18 සන්නි ශාන්ති කර්මය ජූලි 29 වනදා…

July 26, 2017 at 2:06 am | lanka C news
18 සන්නි ශාන්ති කර්මය ජූලි 29 වනදා…

ජාතික  වටිනාකම් හා  ලාංකීය සංස්කෘතිකාංග සංරක්ෂණය කිරීමේ  අදියරක් ලෙස
18 සන්නි ශාන්ති කර්මය ජාතික රූපවාහිනියෙන් ජූලි 29 වනදා රාත්‍රි 10.00 සිට ප්‍රේක්ෂකයන් වෙත පිරිනැමීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පියවර ගෙන ඇත. ජාතික වශයෙන් මෙහි ඇති විශේෂත්වය සළකා එදිනට තැපැල් දෙපාර්තමේන්තුව මගින් සන්නි දහඅටට අදාල මුහුණු දහඅට සඳහා මුද්දර දහ අටක් නිකුත් කිරීමට ද නියමිතය.

තරගකාරි වාණිජ අරමුණු තුළ ගිලී ගිය විද්‍යුත් මාධ්‍ය ක්‍රියාදාමය හමුවේ, දේශීය සංස්කෘතිය සහ මාධ්‍යයේ  සමාජ වගකීම හඳුනාගත් පුරෝගාමී මාධ්‍ය දැවැන්තයකු සේ ජාතික රූපවාහිනිය ස්වකීය සමාජ වගකීම ඉටු කරලීමට නිරන්තරයෙන් ඇප කැප වෙයි.

පසුගිය දා  “කොහොඹයක්කංකාරි” ශාන්ති කර්මය චිරාගත පිළිවෙලට සිදු කර සංරක්ෂණය කිරීමේ කටයුතුද  සාර්ථකව නිම කිරීමට රූපවාහිනිය සමත් විය. එහි දෙවන අදියර ලෙස පහතරට ජන සංස්කෘතියක  “සන්නි යකුම” හෙවත් දහඅට සන්නි ශාන්ති කර්මය එලෙස පටිගත කර සංරක්ෂණය කිරිමට සැළසුම් කර ඇත.

දහ අට සන්නි ශාන්ති කර්මය සම්ප්‍රදායට අයත්, බෙන්තර සම්ප්‍රදාය සංරක්ෂණය වී නොමැති බවට පළ වූ විද්වත් අදහස් සැළකිල්ලට ගෙන ජූලි මස 29 සෙනසුරාදා දින රාත්‍රී 08.00 සිට මෙම ශාන්ති කර්මය ආරම්භ වන අතර, එතැන් සිට රෑ පහන් වන තුරු පූර්ණ සංස්කෘතිකාංගයන් ගෙන් සමන්විතව මෙම   සන්නි යකුම ශාන්ති කර්මය ජාතික රූපවාහිනී පරිශ්‍රය තුළදී රංග ගතවීමට නියමිතය. නමුත් එය රූපවාහිනියෙන් විකාශය වන්නේ රාත්‍රි 10.00 සිටය.  මෙම ශාන්ති කර්මයේ සියලු උපදෙස් සහ අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබන්නේ බෙන්තර සම්ප්‍රදායේ පුරෝගාමී නර්තන ආචාර්යවරයෙකු වන මහාචාර්ය ලයනල් බෙන්තර ගේ විසිනි.

මෙම සංස්කෘතිකමය කාරණය සඳහා ජාතික රූපවාහිනිය සමඟ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ද අත්වැල් බැඳ ගැනීම විශේෂිත කාරණයකි.  ශිල්පීය දායකත්වය ලබා ගැනෙන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ උපදේශකත්වය සහ මෙහෙයවීම මතයි.

මෙම දුර්ලභ සංස්කෘතිකාංගය සියැසින් නැරඹීම සඳහා එදින පස්වරුවේ කොළඹ 07 රූපවාහිනී පරිශ්‍රයට පැමිණෙන මෙන් ජාතික රූපවාහිනිය මෙරට උරුමයන්  පිළිබඳ කැමැත්තක් දක්වන සියල්ලන්ටම සම   සිතින් ඇරයුම් කරයි.  සමාජ සංස්කෘතික විෂයයන් සහ නර්තන කලා පිළිබඳ හදාරන විද්‍යාර්ථින්ට ද මෙම “සන්නි යකුම” නැරඹීම සිය දැනුම් නිම් වළලු පුළුල් කර ගැනීමට මහඟු අවස්ථාවක් වනු ඇත.

– රූපවාහිනී මාධ්‍ය ඒකකය

560 views
Main News