හිරවුණාට කණගාටුයි.. ජනසයුරට පැමිණියාට ස්තුතියි..- මහින්ද
May 4, 2017 at 8:02 am | lanka C news
ලෝක කම්කරු දිනය දා ගාළු මුවදොර පැවති ඒකාබද්ද විපක්ෂයේ මැයි රැුළියට සහභාගී වූ සියළු දෙනාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්තුතිය පල කරයි.
එසේ ස්තුති කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වෙයි.
…සැමට තුති පුද…
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ එදා මෙදාතුර මෙරට ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය සාර්ථක කර ගැනීම උදෙසා වර්තමාන රජයේ දුර්දාන්ත ක්රියාකලාපයන්ට එරෙහිව පෙළගැසුණු ලක්ෂ සංඛ්‍යාත ජන සහභාගීත්වයේ කොටස්කරුවන් වූ සියලු දෙනාට මාගේ කෘතඥතාපූර්වක ස්තූතිය මෙයින් පිරිනමමි.
ගාලු මුවදොර පිටියම එකම හිස් ගොඩක් බවට පත් කරමින් මෙරට මැයි දින ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කළ ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය අතිශයින්ම සාර්ථක කර ගැනීම උදෙසා දිවා රෑ නොබලා කැපවූ ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මැති ඇමතිවරුන්ට, පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ට, සභිකයන්ට, වෘත්තීය සමිති හා අනෙකුත් සියලුම සංවිධානවලට මෙන්ම මෙම ජන රැලියට දැවැන්තම ශක්තිය එන්නත් කරමින් ඊට එක්වූ පොදු ජනතාව ද මේ මොහොතේදී හද පත්ලෙන්ම නැගෙන කෘතවේදීත්වයෙන් යුක්තව සිහිපත් කරමි.
මෙම දැවැන්ත ජන එකතුවට සවිය දෙන්නට එක්ව සිටියදී හදිසියේ අසනීපව දිවිගමනින් සමුගත් පාක්ෂිකයන් තිදෙනාගේ හදිසි අභාවයන් පිළිබඳව මාගේ ශෝකය ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත මේ මොහොතේදී පිරිනමමි. එමෙන්ම රැලියට එක්ව සිටියදී හදිසියේ අසනීප තත්ත්වයන්ට ගොදුරු වූ සියලු දෙනාට ඉක්මන් සුවය පතන අතර දැඩි තදබදය හේතුවෙන් අපහසුතාවයන්ට ලක්වූ සියල්ලන්ටම මාගේ කණගාටුව ද ප්‍රකාශ කරමි.
මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපති