සල්ලි ලැබුණ් කොහොමද කියා අහනවා.  නමුත් ඉන්දියානුවා රුපියල් බිලියන 693ක් ආයෝජනය කරන විට මුදල් ලැබුණේ කොහොමද කියා අහන්නේ නැද්ද? බල්ලො මරල සල්ලි හම්බ කලත් සල්ලි බුක් බුක් ගාලා බුරන් නෑනේ කියල අපි ඒ සල්ලි බාරගන්නව ද?

අද ශ්‍රි ලංකාව ලෝකය හදුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ තිප්පොලක් ලෙසටයි. නීති විරෝධී අවි ජාවාරමේ තිප්පොලක් විදිහට. කලු සල්ලි සුදු කරන තිප්පොලක් විදිහට. ඒ නිසා තමයි  මුදල් විශුද්ධිකරණ පනතක් අපි සම්මත කරලා මුදල් උපයා ගත් ආකාරය ගැන සොයන්නේ. මොකද අපි විශ්වාදස  කරනව නම් අපේ අම්මා තාත්තා මත් කුඩු විකුණා අපිට කන්න නොදිය යුතුයි කියලා අපි ඒ අනුව මත් කුඩු ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගන්නව නම් විදේශිකයටත් ඒ නීතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක කල යුතුයි. මුදල් විශුද්ධිකරණ පනත යටතේ ජගත්‍රශේකන් ගේ සිල්වර් පාක් ඉන්ර්ටනැෂනල් සමාගමට මෙතරම් දැවැන්ත මුදලත් ලැබුනේ කෙසේද කියන එක ප්‍රශ්නකරන්නේ නැත්තේ ඇයිදැයි අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. දැනටමත් විදේශ ආයෝජකයන් සහ විදේශ බැංකු ශ්‍රී ලංකාව දෙස අවිස්වාසයෙන් බලන්නේ. සමස්ථ මූල්‍ය පද්ධතියෙන් ශ්‍රී ලංකාව ඉවත්කිරීමේ අවධානමක් මතු වෙනවා මේ ආකාරයෙන් කළු සල්ලි සුදුකරන තිප්පොලත් විදිහට ශ්‍රී ලංකාව තව දුරටත් කටයුතු කලොත්.

– අරවින්ද අතුකෝරල

190 views

23 Comments to “හම්බන්තොට තෙල් පිරිපහදුව කළු සල්ලි සුදු කිරීමක්.. ලෝකයේ සමස්ථ මුල්‍ය පද්ධතියෙන් ලංකාව ඉවත් කිරීමේ අවධානමක්..”

  1. Tilak says:

    Who takes this chap seriously? He is good only to his Australian employer!

Main News