‘ෆිදෙල් කස්ත්‍රෝ’ යනු දේශපාලන නායකයකුට හෝ ව්‍යාපාරයකට තම භාවිතයේ නිවැරදිකම මැන ගැනීමට ඇති කෝදුවක්..

December 5, 2016 at 8:02 am | lanka C news
‘ෆිදෙල් කස්ත්‍රෝ’ යනු දේශපාලන නායකයකුට හෝ ව්‍යාපාරයකට තම භාවිතයේ නිවැරදිකම මැන ගැනීමට ඇති කෝදුවක්..

ෆිදෙල් කස්ත්‍රෝ යනු යම් දේශපාලන නායකයකුට හෝ දේශපාලන ව්‍යාපාරයකට තම භාවිතය නිවැරදි දැයි මැන ගැනීමට ඇති කෝදුවක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ පදනම් ආයතනයේදී පැවැති ෆිදෙල් කස්ත්‍රෝ ගුණ සමරු උත්සවයකදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. මෙම සමරු උත්සවය ශ්‍රී ලංකා – කියුබානු මිත්‍රත්ව සංගමය විසින් සංවිධානයකර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“පැහැර හැරිය නොහැකි ජාත්‍යන්තර යුතුකමක් ඉටු කිරීම පිණිස ශ්‍රී ලංකා – කියුබා මිත්‍රත්ව සංගමය මේ අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳව පළමුව අපගේ ස්තුතිය පිරිනැමීමට කැමතියි. ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා කියන්නේ අපට අපව මැන ගැනීමට ඇති කෝදුවක්. ‘අපේ දේශපාලන භාවිතය කොතෙක් දුරට නිවැරදිද?’ කියා මැන ගැනීමට ඒ කෝදුව ප්‍රායෝජනවත් වෙනවා. ඒ කෝදුව නිවැරදිව භාවිතා කළහොත් ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාගේ ආදර්ශය අපට නොඅඩුව ලබාගත හැකියි.

ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා සිය සටන පටන්ගත්තේ ඇමෙරිකානුගැති බැටිස්ටාගේ ඒකාධිපති පාලනය පැරදවීමටයි. බැටිස්ටා පාලනය පැරදවීම තමයි කියුබානු විප්ලවය ලෙස හැඳින්වෙන්නේ. ඒ සටනට අවශ්‍ය ජීව ගුණය සහ පන්නරය ඔහු ලබා ගත්තේ ජොසේ මාටි ඇතුළු අතීත රණශූර කියුබානු දේශප්‍රේමීන්ගෙන්. එක අවස්ථාවක කස්ත්‍රෝ සහෝදරයා කියනවා, ‘මම සරසවියේ නීති පීඨයේ ඉන්න කාලයේ එහි කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් සිටියා. ඔවුන් ඊට අදාළ පොත්පත කියැවූවා. මමත් මාක්ස්වාදයට අදාළ පොත්පත දෙක තුනක් කියෙව්වාට මට කොමියුනිස්ට් පක්‍ෂයට බැඳෙන්න හිතුණේ නැහැ. ඒ වගේම ඒ කාලයේ මට කොමියුනිස්ට්වාදියකු ලෙස සටන් කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟුණේ නැහැ’ කියලා. බැටිස්ටාගේ ඒකාධිපති පාලනය පරාජය කරලා කස්ත්‍රෝ ඇතුළු පිරිස කියුබාවේ රාජ්‍ය බලය අත්පත්කර ගන්නවා. එදා ඇමෙරිකා එක්සත් ජනපදයත් හිතුවා ‘බැටිස්ටාගේ පාලනය වෙනුවට කස්ත්‍රෝගේ හෝ වෙනත් නායකයකුගේ මූලිකත්වයෙන් කියුබාවේ ගොඩනැගෙන නව පාලනයත් සමඟ පරණ විදියට දීග කන්න පුළුවන් වේවි’ කියලා. නමුත් තමන් ලබාගත් බලය රැක ගැනීම පිණිස එදා ගත යුතුව තිබූ ප්‍රඥාවන්තම පියවර කස්ත්‍රෝ සහෝදරයා ගනු ලැබුවා. ඒ අනුව ඔහු කියුබානු කොමියුනිස්ට් පක්‍ෂය ගොඩනඟලා ලෝකයේ සමාජවාදී රටවල් සමඟ මිත්‍රත්වය තහවුරුකර ගන්නවා.

උපාය මාර්ගික විශේෂඥයකු ලෙස….

ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා කියන්නේ උපායමාර්ගික විශේෂඥයෙක්. කියුබාව පුංචි වුණත් ඔහු ලතින් ඇමෙරිකානු කලාපය තුළ නිකරගුවාව, බොලීවියාව, ඉක්වදෝරය වැනි ඇමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට එරෙහි රටවල් ගණනාවක් බිහි කරන්න මූලික වෙනවා. අධිරාජ්‍යවිරෝධී ආවේගය, අධිරාජ්‍යවිරෝධී මතවාදය හා අධිරාජ්‍යවිරෝධී සමාජවාදී වැඩපිළිවෙලක් මේ රටවල සමාජගත කිරීමට ඔහුට හැකි වෙනවා. අද ඇමෙරිකා එක්සත් ජනපදයට අභියෝගකර පලා ගිය ඔත්තුකරුවා අසාන්ජේ ආරක්‍ෂා කරන්නේ ලතින් ඇමෙරිකානු රටක්. අද අධිරාජ්‍යවාදයට එරෙහි මිනිසුන්ට රැකවරණය ලැබෙන්නේ ඒ ලතින් ඇමෙරිකානු කලාපයේයි. ඒ ප්‍රවණතාවය ලතින් ඇමෙරිකානු කලාපය තුළ නිර්මාණය කළේ කස්ත්‍රෝ විසින් බිහිකළ මේ පුංචි කියුබාවයි. ඒ අනුව අපට පෙනෙනවා, කස්ත්‍රෝ සහෝදරයා කියුබාවේ සමාජවාදී රාජ්‍යයක් ගොඩනැඟුවා පමණක් නොවෙයි, අධිරාජ්‍යවාදයට අභියෝග කරන දේශපාලන කඳවුරක් ලතින් ඇමෙරිකානු කලාපය තුළ නිර්මාණය කළ බව.

