‘හම්බන්තොට වරාය විකුණන ගිවිසුම දැන් හොදයි..’ කියමින් වරාය විකුණන්න අර්ජුනත් එකග වේ..

April 5, 2017 at 10:40 am | lanka C news
‘හම්බන්තොට වරාය විකුණන ගිවිසුම දැන් හොදයි..’ කියමින් වරාය විකුණන්න අර්ජුනත් එකග වේ..

හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේදී ලේකම්වරුන්ගේ කමිටුව ඉදිරිපත් කළ මුල් ගිවිසුම සෑහෙන දුරට වෙනස් කිරීමට හැකි වූ බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඇති කළ එම වෙනස්කම් රට ලැබූ විශාල ජයග‍්‍රහණයක් බවද අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටී. මේබව පැවසුවේ ‘රෙජීමයක රිඳුම්’ වියළුණු පොළොවේ සටන් ගීත ජනගත කිරීමේ කලා ප‍්‍රසංගයට එක් වෙමිනි.

මාධ්‍යවේදී තමීර මංජු රචනා කර නිෂ්පාදනය කළ රෙජීමයක රිඳුම් ප‍්‍රසංගය ජනගත කිරීම පැවැත්වුණේ කොළඹ නව නගර ශාලාවේදීය. එහි සංගීතය විශාරද කපිල මැද්දේගොඩ විසිනි. අනන්‍යතාව හෙළි කිරීමට අකමැති ගායක ගායිකාවන් රැුසක් ඊට ගායනයෙන් එක් විය. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්, මහාචාර්ය සරත් විජේසූරිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ද ඊට එක් විය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ රාජපක්ෂ රෙජීමයේ සෙවණැලි තවමත් පවතින බවයි.

”පසුගිය රෙජිමය ඉවත්කරන්න ඕන යැයි කියූ අය හැටියට අපිත් සෑහෙන්න ගුටි කාලා තිබෙනවා. ඒ ගැන රටක් හැටියට අපේ මහජනතාවට ගොඩාක් දුරට අමතක වෙලා ගිහින්. අද ඒ යුගය පිලිබඳ මතකය තියෙන්නේ ඒවායෙන් බැටකාපු කීපදෙනෙකුට විතරයි. අද අපි කැබිනට් මණ්ඩලයට ගියාම ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ ඉදිරිපත් කරන පත‍්‍රිකාවක් වුණත් විවේචනය කිරීමේ අයිතිය අපිට තියෙනවා. ඒ සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම අපිට ලබා දී තිබෙනවා. මම පළමුවරට නියෝජ්‍ය ඇමතිවරයකු වුණේ අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ අමාත්‍යංශවල. චන්ද්‍රිකා මැතිනියගේ කාලයේදී මම කීපවතාවක් කැබිනට් මණ්ඩල රැුස්වීම්වලට සහභාගී වුණා. අපිට එතැන පිළිගැනීමක් තිබුණා. නමුත් ඒ තත්ත්වය 2005දී වෙනස් වුණා. ඒ කැබිනට් මණ්ඩලයේදී කිසිම කෙනෙකුට විවේචනයක් කරන්න බැරි වුණා. විවේචනය කරන්න හදනකොට ඒක නවත්වන්න වෙනත් කණ්ඩායමක් හිටියා. නමුත් වත්මන් ආණ්ඩුව යටතේ අද ඒ තත්වය ගොඩාක් දුරට වෙනස් වෙලා. අද අපිට අදහස් පළ කරන්න පුළුවන්. රටේ විනාශයන් වෙනවා නම් ඒවා නවත්වන්න පුළුවන්. නමුත් මම සෑහීමට පත් වෙන්නේ නැහැ.

මාදුළුවාවේ සෝහිත නායක හාමුදුරුවෝ මුලිකත්වයයෙන් ජනවාරි 8වැනිදා අපි හැමෝම එකතු වුණේ, හොරකම දුෂණය නැති කරන්න. වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන්න. නමුත් එය ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රමාදය ගැන මට කණගාටුවක් තියෙනවා. ඒ කාලේ හොරකම් කළ හුඟදෙනෙක් බේරි බේරි ඉන්න කාලයක් මේ වන විට ඇති වී තියෙනවා. මම හිතන්නේ ඒක අපි හැම දෙනාම දන්නවා. එදා වරායේ වැඩියෙන්ම හොරකම් කරපු මිනිස්සු ටික අද ඉන්නේ අද ආණ්ඩුව කරන සමහර කට්ටියක් එක්ක. විශේෂයෙන්ම හම්බන්තොට වරායේ ගිවිසුම සකස් කිරීමේදී මට විශාල වශයෙන් සිතන්න සිදු වුණා.

