2015දි මුළු ලෝකේම අපි සමගයි… අද ලංකාවට ඉන්නේ අසාර්ථක රාජ්‍ය අතළොස්සක් විතරයි… දැන් ගැලවෙන්න බෑ…

April 1, 2021 at 6:48 pm | lanka C news
2015දි මුළු ලෝකේම අපි සමගයි… අද ලංකාවට ඉන්නේ අසාර්ථක රාජ්‍ය අතළොස්සක් විතරයි… දැන් ගැලවෙන්න බෑ…

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2021.03.31 දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී සිංහල භාෂාවෙන් සිදුකල කරුණු දැක්වීම පහත පළවේ.

ජිනීවා ඇත්ත නැත්ත

ආයුබෝවන්…

”මීට අවුරුද්දකටත් වැඩි කාලයක ඉස්සෙල්ල පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් වුනායින් පසුව කෙරෙන ප්‍රථම පුවත්පත් සාකච්ඡාවට සහභාගිවෙලා සිටින මාගේ පැරණි මිත්‍රයන්, මාධ්‍යය නියෝජනය කරන ඔබතුමන්ලා සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා යෝජනාව විශේෂයෙන්ම පසුගිය සති කිහිපය තුළ රට පුරාම දැඩි සාකච්ඡාවට භාජනය වුණා. එහිදී මගේ නමත් දිගින් දිගටම මේ සංවාදයේ දි කියවුනා.

අන්න ඒ නිසා එවකට විශේෂයෙන් 2015 එම යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවේදි හිටපු විදේශ ඇමතිවරයා හැටියට ඒ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් පැහැදිලි කරන්නට අද මෙවැනි පුවත්පත් සාකච්ඡාවක් පවත්වන්නට මම තීන්දු කළා.

2015 දි ශ්‍රි ලංකාව ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරිපත් කරන ලද 30-1 එක්සත් ජාතින්ගේ මානව අයිතින් කවුන්සලයේ යෝජනාව මේ සංවාදය තුළදි විශේෂයෙන්ම රජයට අයිති, රජයට අයිති නැති, ඒ වගේම මේ ගැන කිසිම තේරුමක් නැති කියෙව්වත් නැති පිරිස්, මේක මහා ජාති ද්‍රෝහි ක්‍රියාවක් හැටියටත්, රට පාවා දුන් ක්‍රියාවක් හැටියටත් රටටම පෙන්වන්නට උත්සහ කළා.

M.C.C. ආධාරයත් නැතිවුනේ බොරු කන්දක් නිසා !

මිට ඉස්සෙල්ලත් කිසිම පොලියක් නැතුව අපේ රටට ලැබෙන්න තිබුණ M.C.C. ආධාරයත් බොරු කන්දරාවක් නිසා අපිට අහිමි වුණා.

ඒ වගේම මේ ජිනීවා යෝජනාවේ ඇත්ත නැත්තත් බොරු වලින් අසත්‍යයෙන් වැහෙන්න ඉස්සෙල්ලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ විදේශ ඇමතිවරයා හැටියට කරුණු කිහිපයක් කියන්නටයි අද මම තමුන්නාන්සේලා හමුවෙන්න මෙතැන්ට ආවේ.

විශේෂයෙන් මෙතැන්ට පැමිණි සිටින ජනමාධ්‍යවේදි ඔබතුමන්ලත්, ඒ වගේම මේ මාධ්‍ය හමුව රූපවාහිනිය, පත්තර, සමාජ මාධ්‍ය ඔස්සේ බලන කියවන සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ කරුණාකරලා පැහැදිලිව මම කියන හැම වචනයක්ම අහගෙන ඉන්න. ඊට පස්සේ මම හිතනවා තමුන්නාන්සේලාට තේරුම් ගන්න පුළුවන් වෙයි ප්‍රමාද වෙලා හරි තේරුම් ගන්න පුළුවන් වෙයි වෙස් වෙළා ගත් හොර දේශප්‍රේමින් කවුද? කියලා.

දේශප්‍රේමින් හැටියට පෙනී සිටින මේ රට විනාශය කරාගෙන යන දේශද්‍රෝහින් කවුද? මේ රටේ සැබෑ දේශප්‍රේමින් කවුද? මේ කතාවෙන් පස්සේ තමුන්නාන්සේලාට මේ රටට තීන්දු කරන්නට පුළුවන් වෙයි කියලා.

