ජනාධිපති මේ කරන්නේ රටට ආදරේ කිසි මිනිහෙකු කරන දෙයක් නොවෙයි.. ලක් ඉතිහාසයේ අපකීර්තිමත්ම ආණ්ඩුව මෙයයි..

September 21, 2017 at 4:40 pm | lanka C news
ජනාධිපති මේ කරන්නේ රටට ආදරේ කිසි මිනිහෙකු කරන දෙයක් නොවෙයි.. ලක් ඉතිහාසයේ අපකීර්තිමත්ම ආණ්ඩුව මෙයයි..

ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමා නීතිය අමුඅමුවේ උල්ලංඝනය කරන මෛත්‍රී රනිල් ඒකාධිපති රෙජීමය දිනෙන් දිනම රට විනාශය කරා ඇදගෙන යමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව රටේ ජනතාව පෙළගැසිය යුතු කාලය දැන් එළැඹ ඇති බව පැවසූ රණතුංග මහතා මේ ආණ්ඩුවට තවත් ඉදිරියට යාමට ඉඩදුනහොත් අනාගත පරපුරට රටක් කියා යමක් ඉතුරු නොවනු ඇති බවත් රණතුංග මහතා පෙන්වා දුන්නේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ඔස්ට්‍රේලියාවේ, මෙල්බන් නුවර දී ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක් අද (21) උදෑසන හමු වූ අවස්ථාවේදීය. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මේ ආණ්ඩුව බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉෂ්ඨ දේවතාවරුන් වගෙයි. ජනාධිපතිවරණ වේදිකාවෙදි ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මාධ්‍ය නිදහස, මානව අයිතිවාසිකම් ගැන පුන පුනා කතා කරපු මේ අය බලයට එනකොට ජනතාව හිතුවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලා යයි කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් මාධ්‍ය නිදහස් අපේ ජනතාවට අහිමි වෙලා තිබෙනවා.

මිනිස්සු දැන් කල්පනා කරන්නේ මේ උන්නැහෙලාට ඡන්දය දීලා කරගත්ත මෝඩකම ගැනයි. ඒ මෝඩකම නිවැරැදි කරන්න මිනිස්සු ඡන්දයක් එනකම් බලන් ඉන්නවා. ආණ්ඩුව දවසින් දවස ඡන්ද කල්දානවා. අවුරුදු දෙකක් තිස්සේ මේ රටේ කිසිදු පළාත් පාලන ආයතනයක් මහජන නියෝජිතයන් මඟින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් පළාත් සභා ටිකටත් උදාවෙන්න යන්නේ ඒ ඉරණමම තමයි.

විලිලැජ්ජාවක් නැතිව රටේ නීතිය වගේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් උල්ලංගණය කරමින් මේ යන ගමනේ අවසානය කොතැනද කියලා ජනාධිපතිවරයාවත් දන්නේ නැහැ. දැනගත්තත් එයාට වැඩකුත් නැහැ. මොකද රටට ආදරය කරන කිසිම මිනිහෙක් කරන වැඩක් නෙමෙයි එතුමා මේ කරමින් ඉන්නේ. එක පැත්තකින් පක්ෂය විනාශ කරන අතරම අනෙක් පැත්තෙන් රට විනාශ කරන්න රනිල්ට ඉඩ දීලා තිබෙනවා.

ඊයේ පාර්ලිමේන්තුවේ දී පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගත්තා. මේ සංශෝධනය හදිසියෙම ගෙනාවේ 20 වැනි සංශෝධනයෙන් පළාත් සභා ඡන්දය කල්දාන්න ගත්ත යටිකූට්ටු උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා වැරදුණ නිසයි. හරිහමං අධ්‍යාපනයක් නැති මිනිස්සු එදාවේල හම්බ කරගන්න නොයෙක් දහංගැට ගහනවා වගේ ආණ්ඩුවත් බලය රැකගන්න දහං ගැට ගහනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ 20 වැනි සංශෝධනයේ වගන්ති කිහිපයකට තුනෙන් දෙක පමණක් ප්‍රමාණවත් මදි ජනමත විචාරණයකටත් යායුතුයි කියලයි. ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ගරු කරනවා වෙනුවට කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කනෙනුත් රිංගලා තමන්ට ඕනේ විදියට ඡන්දය කල්දාගන්න ආණ්ඩුව කටයුතු කළා. උදේ නමයට රැස් වූ පාර්ලිමේන්තුව රෑ නමය වෙනකම්ම පවත්වාගෙන ගිහින් තමයි මේක සම්මත කර ගත්තේ.

ආණ්ඩුව මේ දාපු පනතට වඩා සංශෝධන ප්‍රමාණයක් අන්තිමේ දී ඉදිරිපත් කළා. සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව ජනතාවගේ ඡන්ද අයිතිය උදුරාගත් ආණ්ඩුව ලක් ඉතිහාසයේ අපකිර්තිමත්ම ආණ්ඩුව බවට පත්වෙලා ඉවරයි. මේක හිට්ලර්ගේ පන්නයේ ඒකාධිපති ආණ්ඩුවක්. එදා රාජපක්ෂ රෙජීමයක් ගැන කතා කළා. අද තියෙන්නේ මෛත්‍රී රනිල් රෙජීමයක්. ජනතාව යකඩ සපත්තුවට පාගා දමන ඒකාධීපති රෙජීමයක්.

තවදුරටත් මේ රෙජීමයට යන්න දුන්නොත් අපට රටක් ඉතුරු වෙන එකක් නැහැ. මේ මර්දනකාරී පාලනය සහමුලින්ම අතුගාලා දමන්න ජනතාව එකතු විය යුතුයි. පරදිනවට බයේ ආණ්ඩුව ඡන්ද කල්දැම්මත් ඡන්ද නැතුවත් ආණ්ඩු පෙරළන විදිය අපි දන්නවා. දැන් ගෙවෙමින් තියෙන්නේ ආණ්ඩුවේ අවසන් කාලයයි. මේ ආණ්ඩුව දැන් මරණාසන්න රෝගියෙක් වගෙයි. මේ මරණාසන්න රෝගියා කනත්තට යන දවස වැඩි ඈතක නෙවෙයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

82 views