‘හයිවේ රොබරි’ පන්නයේ තවත් මහා පරිමාණ මුදල් මංකොල්ලයක්….

February 27, 2022 at 1:20 pm | lanka C news
‘හයිවේ රොබරි’ පන්නයේ තවත් මහා පරිමාණ මුදල් මංකොල්ලයක්….

‘හයිවේ රොබරි’ පන්නයේ තවත් මහා පරිමාණ මුදල් මංකොල්ලයක් මහාමාර්ග අමාත්‍යාංශය හරහා සිදු කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බව 43 සේනාංකය පවසයි.

පැවැති මාධ්‍ය හමුවක දී මෙම අනාවරණය සිදුවිය.

මේ මාධ්‍ය හමුවට එක් වූ 43 සේනාංක සභාපති, හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහතා සඳහන් කළේ රටේ ජනාධිපතිවරයා තේ ගොවීන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම අදාළ ක්ෂේත්‍රයේ අවබෝධයක් තිබෙන ඇමැතිවරුන්ගේ වගකීමක් බවය.

“පසුගිය දින කිහිපය තුළ අපි දැක්කා සමාජ මාධ්‍ය තුළ ජනාධිපතිතුමාගේ වීඩියෝවක් සංසරණය වෙනවා. එතුමා ගාල්ලේ ගිහිල්ලා කුඩා තේ වතු හිමියන්, තේ ගොවියන්, සමඟ සාකච්ඡා කළා. එතකොට ජනාධිපතිතුමාට ඒ තේ ගොවියෝ කියනවා ජනාධිපතිතුමනි, ඔබතුමා බොරු කියන්න එපා කියලා. ජනාධිපතිතුමා ඒ තේ ගොවියන්ට කියනවා ඕගොල්ලෝ බොරු කියන්න එපා, පොහොර නොමිලේ දුන්නා කියලා. ඉතින් ජනාධිපතිතුමා කටු අත්තක් වගේ මේ අහිංසක මිනිස්සුත් එක්ක පැටලි පැටලි, යන වීඩියෝ එකක් තමයි අපි දැක්කේ. මොකක්ද මේ වෙන්නේ? ”

ඇත්ත කුමක්ද? ලංකාවේ කිසිම ආණ්ඩුවක් තේ සඳහා කිසිම දිනක පොහොර නොමිලේ ලබා දී නොමැත. පොහොර සහනාධාර ලබාදුන් අවස්ථා තිබුණ ද එසේ පොහොර නොමිලේ තේ සඳහා ලබාදුන් කාලයක් ඉතිහාසයේ නොමැත. පොහොර නොමිලේ ලබාදෙන බවට අනුරාධපුර රැස්වීමකදී පොරොන්දු වූ ජනාධිපතිවරයා දැන් තමාවම විහිළුවට ලක්වන ප්‍රකාශ සිදු කරමින් පවතී.

ජනාධිපතිවරයා තමන්ගේ හිසට හෙලාගත් කාබනික පොහොර මනස්ගාතය නිසාම රටේ පොහොර ලබාදුන්නේ කෙසේද යන්න පිළිබඳවවත් අදහසක් ඔහු සතුව නොමැත. “ගාල්ල කියන්නේ තේ වවන දිස්ත්‍රික්කයක්. වැවිලි කර්මාන්ත භාර ඇමති රමේෂ් පතිරණ මැතිතුමාට තිබුණා පැහැදිලි කරලා දෙන්න ජනාධිපතිතුමාට තේ වවන සුළු තේ ගොවියා අද මුහුණපාලා තියෙන ප්‍රශ්නෙ මෙන්න මේකයි කියලා. ඇයි ඔබතුමාලා ඔබතුමාගේ නායකයාට කියලා දෙන්නේ නැද්ද? ඇයි එතුමාව ඔහොම මිනිස්සු ඉස්සරහ පීචං කරවන්නේ.”

“අපේ සම්ප්‍රදායික ලොකු විශාල අපනයන ආදායමක් අහිමි වෙමින් යනවා. අනතුරකට මුහුණ පාලා තියෙනවා. ඒකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ මේ ජනාධිපතිතුමා සහ මේ කාබනික පොහොර මනස්ගාතය එතුමාගේ ඔලුවට දාපු ඊනියා වියත්තු, බුද්ධිමත්තු සහ දේශපාලකයෝ කණ්ඩායම්. එම නිසා අර ගොවියා කියන්නේ ඇත්ත. ගොවියා කියන්නේ පොහොර සහනාධාරයක් දෙන්න කියලා. හැමදාම පොහොර නොමිලේ දෙන්න කියන එක නෙවෙයි.”කෙමෙන් අගාධයට වැටෙමින් තිබෙන ආර්ථිකය මොළ හතක් තිබෙනවාය කියූ බැසිල් රාජපක්ෂ මහතාට කළමනාකරණය කරගත නොහැකි බව පෙන්වා දුන් පරණවිතාන මහතා බැසිල් ඇමැතිවරයා යටතේ ආර්ථිකය ඉදිරියට නොයන බව ද සඳහන් කළේය.

43 සේනාංකයේ මූල්‍ය කටයුතු ලේකම් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා ද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වීය.

