09 වැනිදා ප්‍රහාරයට ජනතාව ප්‍රතිප්‍රහාර එල්ල කළේ නැතිනම් විනාශයක් කරන්නේ…- බිමල්

June 2, 2022 at 11:20 am | lanka C news
09 වැනිදා ප්‍රහාරයට ජනතාව ප්‍රතිප්‍රහාර එල්ල කළේ නැතිනම් විනාශයක් කරන්නේ…- බිමල්

ගෝඨාභය ගත්ත තකතීරු මුරණ්ඩු තීරණ නිසයි, කෘෂිකර්මාන්තය විනාශ වුණේ. ඊලග යල කන්නයේ අස්වැන්න ලැබෙන්නේ 2023 මාර්තු වල. එතකන් කන්න වෙන්නේ ඇමතිවරුන් තමයි. බත් කන්න පුරුදු වෙච්ච රටක් විදියට අපිට, බත් වලට වෙනත් ආදේශක නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හා ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා (01) බළපිටියේදී ප්‍රකාශ කළේය.

පසුගිය 09 වැනිදා ප්‍රහාරයට ජනතාව ප්‍රතිප්‍රහාර එල්ල කළේ නැතිනම් විරෝධතා සියල්ලම විනාශ කරනවා. එහෙම වුණානම්, ඔවුන් ආපසු එන්නේ ගාල්ලේ ගෝඨා ගෝ ගමටත් පහර දී ගෙනයි. එච්චර විශාල පිරිසක් ජවිපෙට ඉන්නවානම්, මේ වන විටත් අපි ගෝඨාභයව ගෙදර යවල ඉවර බවද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

‘අර්බුදයට විසදුම’ මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර බළපිටිය දුම්රිය පොළ පාරේ රිවර් පැලස් උත්සව ශාලාවේදී පැවති ජනහමුවේදී බිමල් රත්නායක මහතා මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් කතා කල බිමල් රත්නායක මහතා මෙසේද කීය.

අද, අගමැතිතුමාගේ ප්‍රධාන කාර්යය වෙලා තිබෙන්නේ ගෑස් නැවක්, තෙල් නැවක් එනවද කියල මුහුද දිහා බලන් ඉන්න එක. එක කාරණයකට රටේ ජනතාව කොටු කරාම, රටක් පාලනය කරන්න පාලකයින්ට ලෙහෙසියි. දැන් ජනතාව අධ්‍යාපනය ගැන, සෞඛ්‍යය ගැන හොයන්නේ නැහැ. ගිය වසරේ බඩු මිළ වැඩි වීම, නය ගෙවා ගන්න බැරි වීම වගේ ප්‍රශ්ණ තමයි, තිබුණේ. එදා රටේ තිබුණේ ආර්ථික ප්‍රශ්ණයක්. ලංකාවේ වැඩිම පිරිසක් උද්ඝෝෂණය කළේ පසුගිය දින 90 තුලයි. රාජපක්ෂ පවුලත්, ඔවුන්ට බැලමෙහෙවර කරන ටිකක් හැර අනෙක් සියල්ලන්ම උද්ඝෝෂණය කලා. ඒ උද්ඝෝෂණයේදී කව්රුවත් තෙල්, ගෑස්, හාල් ඉල්ලුවේ නැහැ. හැම කෙනෙක්ම කිව්වේ ගෝඨා ගෝ හොම් කියලයි.

පසුගිය දිනක ජනාධිපතිවරයා, අධ්‍යාපනයේ ප්‍රධානීන් ගෙනැල්ල ප්‍රතිසංස්කරණ ගැන කතා කලා. ඒක දැකපු ජනතාව කිව්වේ කෘෂිකර්මයට කරපු විනාශය කරන්නද හදන්නේ, කරුණාකරල ගෙදර යන්න කියලයි. මෙරට දේශපාලනයේ අසාර්ථකම දේශපාලනඥයා බවට වත්මන් ජනාධිපතිවරයා පත්වෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා 06 වතාවක් අගමැතිකම කරල තිබෙනවා. නමුත් ඒ හය වතාවම එකතු කරාම වසර 07 යි තිබෙන්නේ. හැමදාම ගේම් වලින් අගමැතිකමට ආපු ඔහුට, එකම වතාවක්වත් සම්පූර්ණ ධූර කාලයක් අගමැතිකමේ ඉන්න පුළුවන් වුණේ නැහැ.