ජිනීවා කතාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ලියකියවිල්ලක් මෙතනින් පිටවෙලා යන්න ඉස්සෙල්ල තමුන්නාන්සේලාට ලැබේවි.

මම මේ කියන හැම ප්‍රකාශයක් ම සනාථ කරන ලියකියවිලි මම ගෙනත් තියනවා. අවශ්‍ය නම් ඒ සියල්ල මම ඔබතුමන්ලටත් ලැබෙන්න සලස්වන්නම්.

ජිනීවා කතාවේ මුල ! – උතුරේ යුද්දහයේ නිමාව ?

මේ ජිනිවා කතාවේ මූලාරම්භය සිද්ධවෙන්නේ මීට අවුරුදු 11කට ඉස්සෙල්ලා. ඒ කියන්නේ 2009 මැයි මාසයේ 26 වෙනිදා.

මොකද 2009 මැයි 19 වෙනිදා මේ රටේ ත්‍රිවිධ හමුදාව විසින් අවුරුදු 29ක් තිස්සේ ඇදගෙන ගිය යුද්ධය පරාජයට පත් කළා.

ඊට දවස් 3 කට පස්සේ, එකියන්නේ මැයි 23 වෙනිදා එක්සත් ජාතින්ගේ සංවිධානයේ එවකට මහ ලේකම් බැන්කි මුන් ලංකාවට ආවා. මොකද යුද්ධය අවසානය කාලයේදී ශ්‍රී ලංකාවට, අපේ ත්‍රිවිධ හමුදාවට ජාත්‍යන්තරයෙන් විවිධාකාරයේ චෝදනා එල්ල වුණා. එතුමා දවස් තුනක් උතුරු නැගෙනහිර සංචාරය කළා.

ඊට පස්සේ තමයි බැන්කි මුන් එවක‌ට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඇතිකර ගත් එකඟතාවයන්ට අනුව 2009 මැයි 26 වෙනිදා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කලේ.

ඒකාබද්ධ ප්‍රකාශයක් කියන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙපළ ඉදිරිපත් කරන ඉතාමත්ම බරපතළ රාජ්‍ය තාන්ත්‍රික ලියකියවිල්ලක්. ඒ ලියකියවිල්ල මැයි 26 වෙනිදා දෙපැත්තම එකඟත්වයෙන් ප්‍රකාශයට පත්වුනා.

අපේ රට විවිධ අවස්ථාවලදී ජාත්‍යන්තර වශයෙන් අත්සන් කරපු විවිධ යෝජනා තියෙනවා. 1948 පස්සේ හැම ජාත්‍යන්තර යෝජනාවකම වගේ ශ්‍රී ලංකාව අත්සන් කරලා තියෙනවා.

අපි ජාත්‍යන්තර වශයෙන් අත්සන් කරලා තියන ගිවිසුම් උල්ලංඝනය කරමින් යුද්ධයේ අවසන් සමයේ දී මානව අයිතින් උල්ලංඝනය කිරීම් කරලා තියනවද හොයන්න පරීක්ෂණයක් කරන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ඒකාබද්ධ ප්‍රකාශයේ අවසන් පරිච්ඡේදයේ එකඟවෙලා තියෙනවා.

ජාත්‍යන්තර නීතින් මේ වෙලාවේ දී උල්ලංඝනය වුණාද නැද්ද කියලා ‌සොයා බලන යාන්ත්‍රණයක් ඇති කරන බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, බැන්කි මුන් කියන පුද්ගලයට නෙමෙයි, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්ට පොරොන්දු වුණා. ඒකේ තව දිගට තියෙනවා ඇතිකර ගත්තු එකඟතාවයන් රැසක්ම.

ඊට පස්සේ මොකක්ද වුණේ ? බැන්කි මුන් ඇවිල්ල දවස් තුනකින් ලංකාවේ නම කියලා විශේෂ යෝජනාවක් ගේනවා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට. කවදාවත් අපට මෙහෙම වෙලා නැහැ. 26 වෙනිදා ලංකාවේ තත්වය ගැන කතා කරන්න විශේෂ යෝජනාවක් ගේනවා.

එවකට තිබුණ රජය වත් තානාපතිවරයා වත් ඒක නවත්වගන්නට උත්සහ කළෙත් නැහැ. ඒක නවත්ව ගන්න උත්සහ නොකර අපේ රජය විසින් ඒ පැවතුන විශේෂ සාකච්ඡාවට අපේම යෝජනාවක් කියලා ලංකාවේ යෝජනාව ඉදිරිපත් කළා. අපේ 30- 1 යෝජනාව වගේ මේ යෝජනාව S 11-1 .

