හම්බන්තොට විකුණු මුදලින් සත පහකින්වත් ණය බේරා නෑ.. හම්බන්තොට වරාය ආපසු ගන්නේ මෙහෙමයි..

August 1, 2017 at 9:20 am | lanka C news
හම්බන්තොට විකුණු මුදලින් සත පහකින්වත් ණය බේරා නෑ.. හම්බන්තොට වරාය ආපසු ගන්නේ මෙහෙමයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

හම්බන්තොට වරාය විකුණා දැමීමට හේතු ලෙස ආණ්ඩුව කියන්නේ  රාජපක්ෂ ණය බරයි.  මේක පට්ටපල් බොරුවක්.  වරාය අධිකාරිය කිසිම අපහසුවකින් තොරව 2016 දක්වාම ණය සහ පොළි ගෙවා දැවැන්ත ලාභයක් ද ලැබුවා.  ඉදිරියටත් කිසිම අමාරුවකින් තොරව ණය ගෙවන්න ප්‍රමාණවත් ආදායමක් තිබෙන බව වරාය අධිකාරියේ අනාගත ලාභ පුරෝකතන කිරීම් හරහා එහි මුල්‍ය අංශය වාර්තාකොට තිබෙනවා.  වරාය ඉදි කිරීම සඳහා ලබා ගත් ණය මුදල ඩොලර් මිලියන 1,266යි.  2036 දක්වා ගෙවිය යුතු සම්පූර්ණ ණය පොලිය ඩොලර් මිලියන 495යි.  2036 වන විට අපි ගෙවන සම්පූර්ණ මුදල ඩොමි 1,761යි.  එයින් ඩොමි 498ක් 2016 අග වන විට ගෙවා අවසන් කරලා තිබ්බේ.  ඒ වගේම අනිත් අතට ණය බර නිසා නම් මේක විකුණුවේ විකුණා ලැබෙන ආදායමෙන් ණය කපා හරින්න ඕනෑ.  මම ඉතාම වගකීමෙන් කියනවා වරාය විකුණා ලැබෙන මුදලින් එක ශත පහක් ණය කපා හරින්න මේ මුදල් ගන්නේ නෑ ගිවිසුමට අනුව. ජාතිය සතු මේ වටිනාම සම්පත විකුණලත් ණය බර ශත පහකින් වෙනස් වෙන්නේ නෑ. ඒ වෙනුවට  අප සතු වටිනාම සම්පත විකුණා ලත් ඒ මුදල ගෙන්වා ගන්නේ භාණ්ඩාගාරයට.  ආණ්ඩුවේ ඇමතිවරුන් සැප විඳින්න සවාරි ගහන්න ගත්තු ණය තමයි මේ මුදලින් ගෙවන්නේ.

මේ ගනුදෙනුවේ දැවැන්ත දූෂණයක් තිබෙනවා.  වරායේ උපසභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කල  පස් පුද්ගල කමිටුව චයිනා මර්චන්ට් සමාගම චයිනා හා බර් සමාගමෙන් ලබා දුන්නු යෝජනා දෙක අධ්‍යනය කළා.  චයිනා මර්චන්ට් සමාගම වසර 99කට ආණ්ඩුවට ලබා දෙන්නේ ඩොමි 1,888ක ආදායමක්.  නමුත් චයිනා හාබර් සමාගම වසර 50කට ඩොමි 3,281ක්.  වසර 99ට නම් දළ වශයෙන් ඩො මි 6,560ක්.  චයිනා හාබර් සමාගම දෙන මුදලෙන් තුනෙන් එකක්වත් දෙන්නේ නැති චයිනා මර්චන්ට් සමාගමට වරාය දීමෙන් මේ ගිවිසුම පිටිපස්සේත් ඇලෝසියස් කෙනෙකු සිටින බව පැහැදිලියි. ඒ ඇලෝසියස් කව්ද කියලා එපාට්මන්ට් එහෙම ගනුදෙණු වෙනකොට සොයාගත හැකි වේවී.

ලක් අම්මා 2015 ජනවාරි 8 අප්පච්චිව අත් හැරලා බාප්පොච්චියෙක් සරණ ගියා.  ඉතින් අර අප්පච්චි ආදරයෙන් හැදූ දරුවන්ට ඒ බාප්පොච්චි වෙනස්කම් කරනවා. දරුවන්ව ඉන්දියාවට චීනයට මෙහෙවර කමේ යවනවා.  දරුවන් හැදූ අප්පච්චිට වේදනාවයි.  ළඟදිම අප්පච්චි තමන් හැදූ දරුවෝ රැක ගන්න එනවා කියලා අපි සිහිපත් කරනවා.

නුදුරු අනාගතයේ බිහි වෙන අපේ ආණ්ඩුවකින් හම්බන්තොට වරාය යළි ජනසතු කරන බව අපි කිව්වාම සමහරු අහනවා පෝට් සිටි පවරා ගත්තා වගේ ද කියලා.  සමහරු අපට උපදෙස් දෙනවා චීනය කියන්නේ අනාගත ලෝකයේ සුපිරි බලවතා.  නිකන් කළු ගලේ ඔළුව ගසා ගන්න එපා කියලා.  නමුත් හරි කලාවට කළු ගලේ ඔළුව ගැහුව්වොත් ඔළුව තුවාල වෙනවා වෙනුවට කළු ගල පුපුරා හැලෙන බව ඉතිහාසයේ තිබෙනවා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කලින් මේ රට පාලනය කරපු නායකයෝ  කොටි  ත්‍රස්තවාදය ගැන ජනතාවට කිව්වේ අපිට සටන් විරාම දෙන්න සිදු වෙනවා. ඒ වගේම ලෝක බලවතුන් බලපෑම් කරනවා අපිට ලෝක බලවතුන් සමග හැප්පෙන්න බෑ කියලා. නමුත් මහින්ද රාජපක්ෂ ජනපතිතුමා ලෝක බලවතුන් සමග හැප්පෙමින් හැප්පෙමින් ඔවුන්ගේ නියෝග නොතකා හරිමින් අන්තිම කොටි ත්‍රස්තවාදියාත් තුරන් කළා.  වියට්නාමයේ හො චි මිං ඇමෙරිකානු හමුදාවන්ට අත් කළ අන්ත පරාජය මේ පිළිබඳ තිබෙන ජනප්‍රිය ලෝක උදාහරණයයි.  මේ සියල්ලටම වඩා වැදගත් ඇමෙරිකාව සමග දශක තුනක් අරගල කරලා පැනමා ඇල පැනමාව සතු කර ගැනීම.  සීඅයිඒ සංවිධානය පැනමාවේ ජනපතිවරයෙකු මරලා තවත් ජනපතිවරයෙකු සිර ගත කරලාත් පැනමා ඇල රැක ගන්න අසමත් වුණා.  

මේ ආණ්ඩුවේ පෝට් සිටි කතා අපට අදාළ නෑ.  බොරුවෙන් බලයට පැමිණි මේ ආණ්ඩුවත් සමඟ අපිව සංසන්දය කරන්න එපා. අපි කියුකේලා.  කිව්වොත් කෙරුවා.  පාලියෙන් කියනවා නම් යථාවාදි තථාකාරි උදවිය.

– අරවින්ද අතුකෝරල

131 views
Main News