හම්බන්තොට වරාය චීනයට දීම අතිශයින්ම වාසියි.. නොදුන්නොත් රුපියල කඩා වැටෙනවා… – අමුණුගම

March 28, 2017 at 1:20 pm | lanka C news
හම්බන්තොට වරාය චීනයට දීම අතිශයින්ම වාසියි.. නොදුන්නොත් රුපියල කඩා වැටෙනවා… – අමුණුගම

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ‘අනිවාර්යයෙන්ම’ ආරම්භ කළ යුතු බව පවසන විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, එසේ නොකළහොත් රුපියලේ අගය තවදුරටත් කඩා වැටී ශ්‍රී ලංකාව ණය ගෙවීමේ අර්බුදයකට මුහුණ දීමට ඉඩ තිබෙන බවට අනතුරු ඇඟවීමක් කරයි.

වරාය අමාත්‍ය අර්ජුන රණතුංග ඉදිරිපත් කළ නිර්දේශ ද සලකා බලා සකස් කළ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධ සංශෝධිත කැබිනට් පත්‍රිකාව නීතිපතිවරයා වෙත ඉදිරිපත්කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

“මේකෙන් රටට අතිශයින්ම වාසියක් සිද්දවෙනවා. නැත්නම් මේක විවේචනය කරන අය ගේන්න ඕන ඩොලර් බිලියන 1.1 ක් වහාම රටට,” ඔහු පැවසීය.

“නැත්නම් රුපියල අවපාත වෙන එක නවත්තන්න බෑ.”

එබැවින් නීතිපතිවරයාගේ නිර්දේශ ලැබුණු පසුව වරාය ව්‍යාපෘතිය සම්බන්ධ සම්මුතියට අත්සන් තැබෙනු ඇති බව වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පත් කොට තිබෙන කැබිනට් අනු කමිටුවේ සභාපතිවරයාවන අමාත්‍ය සරත් අමුණුගම , ව්‍යාපෘතියේ සංයුතිය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කරමිනි.

සංශෝධිත යෝජනාව ප්‍රකාර ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමට යෝජිත හම්බන්තොට පෝට් ඩිවලොප්මන්ට් කෝපරේෂන් හවුල් සමාගමේ කොටස්වලින් 80% ක් China Merchant Port චීන සමාගම සතුවන අතර, ඉතිරි කොටස් 20% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“ඒ නිසා මේක පිටරටවල්වලට විකුනනවා වගේ දෙයක් වෙන්නේ නෑ, මේක ලංකාවේ කොම්පැණියක්,” ඔහු පැවසීය.

තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රකාර, ශ්‍රී ලංකාවේ කිසියම් සමාගමකට හෝ පුද්ගලයෙකුට මාස පහක කාලයක් තුළ එහි කොටස් මිලදී ගැනීමට අවශ්‍ය නම් තවත් 20% ක ප්‍රමාණයක හිමිකාරත්වය ලබා ගැනීමේ හැකියාව පවතින බව ද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

වසර දහයක් ඇතුළත අවශ්‍ය නම් චීන සමාගමේ කොටස්වලින් තවත් 20% ක් විකිණීමේ හැකියාව ද තිබේ.

“ඒ නිසා මේක විශාල වශයෙන් චීනේට බරවුණු ගිවිසුමක් කියල කියන්න බෑ.”

ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට නියමිත ණය ප්‍රමාණය එම හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය බවට පත් කිරීමේ (Debt into equity) පදනම මත මෙම ව්‍යාපෘතිය පදනම් වී ඇති අතර ඒ හරහා ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක් රජය වෙත ලබා දීමට චීන සමාගම කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

චීනයට 80% ක සමාගම් හිමිකාරත්වය ලබා දීමට රජය පියවර ගෙන ඇත්තේ වරාය ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කරගැනීමේ අරමුණෙන් බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

“එකක් කියන්න ඕන. චීනය 80% ක් ඉල්ලන්නේ නෑ. බිලියන 1.1 ක් පරිවර්තනය කළාම ඒක 80% ක් වෙනවා. ඒ නිසා අපේ භාණ්ඩාගාරේ මුදල් හිඟය තමයි මෙතන ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ.”

වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මෙම මෙම ගිවිසුමට විරෝධය පළකරන බවට පළවන වාර්තා පදනම් විරහිත බවත් ආචාර්ය අමුණුගම පවසයි.

“එතුමා දන්නවා ලංකාවේ භාණ්ඩාගාරේට මුදල් හොයාගන්න මේක අත්‍යවශ්‍යයි කියල. නැත්නම් මේ අවුරුද්දේ අපි ඇමෙරිකානු ඩොලර් බිලියන් 4.5 ක් හොයාගන්න ඕන ණය ගෙවන්න.”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා හම්බන්තොට වරාය ව්‍යාපෘතියට දැඩි විරෝධය පළකරන නමුත් වත්මන් රජය ක්‍රියාත්මක කරනු ලබන්නේ රාජපක්ෂ රජය සකස්කළ සැලසුමම බවත් ආචාර්ය අමුණුගම වැඩිදුරටත් පැවසීය.

– BBC

122 views
Main News