මේක ඇත්තෙන්ම බය වෙච්ච පාර ගෙනාවත් බොහොම හොඳ යෝජනාවක්.

මේ යෝජනාවේ ප්‍රධානතම දේ තමයි, අපි කියනවා අපි එක්සත් ජාත්න්ගේ සංවිධානයේ මහ ලේඛම් ගේ පැමිණීම වෙල්කම් කරනවා, අනිත් එක ඒකෙම කියනවා ජනාධිපතිතුමාගේ ආරාධනය පරිදි පැමිණීම ගැන අපි සංතෝස වෙනවා කියලා.

ඊට පස්සේ කියනවා, ඒ දෙගොල්ලන්ගේ එකඟත්වයෙන් නිකුත්කරපු ඒකාබද්ධ නිවේදනයට සම්පූර්ණයෙන්ම එකඟත්වය පළ කරලා ඒ අය ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක එකතුවෙලා යුද්දයෙන් පස්සේ රට ගොඩදාන්න, ඒ සඳහා ජාත්‍යන්තරයේ මුදල් ආදිය ලබා ගෙන සියලුම මානව අයිතින් ගොඩ නඟන්නට ආරක්ෂා කරන්නට පොරොන්දු වෙනවයි කියලා පොරොන්දු වෙනවා. ඒකේ තව යාන්ත්‍රණයක් ගැන කතා කරනවා.

13 වෙනි සංශෝදනය ජාත්‍යන්තර ප්‍රශ්නයක් කිරීම

අනිත් එක ඉතිහාසයේ ප්‍රථම වතාවට 13වෙනි සංශෝදනය ජාත්‍යන්තර ගත කරෙත් මෙන්න මේ 14 තිබුන යෝජනාවෙන්. තව දුරටත් 13වැනි සංශෝදනය ඉස්සරහට ගෙනියනවා කිව්වේ එතැනදී.

මොකද එතකන් ඒක අපේ වැඩක්. අපේ රටේ ගත්ත තීන්දුවක්, අපේ රටේ ගත්ත දේශපාලන ක්‍රියාවලියක්. ඒකට ඇත්ත වශයෙන්ම ඉන්දියාවට යම් අයිතියක් තිබුණා කතා කරන්න. නමුත් අපි දෙගොල්ලො කතා කරගෙන ඒක කරත් ජාත්‍යන්තරයටම ගිහිල්ලා ලංකාවේ 13 වෙනි සංශෝදනය එක්සත් ජාතින්ගේ ක්‍රියාවලියක් බවට පත් කළේ 14 මේ යෝජනාවළිය.

හැබැයි ඉතින් අපි දන්නවා මේ අයගේ පොරොන්දු ගැන. අපි දන්නවා. හැබැයි ලෝකේ දැනගෙන හිටියේ නැහැ. හැබැයි ලෝකෙත් දැන ගත්තා වැඩි කල් යන්න ඉස්සෙල්ලා දැන් මේක 2009 මේවා කළේ.

2010 ආවා. 2011 ආවා මේ කියපු එකක්වත් වෙන්නේ නැහැ. එන්න එන්නම තත්වය නරක් වෙනවා.

මේ රටේ තිබුණ මානව අයිතින් තව තවත් විනාශ වෙනවා. මේ රටේ අධිකරණය තව තවත් එක පුද්ගලයෙකුගේ අණසකට යටත් වෙනවා.

මේ කට්ටිය හංඟන ලොකුම රහස ?

ඊට පස්සේ 2012 ඉඳලා ආයිමත් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් රටවල් එකතු වෙලා ලංකාව වෙනුවෙන් යෝජනා දැම්මා. 2013 ත් දැම්මා.

ඊට පස්සේ මම මෙතැන්ට එන්නම්. මේ කට්ටිය හංඟන ලොකුම රහස තමයි 2014 දි ලංකාව පොරොන්දු වෙච්ච දේ නොකරන නිසා අන්තිමට බලාගෙන ඉන්න බැරුව එක්සත් ජාතින්ගේ සංවිධානය මේ ඊයේ පෙරේදා වගේම ඊටත් වඩා බරපතළ එහෙම නැත්නම් ඒ හා සමාන බරපතළ ජාත්‍යන්තර පරික්ෂණයක් ලංකාව ගැන කරන්න ලංකාව කැමති වුණත් නැති වුණත් එවැනි පරික්ෂණයක් කරන්න තීන්දු කළා.

