19 වන සංශෝධනයෙන් ජනතා පරමාධිපත්‍ය බලය උදුරාගෙන..

November 25, 2018 at 6:33 am | lanka C news
19 වන සංශෝධනයෙන් ජනතා පරමාධිපත්‍ය බලය උදුරාගෙන..

රටට හෙටක් සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

වසර හතරහමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැක්කේය යන වගන්තිය හේතුවෙන් ජනතාව සතු පරමාධිපත්‍ය බලය උදුරාගෙන ඇත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු මෙම වගන්තිය ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතුව ඇත.

ජනාධිපතිවරයාගේ බලතල වලට වඩා,වසර හතරහමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැක්කේය යන වගන්තිය බලවත් වන්නේ යැයි යමෙක් තර්ක කරන්නේ නම් එමගින් එම තර්කය ගෙන එන පුද්ගලයා පරමාධිපත්‍ය බලය ජනතාවට ය යන පදනමට බරපතල ලෙස හානි සිදු කරන්නේ ය. ව්‍යවස්ථාව ජනතා අවශ්‍යතාව කි. එහෙත් මෙම වගන්තිය මගින් එය පාලක අවශ්‍යතාවක් බවට පත්කරගෙන ඇත.

වසර හතරහමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැක්කේය යන සංශෝධනය මගින් ඕනෑම ආකාරයේ පොල්පොට් පන්නයේ ආණ්ඩුවකට කිසිදු බාධාවකින් තොරව වසර හතරහමාරක් යන තුරු අත්තනෝමතික ලෙස රට පාලනය කිරීමට බලය ලබා දී ඇත. ජනතා විරෝධී ආණ්ඩුවක් පලවා හැරීමට ජනතාවට තිබෙන අයිතිය උදුරා ගැනීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අමු අමුවේ ආබාධිත කිරීම කි.

ජනතා විරෝධී ආණ්ඩුවක් ඕනෑම අවස්ථාවක පලවා හැරීමේ අයිතිය ජනතාව සතු විය යුතුය.

පාර්ලිමේන්තුව විසුරුවා ගැනීමේ බලය පාර්ලිමේන්තුව ට පැවරෙන්නේ යැයි අදාල ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වුවද ජනතා විරෝධී ගමනක් යන ආණ්ඩුවක් කිසි විටෙකත් තමන්ගේ ආණ්ඩුව ගෙදර යවා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තමන් ම පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් සම්මත කරන්නේ නැත.

පරමාධිපත්‍ය බලය ජනතාවට ය යන පදනම මත පිහිටා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති නිවස ඉදිකර ඇති අතර එම පරමාධිපත්‍ය බලය නමැති පදනමට අභියෝග විය හැකි යමක් වෙතොත් එය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති නිවසේ පැවැත්මට බලවත් බාධාවක් බව අවධාරණය කිරීමට කැමැත්තෙමි.

සරත් කලුගමගේ
සංවිධායක – රටට හෙටක්
සමාජ සත්කාරක වැඩසටන

487 views
Main News