මේ වෙලාවේ රටට අවශ්‍ය එකතු වීමක්. සුනාමිය ආපු වෙලාවේ මිනිස්සු එකතු වෙලා රට ගොඩ නැගුවා. දැන් රට හපයක් නම් මේ තත්ත්වය අවසන් වෙන්නේ රට රොඩ්ඩක් වෙලා. රටට එකතු වෙලා වැඩ කරන්න දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. ඒ දේශපාලන නායකත්වය ලබා දෙන්න ජාතික ජන බලවේගය සූදානමින් ඉන්නවා. නමුත් ගෝඨාභය ජනාධිපති පුටුවේ තියගෙන, පරාජිකා වුණ, රනිල් අගමැතිකමේ තියාගෙන රට ගොඩ නගන්න පුළුවන් කමක් නැහැ. වර්තමානයේ අපේ රටේ ඔඩුදුවා ඇති සමාජ ඛේදවාචකයටත් පිලියම් අවශ්‍යයි. අද කුඩා දරුවෙකුටවත් මහ දවල් ගෙදරින් මීටර් 100 ක් 200 ක් එලියට යන්න පුවවන් කමක් නැහැ.

වර්තමාන ගැටළුව රටේ ඇති වෙන්න කලින් සැලකිය යුතු පිරිසක් හිතුවේ දේශපාලනයෙන් වැඩක් නැහැ කියල. ඒ අය කිව්වේ අපි හම්බ කරොත් අපි කනවා කියලයි. මේ වන විට දේශපාලනය වැදගත් නැහැ කියන කතාව බොරුවක් වෙලා තිබෙනවා. අද හම්බ කරාට කන්න පුළුවන්ද? අද මන්ත්‍රීවරයා අවලංගු කාසියක් බවට පත් වෙලා. කව්රුවත් රස්සාවක් ගන්න, ළමයෙක් පාසැලකට දා ගන්න දේශපාලනඥයින් පස්සෙන් යන්නේ නැහැ. ඉදිරියේදීත් මේ ගැටළුවට විසදුම් දෙන්න සුපර් මෑන්ල, දියසෙන් කුමාරයන් එන්නේ නැහැ. ඒ සදහා අවශ්‍ය නායකත්වය දෙන්නයි, ජාතික ජන බලවේගය නිර්මාණය කළේ.

මහින්ද අමරවීර, කෘෂිකර්ම ඇමතිවරයා රට සහලින් ස්වයංපෝශිත කරනවා කිව්වට, ජනාධිපති කියන්නේ ම‍යියොක්කා අලයක් හරි හිටවන්න කියලයි. එයා කොයි ආන්ඩුව ආවත් ඇමති. අද රාජපක්ෂවරු රකින රනිල්ගේ කුලී හේවායෙක්. අපේ අම්මලාට මිරිස් පැලයක් ගෙවත්තේ හිටවාගන්න අමරවීරල කියන්න ඕනෑද? ගෝඨාභය ගත්ත තකතීරු මුරණ්ඩු තීරණ නිසයි, කෘෂිකර්මාන්තය විනාශ වුණේ. ඊලග යල කන්නයේ අස්වැන්න ලැබෙන්නේ 2023 මාර්තු වල. එතකන් කන්න වෙන්නේ ඇමතිවරුන් තමයි. බත් කන්න පුරුදු වෙච්ච රටක් විදියට අපිට, බත් වලට වෙනත් ආදේශක නැහැ. තමිල්නාඩුවේ මහ ඇමතිවරයා අපිට කන්න දීල කච්චතිව් ඉල්ලනවා. මේ විදියට කෑවොත් අපිට මොනවා දෙන්න වේවිද දන්නේ නැහැ.