එම යෝජනාව වැඩි ඡන්ද විශාල ප්‍රමාණයකින් ජයග්‍රහණය කළා.

මම පෙන්වන්නම් ඡන්දේ දීපු ස්වරූපයෙන්ම අපේ රටට වෙච්ච දේ මොකක්ද කියලා. 2009 අර කියපු යෝජනාව අර බැන්කි මුන් ගියගමන් රෙසලූෂන් ගෙනාපු වෙලාවේ ලංකාවේ යෝජනාව. එකෙන් කිව්වා පළාත් සභා ක්‍රමය දිගට ගෙනියනවා තවත් ශක්තිමත් කරනවා ,මානව අයිතින් තවත් ශක්තිමත් කරනවා කියලා පටන් ගත්තා.

හැබැයි අර මම කියපු විදියට එකක්වත් හරි ගියේ නැහැ විතරක් නෙවෙයි ඊට පස්සේ ආණ්ඩුවෙන් විවිධාකාර කොමිෂන් පටන් ගත්තා ඒ වෙනුවට, ජාත්‍යන්තරය පෙන්වන්න.

මෙන්න අපි මොන මොනවා හරි කරනවා කියලා පටන් ගත්තා. උගත් පාඩම් කොමිෂන් තිබුණා, පරනගම කොමිෂම තිබුණා.

මේ හැම කොමිසමක් ආණ්ඩුවෙන් පත් කළත් ඇත්තටම මේ කොමිසමුත් කියන්න පටන් ගත්තා යම් යම් මානව හිමිකම් කඩවීම් ගැන.

පරනගම කොමිසම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පත් කරපු කොමිසමක්. ඒ කොමිසම කියනවා සුදු කොඩි නඩුව, චැනල් 4 රූපවාහිනියෙන් පෙන්වපු ඒ දර්ශණ, එතකොට මුළු බස් එකේ හිටපු සිර කාරයන් නැතිවීම, ඉස්පිරිතාලවලට බෝම්බ ගැස්සවීම මෙවැනි දේවල් චෝදනා තියෙනවා මේ සම්බන්ධයෙන් ස්වාධීන විනිසුරුවන්ගේ පරීක්ෂණයක් වෙන්න ඕනැයි කියලා පරනගම කොමිසමත් කියන්න පටන් ගත්තා. එතකොට මොකද මේක ඇත්තනම්, මෙවැනි දෙයක් වුණානම්,… ඒක හොයලා බලලා අපි ඔප්පු කරන්න ඕන. මේක වෝ ක්‍රයිම්ස් එහෙම නැත්නම් යුධ අපරාධයක් වෙනදේවල් කියලා පරනගම කොමිසම කිව්වා.

දැන් මිත්‍රවරුනි, දැන් පොඩ්ඩක් හිතන්න.

අපි ගමේ ඉන්න කොට අපෙ අසල් වැසියෙක් ඇවිල්ලා අපට චෝදනා කරොත්, අන්න ඊයේ රෑ ඕගොල්ලන්ගේ ගෙදර මර විළාපයක් මට ඇහුණා ඕගොල්ලන්ගේ පුතෙක් සහෝදරයෙක් විළාප දෙනවා ඇහුණා මොනවා හරි වුණාද? කවුරුහරි මැරුණද? මැරුවද කියලා අසල් වැසියට අහන්න පුළුවන්. එතකොට අපට තියෙන්නේ අසල් වැසියාට බැණලා කුනුහරුප කියලා බැනලා එලව ගන්න එක නෙවෙයි අපි පොලිසිය ගෙන්වලා පොලිසියට කියනවා ස්වධීන පරීක්ෂණයක් කරලා බලන්න මෙහෙම දෙයක් වුණාද කියලා, එහෙම දෙයක් වෙලාද බලලා මගේ කීර්ති නාමය මට බේරලා දෙන්න කියලා.

නමුත් එහෙම දෙයක් වුණේ නැති නිසා, බොරුව දිගටම ගෙනිච්ච නිසා ..අපිව රවට්ටන්න ලේසි වුණාට ජාත්‍යන්තරය රවට්ටන්න ටිකක් අමාරුයි.

