හමුදා බුද්ධි බලකාය පාතාලයක් කියා හංවඩු ගහන්න යයි..

February 27, 2017 at 12:00 pm | lanka C news
හමුදා බුද්ධි බලකාය පාතාලයක් කියා හංවඩු ගහන්න යයි..

‘හමුදා බුද්ධි බලකායත් පාතාලයක් වගේ’ යන මතය ජනතාව තුළ සෑදීමට ආන්ඩුව උත්සාහ කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මේ අදහස් පල කලේය.

සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තුවේ විධායක අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් 05 දෙනකු මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ නුගේගොඩ දුරකථන කුළුණ ආශ්‍රිත පරීක්‍ෂණයකදී කීත් නොයාර් මහතාට පහර දුන් දිනයේ එම කුළුණ අවට ප්‍රදේශයේ මේ නිලධාරීන්ගේ දුරකථන සක්‍රියව තිබීම තමයි ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතු වී තිබෙන්නේ.

මේ බුද්ධි නිලධාරීන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටින පිරිසක් වුවත් ඔවුන් අත්අඩංගුවට ගෙන මුල්වරට අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ කිසිදු මුහුණු ඇවරණයක් නොමැතිවයි. අධිකරණය වෙත ගෙන ආ මොහොතේ ඔවුන්ගේ මුහුණු මාධ්‍යවේදීන්ගේ කැමරා කාචවල සටහන්ව තිබෙනවා. අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යන විට පමණක් ඔවුන් මුහුණු ආවරණයකර තිබෙනවා. මෙයින් කියන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නොසැලකිලිමත්කමද? දැන් කීත් නොයාර් මහතාට පමණක් නොවෙයි, දහස් සංඛ්‍යාත පිරිසකට ඉහත කී මාධ්‍යවේදී පිරිස ලබාගත් ඡායාරූප අනුව මේ පිරිස හඳුනාගැනීමේ ඉඩකඩ තිබෙනවා. දැන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් තියලා වැඩක් තියෙනවාද?

මෙවැනි ක්‍රියා ඉතා සැලසුම් සහගතව සිදු කරන බව පෙනෙන්නට තිබෙනවා. මෙය බුද්ධි බලකා රෙජිමේන්තුවට එරෙහිව සිදු කරන කුමන්ත්‍රණයක් බව පැහැදිලියි. යම් රටක හමුදාවක බුද්ධි අංශය කියන්නේ එම හමුදාවේ පංචේන්ද්‍රියන් වගේ. බුද්ධි අංශයක් නැති හමුදාවක් පංචේන්ද්‍රියන් වැඩ නොකරන මිනිසකු වගෙයි. දැන් මේ ආණ්ඩුව බටහිර ප්‍රජාවේ සහ දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට අපේ හමුදාව දුර්වල කිරීමට, එයට ඇති කීර්තිය විනාශ කිරීමට කටයුතු කරමින් ඉන්නේ. ඒ උවමනාවේ ප්‍රතිඵලයක් විදියටයි බුද්ධි අංශය මෙසේ විනාශ කරන්නේ.

එක්නැලිගොඩ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන අවුරුදු 1 1/2ක් රඳවා සිටියේ බුද්ධි නිලධාරීන්, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් මාධ්‍යවේදීන්ට පහර දීමට, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ බුද්ධි නිලධාරීන්. මෙසේ කිරීමෙන් මේ ආණ්ඩුව හදන්නේ ‘බුද්ධි බලකායත් පාතාලයක් වගේ’ කියන මතය ජනතාව තුළ හදන්න. ඊට නොරැවටෙන ලෙස අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මොකද, කොළඹ නගරය පුපුරුවා හැරීමේ කොටි සැලසුම් පැරදවීම, කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් චෙල්වම් විනාශ කිරීමේ මෙහෙයුමට අදාළ බුද්ධි තොරතුරු සැපයීම ආදී සුවිශාල මෙහෙවරක් කළ රණවිරුවන් පිරිසක් තමා මේ විදියට ‘පාතාලයක්’ ලෙස හංවඩු ගහන්න යන්නේ”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

7,724 Viewers
Main News