පසුගිය 09 වැනිදා පොහොට්ටුවේ දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තිබ්බේ ජවිපෙන් කියල දැන් කතාවක් පතුරවනවා. 09 වැනිදා ගෝඨාගෝගමටත්, මයිනාගෝගමටත් ගහන්න ජොන්ස්ටන් ප්‍රනාන්දුල, ගාමිණී ලොකුගේලා, මැරයෝ කුලී හේවායෝ එවන කම්, එක දේපලකට මේ රටේ ජනතාව කැපපෝලයකින්වත් විද්දේ නැහැ. පොහොට්ටුවේ මැරයන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුවයි, ජනතාව ප්‍රතිප්‍රහාර එල්ල කළේ. ජනතාව පත් කරන්න වගේ ඉවත් කරන්නත් ජනතාවට පුළුවන්. ඒ කතිරයේ බලය ඊ ලග මැතිවරණයේදී පාවිච්චි කල යුතුයි. අපි පත්කරපු මන්ත්‍රීවරයා ඒ කාර්යය කරන්නේ නැතිනම් ඔහුව ඉවත් කිරීමේ බලය ජනතාවට තිබෙනවා. පසුගිය මාස කිහිපය තුල ආණ්ඩු කීයක් පත්වෙලා තිබෙනවද? එක වෙලාවකදී මහින්දයි, ගෝඨාභයයි විතරක් සිටියදී අනෙක් ඇමති මණ්ඩලයම අයින් වුණා. රජෙක් වගේ හිටපු මහින්දට හැංගෙන්න තැනක් නැති වෙයි, කියල කව්ද හිතුවේ.

ජනතාවගේ බලය, සාමකාමීව හා සටන්කාමීව පසුගිය කාලයේ යොදවල තිබෙනවා. ඒ කාලය තුල අපි විශාල දේහපාලන ජයග්‍රහණ ලබල තියෙනවා. අද වෙන විට එක ඇමතියෙකුට එලියට බහින්න බැරි වෙලා තිබෙනවා. අපේ රටේ සාමාන්‍ය ජනතාව පැමිණිල්ලක් දාන්න පවා පොලීසියකට යන්න බයත් තිබෙනවා. ඒ තරමටම මේ ආයතන වලින් ඉටුවන සාධාරණත්වය ප්‍රශ්ණ සහගතයි. පසුගිය 09 වැනිදා ප්‍රහාරයට ජනතාව ප්‍රතිප්‍රහාර එල්ල කළේ නැතිනම් විරෝධතා සියල්ලම විනාශ කරනවා. එහෙම වුණානම්, ඔවුන් ආපසු එන්නේ ගාල්ලේ ගෝඨා ගෝ ගමටත් පහර දී ගෙනයි. එච්චර විශාල පිරිසක් ජවිපෙට ඉන්නවානම්, මේ වන විටත් අපි ගෝඨාභයව ගෙදර යවල ඉවරයි.

අපේ රට මේ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ හොරකම නිසාම නොවෙයි. පසුගිය වසර 40 ක 50 ක කාලය තුල අපි ගියේ වැරදි පාරක. අපේ රටේ නිශ්පාදන සියල්ල වැහිල ගියා. කර්මාන්ත ශාලා වැහුණා. බන්ධුල ගුණවර්ධන එක වරක් කිව්වා, ලංකාවේ අර්ථාපල් වවනවාට වඩා අඩුවට ඉන්දියවෙන් ගේන්න පුවවන් කියල. දැන් එහෙම ගේන්න පුළුවන්ද? 2016 මහ බැංකුව කියල තිබුණ, 2022 දී නය ගෙවන්න බැරි වෙනවා කියල.

අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් රට ගොඩදාන්න පුළුවන් කියල බොහෝ දෙනා කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් ගොඩගිය එක රටක්වත් ලෝකයේ නැහැ. මහා පොහොසත් රටවල් වන ආජන්ටිනාව, ග්‍රීසිය වගේ රටවක් විනාශ වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිසයි. නය ගෙවන්න බැරිවන විට නය දුන් රටවල් අපේ දේපල පවරා ගන්නවා.

ජනතා විමුක්ති පෙරමුණේ බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුරුද්ධ මහවැලි මහතාද මෙහිදී කතා කලහ.

– ජයකාන්ත ලියනගේ

37,391 views

26 Comments to “09 වැනිදා ප්‍රහාරයට ජනතාව ප්‍රතිප්‍රහාර එල්ල කළේ නැතිනම් විනාශයක් කරන්නේ…- බිමල්”

  1. දේවක says:

    ජෙප්පෝ රටට හෙණයක්! සහමුලින්ම වඳකලයුතු සත්ත්ව කොට්ඨාශයක්.

Main News