ඉතින් මොකක්ද වුණේ ? අර 2009 දි මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 45න් ලංකාවට සහයොගය දෙන්න රටවල් 29ක් ඉදිරිපත් වුණා. 2009, 2012 අපි බොරු කියන බව දැනගෙන අපේ ජාත්‍යන්තර යාළුවොත් අපිත් එක්ක හිමින් හිමින් ඈත් වුණා. 2012 දි රටවල් 15 දක්වා අඩු වුණා. 2013 දි 13 දෙනා දක්වා අඩු වුණා. 2014 දි 12 දෙනා දක්වා අඩු වුණා. 2014 වෙනකොට යාළුවන් 29 ය එකියන්නේ හිටපු රටවල් 29 ය 12 දෙනාට බැස්සා. ඊට පස්සේ මේ සැරේ දැන් අපි 11ට බැහැලා තියෙනවා.

”2015දි මුළු ලෝකේම අපිත් එක්ක එකතු වුණා.”

2015දි මුළු ලෝකේම අපිත් එක්ක එකතු වුණා. කවුරුවත් විරුද්ධ වුණේ නැහැ. චීනේ විරුද්ධ වුණෙත් නැහැ. පකිස්ථානෙත් වීරුද්ධ වුණෙත් නැහැ. ඊත්‍රියාව ඔය කියන ඔක්කෝම ඒකාධිපති රාජ්‍යය විරුද්ධ වුණෙත් නැහැ. කවුරුවත් විරුද්ධව ඡන්දයක් ඉල්ලුවෙත් නැහැ.

දැන් උදාහරණයක් හැටියට මේපාර විරුද්ධව ඡන්දෙ ඉල්ලන්න ලංකාව වෙනුවෙන් නැගිට්ටේ පකිස්ථානයයි, චීනයයි. 2015 දි චීනය නැඟිටලා අපට ප්‍රශංසා කළා.

මෙන්න මේ වගේ තත්වයක් තියෙන්නේ.

” දැන් අන්තිමට ලංකාවට ඉතුරු වෙලා තියෙන්නේ ඇත්ත වශයෙන් ම ලෝකේ තියෙන අසාර්ථක රාජ්‍ය අතළොස්සක් විතරක්. එරිත්‍රියාව කියන්නේ අපි දන්නවා මොන වගේ රටක්ද කියලා. වෙනිසියුලාව කියන්නේ ඒකාධිපති රාජ්‍යයක්. ලංකාවට තියෙන ආදරය නිසා නෙවෙයි. ඒගොල්ලන්ගෙන් අපිට වාසියකුත් නැහැ. අපෙන් ඒගොල්ලන්ට වාසියකුත් නැහැ. මෙතැන්දි අපට ඡන්දෙ දුන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි. අපට දුන්නොත් ඒගොල්ලන්ගේ රටවල් වලට ඇවිල්ලා මේ විදියට හොයන්න පාර කපයි කියලා බයට. ඒක තමයි එකම හේතුව.

ඉතින් මෙන්න මේක තමයි බොහොම කෙටියෙන් කිව්වොත් 2014 දක්වා වුනේ.

2014 දි මොකක්ද වුණේ, නිකම්ම යෝජනාවක් නෙවෙයි. ලංකාවේ යුධ අපරාධ හොයලා යම්කිසි දවසක දඩුවම් කරන්න පුළුවන් වෙන විදිහට ජාත්‍යන්තර පරීක්ෂණයක් පත් කළා ලංකාව විරෝධය නොතකා.

2014 දි ලංකාව විරුද්ධ වුණා තමයි. හැබැයි ඒ විරුද්ධ වීමට අපිත් එක්ක එකතු වුණේ 12යි. අපිට විරුද්ධව 23 දෙනෙක් හිටියා. ඡන්දෙ පාවිච්චි නොකරපු 12 දෙනෙක් හිටියා.

මෙන්න මේකයි තත්වය එතැනින් නැවතුණේ නැහැ. විශේෂ කොමිසමක් පත් කළා. තමන්ගේ කාර්යාලයේ ලංකාව ගැන හොයන ඒ කොමිසම පටන් ගත්තා.

ඒ අවුරුදෙම 2014 ජූනි මාසයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනිදන් පිල්ලේ මහත්මිය 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළා.

නොබෙල් සාම ත්‍යාගලාභී සහ පින්ලන්තයේ හිටපු ජනාධිපති මාර්ටි අතිසාරී, නවසීලන්තයේ හිටපු මහාධිකරණ විනිසුරු සිල්වියා කාට්රයිට්, පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමයේ හිටපු සභාපති සහ එරට හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අස්මා ජහන්ගීර් යන අය අදාළ කමිටුවේ විශේෂඥයන් වශයෙන් පත්කළා.

