හම්බන්තොට නොවිකුණා ණය ගෙවන සූත්තරේ මෙන්න.. වසරකට ඩොලර් මිලියන 95ක ණයත් ගෙවා ඩොලර් මිලියන 205ක් ඉතුරුයි..

August 17, 2017 at 10:46 pm | lanka C news
හම්බන්තොට නොවිකුණා ණය ගෙවන සූත්තරේ මෙන්න.. වසරකට ඩොලර් මිලියන 95ක ණයත් ගෙවා ඩොලර් මිලියන 205ක් ඉතුරුයි..

ඉන්දියාව මත්තල ගුවන් තොටුපළ අත්පත්කර ගැනීමට උත්සාහ දරන්නේ වාණිජමය වාසියකට නොව ඔවුන්ගේ යුද උපායමාර්ගික උවමනාව සපුරා ගැනීමට බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ගාල්ල නගර ශාලාවේදී පැවැති ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ සම්මන්ත්‍රණ මාලාවේ හයවැන්නෙහි ප්‍රධාන දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘මේ ආණ්ඩුව ඇමෙරිකාව, චීනය හා ඉන්දියාව යන ලෝක බලවතුන් තිදෙනාගේ බල ක්‍රීඩාවේ තෝතැන්නක් බවට මේ රට පත් කරමින් ඉන්නවා. ඒකෙන් දීර්ඝකාලීනව බැට කන්න වෙන්නේ මේ රටේ අනාගත පරපුරටයි. හම්බන්තොට වරාය චීනයට දුන්නු මේ ආණ්ඩුව, දැන් මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්න හදනවා. හම්බන්තොට වරාය හදන්න සම්පූර්ණයෙන් වියදම් වුණේ කීයද? ඇමෙරිකානු ඩොලර් මිලියනක 1670යි. වරාය අධිකාරිය විසින් ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් මහින්ද රාජපක්‍ෂ පාලන කාලය තුළදීම ගෙවා අවසන් කළා. දැන් ගෙවන්න තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1170ක් පමණයි. අපට මේ ණය මුදල අවුරුදු 20ක් ඇතුළත ගෙවන්න පුළුවන්. එවිට අවුරුද්දකට ගෙවන්න ඕනෙ ඇමෙරිකානු ඩොලර් මිලියන 95ක් පමණයි. මේක, වරාය අධිකාරියේ ආදායමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 95ක් අවුරුද්දකට ගෙවාගන්න බැරි ආණ්ඩුවක්. වරාය අධිකාරිය පාඩු ලබන, බංකොලොත් ආයතනයක් නොවෙයි. නමුත් මේ ආණ්ඩුව අවුරුදු 20ක් තුළ මේ ණය මුදල ගෙවන්න බැහැ කියලයි හම්බන්තොට වරාය චීනයට දුන්නේ.

‘කිරිපිටි – පාන්පිටි බදු සහන ඉවත් කළා නම්…’

වසරකට ඩොලර් මිලියන 95 බැගින් වසර 20ක් තුළ ඩොලර් මිලියන 1170ක් ගෙවන්න බැහැ කියලා හම්බන්තොට වරාය වැනි මේ රටේ අනගිතම ජාතික සම්පතක් චීනයට දුන්නු මේ ආණ්ඩුව, වසරකට කිරිපිටි සමාගම් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ බදු සහන දෙනවා. ප්‍රීමා නැමැති පාන් පිටි සමාගමට වසරකට ඩොලර් මිලියන 200ක පමණ බදු සහන දෙනවා. මේ විදියට මේ බහුජාතික සමාගම්වලට බදු සහන ලබා දුන්නාට එහි වාසිය පාරිභෝගිකයාට ලැබෙන්නේ නැහැ. පාරිභෝගිකයාට කිසිදු සහනයක් නොලැබුණත් බහුජාතික කිරිපිටි, පාන්පිටි සමාගම්වලට බදු සහන දෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ සාක්කුවලට කොමිස් වැටෙන නිසයි. මේ ලබාදෙන බදු සහන ඉවත් කළා නම් ආණ්ඩුවට වාර්ෂිකව ඩොලර් මිලියන 300ක් ලැබෙනවා. ඒ මුදලින් ඉතා පහසුවෙන් හම්බන්තොට වරායේ ඩොලර් මිලියන 95ක වාර්ෂික ණය මුදල ගෙවීමට ආණ්ඩුවට හැකි වෙනවා.

‘ඉන්දියාව මත්තලට කුරුමානම් ඇල්ලීම’

‘ණය බර – ණය බර’ කියන මන්තරය ජප කරමින් මේ ආණ්ඩුව මේ රට ලෝක බලවතුන්ගේ කෙළි මඩලක් බවට පත් කිරීමේ න්‍යාය පත්‍රය දැන් තවත් වේගවත් කර තිබෙනවා. ඒ අනුව තමයි මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්න හදන්නේ. හිතලා බලන්න, ඉන්දියාවට මත්තල ගුවන් තොටුපළේ වාණිජමය වටිනාකමක් තිබෙනවාද? ඉන්දියාවේ හිටපු විදේශ අමාත්‍යාංශ ලේකම්වරයකු වූ ඉන්පසු ජාතික ආරක්‍ෂක උපදේශක ධුරය දැරූ ශිව්ෂංකර් මෙනන් මහත්තයා 2016දී පොතක් එළිදක්වා තිබෙනවා, ‘Choices: Inside the Making of Indian Foreign Policy’ යන නමින්. එහි සඳහන් වෙනවා ‘ශ්‍රී ලංකාව, ඉන්දියාවේ කේරලයේ සිට සැතපුම් 14ක් දුරින් නවතා තිබෙන, විශාල යුද ගුවන් යානා රඳවන නැවක් වගෙයි’ කියලා. ඉන්දියන් සාගරයේ මෙවැනි තැනක් තිබීම ඔවුන්ට තර්ජනයක් කියලයි මේ කියන්නේ. ඒ නිසා ඔවුන්ගේ පාලනය යටතේ මේ රට පවත්වාගෙන යා යුතුයි කියලයි මේ කියන්නේ.

ඉන්දියාවට, දකුණට සහ බටහිරට යන්න චෙන්නායි ගුවන් තොටුපළ තිබෙනවා. ඒ වගේම ඉන්දියාව තුළ අභ්‍යන්තර ගුවන් තොටුපළ ගණනාවක් තිබෙනවා. ඒ නිසා ඔවුන් මත්තල ගුවන් තොටුපළ ගන්න යන්නේ වාණිජමය ලෙස බලලා නොවෙයි, යුද උපායමාර්ගික වශයෙන් බලලයි. මේ ආණ්ඩුව කරන්නේ චීනා හම්බන්තොට වරායේ ඉන්නකොට, ඉන්දියාවට මත්තල ගුවන් තොටුපළ දීමයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

12,607 Viewers

4 Comments to “හම්බන්තොට නොවිකුණා ණය ගෙවන සූත්තරේ මෙන්න.. වසරකට ඩොලර් මිලියන 95ක ණයත් ගෙවා ඩොලර් මිලියන 205ක් ඉතුරුයි..”

  1. palitha says:

    api nodanna chess…..???

  2. sara says:

    ane palayan yanna . ubalata karanna thibunane e kale.

  3. sura says:

    අපේ අනාගත පරපුරට කාගේ පිහිටද ????????????????

    දෙයියන්ගෙ පිහිටවත් නැතිවෙන පාටයි.

  4. Sadasori says:

    Mewata Kiyanne katin bathala kola hitawanawa kiyala…

Main News