හිටපු කොටි සාමාජිකයෙකුගේ නිවස අසල වලදමා තිබූ ලෝහ ස්කෑනර් යන්ත්‍රයක් හා පතුරම් තොගයක්..

May 24, 2018 at 2:02 am | lanka C news
හිටපු කොටි සාමාජිකයෙකුගේ නිවස අසල වලදමා තිබූ ලෝහ ස්කෑනර් යන්ත්‍රයක් හා පතුරම් තොගයක්..

කිලිනොච්චිය ,ධර්මපුරම් යුනිට් හත ප‍්‍රදේශයේ හිටපු කොටි සාමාජිකයකුගේ නිවස ආසන්නයේ වළදමා තිබූ ලෝහ උපකරණ සෙවීමට ගන්නා ස්කෑනර් යන්ත‍්‍රයක් හා ජීව පතුරම් තොගයක් පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව සිදුකළ පරීක්ෂාවකදී සොයා ගනු ලැබීය.

වවුනියාව පරයානම්කුලම ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝගය යටතේ ආරක්ෂක අංශ නිලධාරීන් හා පොලිසිය විසින් අදාල හිටපු කොටි සාමාජිකයාගේ නිවස ආසන්නයේ සැක සහිත ස්ථානයක් බැකෝ යන්ත‍්‍රයක ආධාරයෙන් සිදු කළ කැණීමකදී පොළව අභ්‍යන්තරයේ යකඩ පෙට්ටියක සූක්ෂම ලෙස අසුරා තිබූ ස්කෑනර් යන්ත‍්‍රය හා පිස්තෝල සඳහා යොදාගන්නා ජීව පතුරම් කිහිපයක් ද සොයා ගෙන තිබේ.

ජීව උණ්ඩ හා ස්කෑනර් යන්ත‍්‍රයේ කොටස් නොදිරන ලෙස පොලිතින් හා ග‍්‍රීස් යොදා අසුරා තිබූ බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ නිවස හිමි හිටපු කොටි සාමාජිකයා වසර ගණනක් විදේශ ගතව සිටින බවත් ඔහුගේ බිරිඳ හා ඥාතීන් අදාළ නිවසෙහි පදිංචිව සිටින බවත්ය

යුද සමයේදී මෙම උපකරණ තොගය නිවස අසල වළදමා ඇති අතර මෑත කාලයේ දී නිවැසියන් විසින් එම ස්ථානයට ඉහළින් සිමෙන්ති අසුරා තිබුණි.

නිවස හිමි හිටපු කොටි සාමාජිකයා විසින් මෙම උපකරණ සඟවා තැබුවේද යන්න මෙතෙක් අනාවරණය නොවූ අතර සොයාගත් ස්කෑනර් යන්ත‍්‍රය පසුගිය යුද සමයේ කොටි සංවිධානය විසින් බෝම්බ සෙවීම සඳහා යොදාගත් යන්ත‍්‍රයක් විය හැකි බවටත් අදාල හිටපු කොටි සාමාජිකයාට අවශ්‍ය නීතිමය පියරව ගැනීමටද කිලිනොච්චිය හා ධර්මපුරම් පොලීසිය විසින් කටයුතු කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16 views
Main News