හෙට විශේෂ පුවතක් සූදානම්..- අමරවීර

May 24, 2018 at 6:48 pm | lanka C news
හෙට විශේෂ පුවතක් සූදානම්..- අමරවීර

ජාතික ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය දින හතක් තුළදී ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවට පසුගිය දිනවලදී මාධ්‍ය පළකළ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අවධාරණය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි සත්‍ය අසත්‍ය භාවය මේ සිකුරාදා දිනයේදී මාධ්‍ය වාර්තා මඟින්ම දැනගන්නට හැකිවනු ඇතැයිද සඳහන් කළේය.

මහලේකම්වරයා මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටින්නේදැයි මාධ්‍යයෙන් විමසූ පැනයට පිළිතුරු ලබාදෙමිනි.

අමාත්‍යවරයා මෙසේද කීය.

පක්ෂයේ තනතුරුවල වෙනසක් පිළිබඳව දැනට කිසිදු සාකච්ඡාවක් සිදුකර නැහැ. හැබැයි මම ජනාධිපතිතුමාට ප්‍රකාශ කළා ඕනෑම දක්ෂයකුට මේ තනතුර ලබාදෙන්න. ඒ පිළිබඳව මාගේ කිසිම විරෝධයක් නැහැ කියලා.

දැනට අපේ පක්ෂයේ නිලධාරි මණ්ඩලයේ 50% කට වැඩි පිරිසක් පොහොට්ටුවේ සාමාජිකයන්. ඒ අයත් එක්ක මේ කටයුතු තවදුරටත් කරගෙන යන්න බැහැ. ඒ නිසා තාවකාලිකව නිලධාරි මණ්ඩලයක් පත් කරගන්නවා. ඊළඟට පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරනවා.

අද ගොඩක් අය කැමරාව මූණට ඇල්ලුවාම මොනවාහරි දෙයක් ප්‍රකාශ කරනවා. ඒවාට පිළිතුරු දෙන්න මට අපහසුයි. තවදුරටත් අපි ජාතික ආණ්ඩුවේ නැහැයි කියලා බලාගෙන ඉන්න අයට සිකුරාදා මාධ්‍ය වාර්තා බලන්න කියලා මම ආරාධනා කරනවා.

රට තුළ අර්බුදයක් නැහැ. මේ ආණ්ඩුව අර්බුදයකින් තොරව ගෙනයන්න බැරිවෙලා තියෙන්නෙ බොහෝවිට මාධ්‍යය නිසා. අර්බුද නැති වුණත් ඇතැම් මාධ්‍ය අර්බුද මවාපානවා. මාධ්‍ය අපට උදවු කරනවා නම් මේ රටේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයන්න, රටට හිතැති දේවල් කරන්න. ඉඩ දෙනවානම් දේශපාලනඥයන්ගේ අනවශ්‍ය ප්‍රකාශ ඉදිරියේදී කැමරාවයි මයික් එකයි පොඩ්ඩක් ඉවත් කරගන්නවා නම්, අපිට පුළුවන් මේ රට අර්බුදයකින් තොරව ඉදිරියට ගෙනයන්න.

අනෙක් අතට මොන පක්ෂය අතරෙද අර්බුද නැත්තේ, ශ්‍රීලනි පක්ෂයේ අර්බුද තිබෙනවා. එජාපයේ තියෙනවා. හැබැයි ලොකුම අර්බුදය තියෙන්නේ පොහොට්ටුවේ. ඒ වුණාට අද ගොඩාක් මාධ්‍යවලට ඒක ලොකු ප්‍රවෘත්තියක් නෙවෙයි. රටේ මිනිස්සුන්ටත් අද ලොකුම ප්‍රවෘත්තිය වෙලා තියෙන්නේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ අර්බුද විතරයි. ඒ වුණාට පොහොට්ටුවේ අභ්‍යන්තරයේ කොච්චර ප්‍රශ්න තියෙනවාද කියලා හොයලා බලන්න. සියලුම පක්ෂවලට අර්බුද තිබෙනවා.

අපිට ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න බලය නැහැ. අපි මේ ආණ්ඩුවේ එල්ලිලා ඉන්නවා කීම වැරදියි. මොකද මේ ආණ්ඩුව එජාප ආණ්ඩුවක්වත් ශ්‍රීලනිප ආණ්ඩුවක්වත් නෙවෙයි. මේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක්.

රාජිත සේනාරත්න ඇමැතිවරයා කැබිනට් ප්‍රකාශක ලෙස එදා රණවිරුවන් සම්බන්ධ කළ ප්‍රකාශයට ශ්‍රීලනි පක්ෂයේ කිසිසේත්ම එකඟතාවක් නැහැ.

– mawbima

99 views
Main News