මාළු කඩ මැස්සන්ට අතවනයි…

December 27, 2017 at 8:17 am | lanka C news
මාළු කඩ මැස්සන්ට අතවනයි…

පුත්තලම නගරය ආශ්‍රිතව ලක්ෂ හාරසීයකට ආසන්න මුදලක් වැය කරමින් පසු ගිය රජය විසින් ඉදිකරන ලද පොදු වෙළද සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිමකලද මේ වන තෙක් විවෘත නොකර තිබීම හේතුවෙන් පාරිභෝගිකයින් මෙන්ම ව්‍යාපාරිකයින් දැඩි අපහසුතාවයට ලක්ව ඇති බව කියයි.

පුත්තලම නගරය මධ්‍යයේ පසු ගිය රජය විසින් ලක්ෂ හාරසීයකට ආසන්න ප්‍රතිපාදනයක් වෙන්කරමින් ඉදිකර ඇති පොදු වෙළද සංකීර්ණයේ ඉදිකිරීම් නිමකලද එකී වෙළද සංකීර්ණය ජනතා අයිතියට පත් නොකර තිබීම බරපතල ගැටළු සහගත තත්ත්වයක් ලෙසයි ජනතාව පෙන්වා දෙන්නේ.

මේ වන විට එම පොදු වෙළද සංකීර්ණය තුළට අනවසර වාහන ඇතුළු කිරීමෙන්  රථ ගාලක් බවට පත්ව තිබීම නිසාවෙන්  අවට තාවකාලිකව ඉදිකර ඇති මස්, මාළු වෙළදසැල් වලින් අධික දුර්ගන්ධයක් නිරන්තරයෙන් වහනය වීමෙන් ජනතාව දැඩි ලෙස අපහසුතාවයට ලක්වන අවස්ථා අනන්ත අප්‍රමාණය.

එපමණක්ද නොව එසේ ඉදිකර ඇති තාවකාලික වෙළද සංකීර්ණය නිසාවෙන් පුත්තලම නගරය ආශ්‍රිතව විශාල මැසි ග්‍රහණයක් වර්ධනය වී ඇති බව කියයි.

මේ හේතුව නිසාවෙන් දිනකට මාළු මිළදී ගැනීම සදහා විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන බහුතරයක් ජනතාව දැඩි අපහසුතාවයට පත්වන්නේ තාවකාලික මාළු වෙළද සැල් වලින් බැහැර කරන අපිරිසිදු මත්ස්‍ය කොටස් වලින් පිටවන දුර්ගන්ධය නිසාවෙනි. එපමණක් නොව මාළු මිළදී ගැනීමට පැමිණෙන බොහෝ පිරිස් එහි ප්‍රමාණවත් ඉඩකඩ නොමැති කමින් දැඩි අසීරු තාවයට පත්වන අවස්ථා එමටය.

පසු ගිය රජය සමයේ ලක්ෂ හාරසීයකට ආසන්න මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කර ඉදිකර ඇති නව පොදු වෙළද සංකීර්ණය මේ වන තෙක් විවෘත නොකිරීම හේතුවෙන් මේ වන විට එය රථ ගාලක් පමණක් නොව යාචකයින්ගේ නවා තැනක් බවටද පත්ව තිබීම බරපතල ගැටළු සහගත තත්ත්වයක් බවයි වෙළදුන් සහ ජනතාව පෙන්වා දෙන්නේ.

එපමණක් නොව මේ දිනවල පුත්තලම නගරය ඇතුළු ප්‍රදේශයන් රැසකට ඇද හැලෙන ධාරාණිපාත අධික වර්ෂාපතනයත් සමග අවිධිමත් ලෙස මත්ෂ්‍ය වෙළද සැල් වලින් බැහැර කරන අපද්‍රව්‍ය නිසාවෙන් අධික දුර්ගන්ධයක් පමණක් නොව මැසි උවදුරද සීඝ්‍රයෙන් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ

– කේ.ප්‍රියංකර  

28 views
Main News