හම්බන්තොට වරාය ගිවිසුම සැකසුවේ ලේකම්වරුන්ගේ කමිටුවක් විසින්. ඒ ගිවිසුම ආ විට එය ඉක්මනින්ම අත්සන් කළ යුතු බවට යෝජනාවක් ආවා. නමුත් රට ගැන හිතන මට ඒ ගිවිසුම ගැන බොහෝ ප‍්‍රශ්න පැන නැඟුණා. ඒ ගිවිසුම ගැන බොහෝ අංශවලින් මට සිතන්න වුණා. එක වෙලාවකට මට හිතුණා මේවා දාලා ගෙදර හිටිය නම් හොදයි කියලා. ඒ වෙලාවේදී මගේ අම්මා මට කථා කරලා කිව්වා, ප‍්‍රශ්නයක් ආවාම ඒකට විරෝධය පළ කරලා ගෙදර යනවට වඩා ඒ ප‍්‍රශ්නේ නිරාකරණය කරන්න, රටට වාසිදායක විදියට ඒවා හදාගන්න කියලා. ඇතුලේ ඉඳලා හොඳ වැඩ කොටසක් කළොත් එයින් විශාල ප‍්‍රමාණයක ජයග‍්‍රහණයක් අත් පත් කරගන්න පුළුවන් කියලා. ඒ උපදෙස් මත අද වෙනකොට අපිට පුළුවන් වෙලා තියනවා හම්බන්තොට මුල් ගිවිසුමේ ලොකු වෙනසක් ඇති කරගන්න. සෑහෙන දුරට ජයග‍්‍රහණයක් කරා ගෙනියන්න. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සියලූම දෙනාමත් අපිත් එක්ක එක පුටුවේ ඉඳගෙන රට වෙනුවෙන් මේ තීරණ ගත්තේ. නමුත් තාම ඒ වැඩ ඉවර නැහැ.

අපිට අවශ්‍යය වෙලා තියෙන්නේ පහුගිය කාලේ කළ වැරදි අද කරන්න නෙමෙයි. අපිට මේ රටේ මහ ජනතාව බලය දුන්නේ වෙනසක් ඇති කරන්න. ඒ වෙනස ඇති කරන්න ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි තනියම බැහැ. ඇමතිවරුන්ටත් තනියම බහැ. අපි සියලූම දෙනාම ඊට එකතු විය යුතුයි. ඇත්තටම අපේ රටේ හොරු හිටියේ ඒ කාලේ විතරක් නෙමෙයි. අදත් හොරු ඉන්නවා. අද ඉන්න හොරු අල්ලන්නත් අපි සියලූම දෙනාම එකතු වෙන්න ඕන. මම කියන්නේ පහුගිය කාලේ වැරදි කළ වැරදිකාරයා වැරදිකාරයමයි. අපිත් එක්ක හිටියත් වැරදිකාරයාමයි. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ රටේ වෙනසක් ඇති කළා. මම ඇමතිකමේ හිටියත් නැතත් මම ඒ ක‍්‍රමවේදය ඉදිරියට ගෙනි යනවා. මම අද එය අවධාරණය කරනවා. මේ ඇමතිකම කියන්නේ තාවකාලික නවාතැන්. මේවා අපිට ජීවිත කාලයටම උරුම වුණ දේවල් නෙමෙයි. අමාත්‍යංශයේ වැඩ කරන විට, අමාත්‍යංශය දියුණු කරන විට, වෙනසක් ඇති කරන විට ලබන තෘප්තිය මම පහුගිය අවුරුද් දෙකේදී ලැබුවා. ඉදිරියටත් ඒ තෘප්තිය අපේක්ෂා කරනවා.

පසුගියකාලේ ඉදිරියට ඇවිත් කි‍්‍රයාත්මක වුුණු අය තවමත් අකර්මණ්‍ය වී නැහැ. ඒ අයගේ නටඹුන් අදත් හොල්මන් කරනවා. ඒ හොල්මන් ඉවර වෙලා නෑ. ඒක අපට හොඳට පේනවා. අද මේ රෙජීමයක රිඳුම් ගායනට එක් වූ ගායක ගායිකාවන් තමන්ගේ අනන්‍යතාව හෙළි නොකරන්නෙත් ඒ නිසා. රෙජිමයක රිඳුම් ඉදිරියේදී ඇති නොවන විදියට මේ ආණ්ඩුවට කි‍්‍රයාත්මක වෙන්න පුළුවන් වුණොත් තමයි ආණ්ඩුවක් ලෙස අපි ලබන ජයග‍්‍රහණය බවද මම අවසාන වශයෙන් පවසනවා…..” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේය.

– තමීර මංජු

53 views
Main News