මෙන්න මේ තුන් දෙනාගේ පළවෙනි කාර්ය භාරය වුණේ 2015 මාර්තු මාසයේ සැසි වාරයට ලංකාව ගැන පළවෙන වාර්තාව ලබා දෙන්න.

ඒ වාර්තාව මෙතන තියනවා. කාටහරි එක අවශ්‍යනම් මගේ කාර්යාලයට කියන්න.. පාවිච්චි කරනවානම් විතරක් දෙන්නම්.

තවත් භයානක කතාවක් !

හැබැයි මේකේ තව භයානක කතාවක් තියෙනවා. මේ පරීක්ෂණයට කිව්වේ OISL පරීක්ෂණය කියලා. පරීක්ෂණයේ විශේෂයන් තුන්දෙනාට තමන්ට කැමති වෙලාවක ලංකාවට එන්න යන්න මුක්තිය පමණක් නෙමෙයි, අවශ්‍ය තොරතුරු ලබා ගන්න බලයත් ලබාදීලා තිබුනා. ඒක එක්සත් ජාතින්ගේ සංවිධානයේ නීති යටතේ අපිත් අත්සන් කරපු නීතියක්. ඒ නිසා ඒ නියෝගයට අපි බැඳිලා ඉන්නවා.

මානව අයිතින් කොමිසමේ කාර්ය මණඩලයට තමන්ට කැමති වෙලාවට ලංකාවට ඉන්වෙස්ටිගේෂන් කරගෙන යන්න ඉඩ දෙන්න කියලා මේකේ පැහැදිලිව කියලා තියෙනවා. අන්තිම වාක්‍යයේ පොඩි බයකිරිල්ලකුත් කරනවා. එතැනදී ලංකාවට කියනවා ඔයා මේක කරන්න බැඳිලා ඉන්නවා, මේ අයට රටට ඇවිල්ලා මේ පරික්ෂණ කරන්න කියලා.

ඒ කියන්නේ අපට ගැලවෙන්න බැරි තත්වයක් ඇති කරලා. ඇත්ත වශයෙන් මාර්තු මාසයේ මේ වාර්ථා පළවෙනි වාර්ථාව පළවෙනි පියවර විතරයි තිබ්බේ.

මේ වාර්තාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සබාගත කළානම් ගොඩාක් වෙලාවට අපේ රාජ්‍ය නායකයන්ට පිට රටකට යන්න බැරි වෙනවා. සම්බාධක ජනතාවට නොවුනත් ප්‍රධානින්ට එන්න තිබුණා.

මේ වගේ බරපතළ තත්වයක් තියෙද්දි සම්පූර්ණයෙන්ම අපේ රටේ සෛරීභාවය පිට රටවල් වල විකුණලා තිබුණ මොහොතක තමයි මේ රටේ සුළු කාලෙකට හෝ වාසනාවකට ලියා ගන්න, මම කියනවා වාසනාවකට 2015 ජනවාරි 8 වෙනිදා ඒ රාජපක්ෂ ආණ්ඩුව වෙනස් වුණේ.

ආණ්ඩුව වෙනස් වෙලා 13 වෙනිදද කොහෙද මම විදේශ ඇමතිවරයා වුණා. මම ඉස්සේල්ලම ඇත්තන්ම කියන්න ඕන වුණේ දිවුරුම් දීලා එදා හවස ගියේ මගේ මිත්‍ර ඉන්දියාවේ විදේශ ඇමතිතුමිය බලන්න සුශ්මිතා මැතිනියව බලන්න.

මම පැය 24න් ලංකාවට ඇවිල්ලා පැය 72ක් ඇතුළත ජිනීවා ගියා. ජිනීවා නුවර එවකට හිටපු ප්‍රධානියා මානව හිමිකම් භාර කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු හම්බ වෙන්න ජිනීවා නුවරට.

ජිනීවා නුවරට ගිහිල්ලා මම එතුමාගෙන් ඉල්ලීම් කිහිපයක් කලා.