‘අධිරාජ්‍යවිරෝධි සටන කොතැනද?’ ෆිදෙල් එතැනයි

නොබැඳි ජාතින්ගේ සංවිධානය හදන්න කස්ත්‍රෝ සහෝදරයා එදා පුරෝගාමී නායකත්වයක් දුන්නා. ඒ වගේම හැමදාම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සමාජවාදී කියුබාව නියෝජනය කළ නියෝජිතයා නිවැරදි දෙය වෙනුවෙන් පෙනී සිටියා. ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය යෝජනා ගෙන එන විට කියුබානු නියෝජිතයා ඊට එරෙහිව පෙනී සිටියා. අපේ ඇතැම් නියෝජිතයන් පස්ස ගහලා ඉන්න විට කියුබානු නියෝජිතයා ආවේගශිලීව මේ යෝජනා ගෙන එන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘රෙජීම් චේන්ජ්’ න්‍යාය පත්‍රය අනුව බව අපූරුවට පෙන්වා දුන්නා. මම මෙතැනදී ‘අපේ ඇතැම් නියෝජිතයන්’ කියා කීවේ මෙතැන සිටින දයාන් ජයතිලක මැතිතුමාට සහ තමාරා කුණනායගම් මැතිනියට නොවෙයි. ඔවුන් ජිනීවාවලදී තම රට වෙනුවෙන් නිසි පරිදි වගකීම් ඉටු කරපු අය. ඔවුන්ට පසුව ජිනීවා ගිය ඇතැම් අය පිළිබඳවයි මා එසේ කීවේ. අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ගෙන එන්නේ ඔවුන්ගේ උදහසට ලක් වූ ශ්‍රී ලංකාවේ පාලනය පෙරළා දැමීමට බව කියුබාව තේරුම්ගෙන සිටියාට, අමෙරිකාවේ ඒ යෝජනා එකට එක් වී ක්‍රියාත්මක කිරීමට, ජාත්‍යන්තරව ෆිදෙල් කස්ත්‍රෝ අගය කරන මෙරට ඇතැම් බලවේග ද කටයුතු කරන ආකාරය අපි පසුගිය කාලයේ දුටුවා.

සැමවිටම ෆිදෙල් කස්ත්‍රෝ අතේ තිබුණේ අධිරාජ්‍යවිරෝධී දේශපාලන න්‍යාය පත්‍රයක්. තමන්ගේ රටේ සමාජවාදී රාජ්‍යයක් ගොඩනැඟූ ෆිදෙල්, ජාත්‍යන්තර තලයේදී අධිරාජ්‍යවිරෝධී අරගලයක් කවර තැනක ගොඩනැඟුණත් තමන්ගේ ජනතාව සමඟ ඊට සහාය දුන්නා. ‘ඇමෙරිකන් අධිරාජ්‍යවාදයට එරෙහි සටනක් ගොඩනැඟුණේ කොතැනකද?’ ෆිදෙල් තම ජනතාව සමඟ අධ්‍යාත්මිකව එතැන සිටියා.

ජොසේ මාටිගේ සොහොන් කොත අසලම ෆිදෙල් කස්ත්‍රෝගේ සොහොන් කොතත් ඉදිවේවි. ජොසේ මාටි කියුබානු ජනතාවගේ සදාතනික වීරයකු වන්නාසේම ඉන්පසුව පරම්පරාව බිහිකළ ප්‍රමුඛතම වීරයා ලෙස ෆිදෙල් කස්ත්‍රෝ නාමය ඒ ජනතාව තුළ සදාකල් රැදේවි. ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා ලබාදුන් මහා ආදර්ශය සහ ආලෝකය සදාකාලිකව ප්‍රගතිශීලී, අධිරාජ්‍යවිරෝධී, සටන්කාමී ජනතා ක්‍රියාකාරීත්වය ඔපමට්ටම් කරාවි. ඔහු විසින් ලබා දුන්නු අවබෝධයට, විඥානයට, අධිරාජ්‍යවිරෝධී මහා ගුණයට අපට ණය ගෙවා අවසන් කළ නොහැකි බව සනිටුහන් කරමින් මේ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයාට අපේ උත්තමාචාරය පළ කරනවා. එසේම ඒ ආදර්ශමත් නායකයා ගත් මඟ සදාකාලිකව සුරකිමින් ලොවට ශ්‍රේෂ්ඨ ආදර්ශයක් වීමට කියුබානු ජනතාවට හැකිවේවායි පතනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

541 views
Main News