“පහුගිය කාලේ ‘හයිවේ රොබරි’ හරහා සිද්ධ වූ මහා මංකොල්ලය වගේ තවත් එක් මංකොල්ලයක් සඳහා දැන් පිඹුරුපත් සැකසමින් තියෙනවා. ඒක තමයි මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ CEP-3 කියන කොටස, ඒ කියන්නේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක් ඉදිකිරීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම සඳහා කටයුතු කරමින් පවතිනවා. 2022 ජනවාරි 16 වෙනිදා කැබිනට් එකට මහාමාර්ග අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළා CM4 කියලා පත්‍රිකාවක්. මහාමාර්ග අමාත්‍යාංශය කිව්වා මේක ඉදිරිපත් කරලා මේ කොටස සදන්න වියදම් වෙන මුදල රුපියල් බිලියන 82ක්.  ඒ කියන්නේ රුපියල් කෝටි 8200ක් කියලා. කොන්ත්‍රාත්කරුවන් ලවා ඉදිකිරීම සඳහා වැයවන මුදල විදියට තමයි මේ 8200 මහාමාර්ග අමාත්‍යාංශය විසින් කැබිනට් එකට දැන්වුවෙ. ඊට දවස් 11 කට පස්සේ හරියටම ජනවාරි 27 වෙනිදා CM6 කියන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් නැවතත් මහාමාර්ග අමාත්‍යාංශය විසින්ම මුදල් සපයාගෙන, නිර්මාණය කර අවුරුදු 15 කට නඩත්තු කිරීමත් ඇතුළත්ව, මේ මාර්ගය ඉදිකිරීම සඳහා, කොන්ත්‍රාත් ලබා දීමට, අනුමැතියක් ඉල්ලනවා. මෙන්න මේ අනුමැතිය යටතේ, අපිට දැනට ලැබිලා තියෙන ආරංචි අනුව, දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් සාදාගත් සමාගමකට රුපියල් කෝටි 38000 කට මේ ව්‍යාපෘතිය දීම සඳහා කටයුතු කෙරෙමින් පවතිනවා. ඒ කියන්නේ මහාමාර්ග අමාත්‍යාංශය විසින්ම කෝටි 8200යි  කියපු ව්‍යාපෘතිය මහාමාර්ග විසින්ම මේ සා දැවැන්ත, ඒ කියන්නේ ඒ මුදල වගේ පස් ගුණයක මුදලකට කොන්ත්‍රාත්කරුවන්ට ලබාදීම සඳහා තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ.”

43 සේනාංකය ඉංජිනේරු සංසදයේ ලේකම්, ඉංජිනේරු අමිල් ප්‍රියන්ත මහතා මේ මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වීය.

“ඉදිකිරීම් ක්ෂේත්‍රය දළ ජාතික නිෂ්පාදනයට 7%ක වගේ දායකත්වය දක්වනවා. මෙම ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන්, නැත්නම් කොන්ත්‍රාත්කරුවන් 4600 ක් පමණ සිටිනවා. ලංකාවේ ශ්‍රම බලකායේ ලක්ෂ 9 ක පමණ ප්‍රමාණයක්  සෘජුව හා වක්‍රව මෙම ක්ෂේත්‍රයත් සමග  සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. රටක ආර්ථික සංවර්ධනයක් වෙනවා නම් ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වෙන්නේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය. නමුත් අද වෙද්දි අපිට කියන්න කණගාටුයි ඔය මහා පරිමාණ යැයි කියන ව්‍යාපෘතිවලට අමතරව කිසිම ව්‍යාපෘතියක් මේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නැති මට්ටමට පත් වෙලා තියෙනවා. මෙම ක්ෂේත්‍රයේ හිටපු ලක්ෂ 10 කට ආසන්න පිරිසක් කිසිම ආදායමක් නැති මට්ටමට අද පත්වෙලා තියෙනවා.”

ප්‍රියන්ත මහතා පෙන්වා දෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයන්ට කොවිඩ් වසංගතය හේතුවෙන් යම් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවු අතර, ඊට අමතරව වර්තමාන ආණ්ඩුව විසින් ප්‍රශ්න රැසක් නිර්මාණය කර ඇති බවය. අමුද්‍රව්‍ය මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තිබේ. ආනයනික අමුද්‍රව්‍ය වල දැවැන්ත හිඟයක් පවතී.

“රට ඇතුලේ තියෙන අමුද්‍රව්‍ය කර්මාන්ත කරන සමාගම් එකක් හෝ දෙකක් ප්‍රමාණයක් ඒ අයගෙ ආධිපත්‍ය පතුරවගෙන ඉන්නවා. එතකොට විශාල මුදලකට තමයි අපිට ගන්න වෙන්නේ.”

– media unit

24,559 views

4 Comments to “‘හයිවේ රොබරි’ පන්නයේ තවත් මහා පරිමාණ මුදල් මංකොල්ලයක්….”

  1. චන්ද දායක says:

    ජොනියා ගෙ මාධ්‍ය ඒකකය හෙට මේකට උත්තර බඳියි. පච කෝටියක් අච්චාරු දාලා .

  2. Wimal Perera says:

    When did you getup, where were you all this time?????

  3. Narrator says:

    යහපාලනේ බලාගාර හදපු නැති හින්දලු විදුලි අර්බුදේ.. යකඩො බලාගාර 100ක් තිබ්බත් වැඩක් තියෙන්වද ගල් අගුරු තෙල් ගන්න ඩොලර් නැත්තම්.. බයියන්ගෙ මෝඩ මොලේට ඕවා බර වැඩී

    තෙල් තියෙනවා නම් ලංකාවෙ බලාගාරවලින් මෙගාවොට් 4500ක් දෙන්න පූලුවන්.. ලංකාවෙ උපරිම විදුලි ඉල්ලුම මෙගාවොට් 2700යි. තෙල් නැති හින්දා මේ දවස් වල දෙන්නෙ මෙගාවොට් 2000ක් වගේ.. එතකොට මේ මදි 700 දීගන්න බැරි ඩොලර් නැති හින්දද බලාගාර නැති හින්දද? බලාගාර පිටින් දාලා සර්ව බේරන්න බයියො සූරයො

Main News