පළවෙනිම ඉල්ලීම තමයි කරුණාකරලා දැන් අළුත් ආණ්ඩුවක් තියෙන්නේ අර 2014 මාර්තු මාසයේ රාජපක්ෂ ආණ්ඩුවට අදාල යෝජනාවලිය සභාසම්මත කරන්න එපා අපිට ලැබිලා තියෙනවා ජන වරමක්, තමුන්නාන්සේලා ට මතකයි ජනවරම මොකක්ද කියලා ඒ අනුව අපි කටයුතු කරනවා කියල.

ඒ නිසා අපරාධ සම්බන්ධව චෝදනා තියෙනවා නම් ඒවා ජාතික අධිකරණ යාන්ත්‍රණවලින් තමයි මේවා සොයන්නේ කියලා අපි කිව්වා

මම මේ ෆයිල් මිටියත් කිහිල්ලේ ගහගෙන එතුමාට ගිහිල්ලා කිව්වා බයවෙන්න එපා අපි අපේ අධිකරණය පවා ස්වාධීනව පත්කරනවා කියලා ඒ වෙනකොට මේ රටේ අධිකරණය ලෝකෙම කතාබහට ලක්වලො තිබුණේ ශිරාණි බණ්ඩානායකව එලවලා, ඉතාමත්ම භයානක තත්වයක් තිබුනේ.

දෙවෙනි එක අපි කිව්වා අපිට කල් දෙන්න ඊළඟ සැසිවාරය වෙනකම් , සැප්තැම්බර් මාසය වෙනකන් අපි අපේම යෝජනාව අපි මේ පොරොන්දු වෙච්ච ස්වාධීන යුඩිෂල් මිකෑනිසම් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක ඊළඟ සැප්තැම්බර් මාසේ සැසිවාරය වෙනකොට හදලා ගේන්නම් කියලා ඒ අයවම කැමති කරගත්තා.

මිත්‍රවරුණි අපි ඒ විදිහට කටයුතු කරලා තමයි මේ ප්‍රශ්නය යාන්තම් ගොඩදාගත්තෙ.

එත්, අපිට මතකයි ඒ ඡන්දෙදිත් මේ වගේ පරීක්ෂණයක් අපි නැතුව ලංකාව ගැන පරීක්ෂණයක් දැම්මම කරනවා කියලා මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිතුමා හැමතැනම හොටු පෙර පෙර අඬ අඬ දිව්වා. විදුලි පුටුවක් එනවා මාව විදුලි පුටුවේ දාන්න හදනවයි කියලා.

අපි දන්නවා ජාත්‍යන්තරයේ විදුලි පුටුව නැහැ. ඔය ඇමෙරිකාවේ ප්‍රාන්ත කීපයක ඇරෙන්න.

ඒ කිව්වේ මේ තිබුණ පරීක්ෂණයට හොඳටම බයවෙලා මේ රටේ ජනතාවට පරීක්ෂණය නිසා බයවුණා කියන්නේ නැතුව වෙන කතාවක් කිව්වා.

නමුත් මම කිව්ව විදිහට අපි ඒක පරාජය කරලා ඊට පස්සේ අපි ලංකාවේ අපි මේ යෝජනාව හැදුවා. හැබැයි ඒ යෝජනාව හදන්න අපි අපේ මිත්‍රයන් වන ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, යූකේ වගේ රටවලුත් එකතු කරගත්තා.

”යෝජනාවලිය කෙටුම්පත්කලේ ජනාධිපති මෛත්‍රීපාල දැනුවත්ව …”

මට තාම මතකයි 2015 සැප්තැම්බර් මාසයේ මම නිව්යෝර්ක් නගරයේ හිටියේ අතිගරු මෛත්‍රීපාල ජනාධිපතිතුමා, විදේශ ලේකම්, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු වගේ අයත් එක්ක.

ඒ වෙනකොට අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සැප්තැම්බර් මාසයේ භාර දෙන්න තියෙන ඒ යෝජනාව සකස් කරමින් හිටියේ. එවකට හිටපු ඇමෙරිකන් තානාපති සහ බොරිස් කියන බ්‍රිතාන්‍ය තානාපතිතුමාත් අරලියගහ මන්දිරයට ගෙන්නගෙන, අවසාන ඩ්‍රාෆ්ට් එක ඒගොල්න්ගේ සම දායකත්වය හදමින් හිටියේ.

ඒ හදන හදන හැමවෙලේම වචනයක් වෙනස්වුණත්, ඇලපිල්ලක් වෙනස් වුණත් මම නිව්යෝක් වල ජනාධිපතිතුමත් එක්ක ඉන්න වෙලේ මට කෝල් කර කර කිව්වම , මම ජනාධිපතිතුමගේ කාමරයට ගිහිල්ලා පැයෙන් පැයට, පැය බාගෙන් බාගෙට කියනවා මෙන්න ජනාධිපතිතුමා මේක මෙන්න මෙහෙම පොඩි වෙනසක් වුණා මේක කොහෙමද ලියන්නේ කියලා.

අවසානයේ දී මම පැහැදිළිවම කියනවා, පසුව එසේ නොවෙයි කිව්වත් ජනාධිපති සිරිසේන 30/1 යෝජනාවේ හැම වචනයක්ම දැක්කා සහ අනුමත කරා. අපි සැප්තැම්බර් මාසේ වෙනකොට සැසිවාරයට ඒක භාර දුන්නා. මම කියපු විදියට ඒ යෝජනාවට කවුරුවත් විරුද්ධ වුණේ නැහැ.

චීනය රුසියාව ඔය ඔක්කොම රටවල්, අපි ඇමෙරිකාව එංගලන්තය එක්ක පටන් ගත්ත පසුව කාලීන වෙනකොට රටවල් 40 ක් ලංකාවට සම අනුග්‍රහය දැක්වුවා බලකඳවුර මොනව වුණත්.

ඒක ඇමෙරිකන් බලකඳවුර වෙන්න පුළුවන්, චීන බලකඳවුර වෙන්න පුළුවන් රුසියන් බලකඳවුර වෙන්න පුළුවන්, ඉන්දියාව, ජපානය, යුරෝපා සංගමය වෙන්න පුළුවන්, ඒ අය ඔක්කොම අපි වටා රොක් වුණා.

”ඇත්තවශයෙන්ම මම ආඩම්බරයෙන් කියනවා මේ රටේ ඉතිහාසයේ විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය මොහොත තමයි ඒ මොහොත කියලා.”

මේ බලන්න 2016 නිදහස් දවසේ අපේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කරපු කතාවේ මම පොඩි කෑල්ලක් කියනවා

“අපිට මේ ලැබී ඇති අවස්ථාව අපි විසින් විශේෂයෙන් අගය කළ යුතු අවස්ථාවක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හරහා අපිට ඇවිත් ඇති යෝජනා සම්බන්ධයෙන් වැරදි අර්ථකතනයක් දෙනවා. මම ඉතා පැහැදිළව කියනවා ඒ යෝජනා සඳහා අපි මුහුණ දෙන්නේ අපේ රාජ්‍ය ගෞරවය ආරක්ෂා කිරීම සඳහා, අපේ රටේ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා, අපේ ආරක්ෂක හමුදාවල ගෞරවය ආරක්ෂා කිරීම සඳහා, සහ ලෝකය පිළිගත්ත හමුදාවක් හැටියට අපේ ත්‍රිවිධ හමුදාවන් පත්කර ගැනීම සඳහා බව. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ සියලු ජාත්‍යන්තර සංවිධාන සහ සියලු රාජ්‍යයන් අපේ රට ගෞරවයෙන් පිළිගැනීම සඳහා ඒ යෝජනාවට මුහුණ දීමට අපි ඉතා ඉවසීමෙන්, සංයමයෙන්, හික්මීමෙන් ඒ සඳහා ක්‍රියාත්මක කරනවා කියන එක ඉතාමත්ම පැහැදිළිවම කියන්න ඕන.”

එතුමා 2015 මේ ගමන්මඟ යන මැයෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙදි පැවති විද්වත් සාකච්ඡාවෙදි මොකද කියන්නේ…

“රට ගොඩ නැගීමේ කාර්යයේදී මම සැමවිටම ක්‍රියා කරන්නේ ජාත්‍යන්තර මිත්‍ර සම්බන්ධතාවයන් ආරක්ෂා කරගෙන, ඒ තුළ මේ රටේ ඉතිරි අනාගතය සාර්ථක කරන්න හොඳ රටක් ගොඩනගන්න, යුද්ධයක් නැවත ඇති වීම වලක්වා ගැනීමට හැකි සෑම ක්‍රියාමාර්ගයන් ගැනීම සංහිඳියාව, සහ යහපාලනය යන වචනය බොහෝ විට අපේ රටේ සමහර අය තේරුම් ගත් නැති නිසාදෝ බොහෝ වෙලාවට අවඥාවට ලක්කරනවා, අගෞරවයට ලක්කරනවා. නමුත් මේ රටේ අනාගතය පැහැදිළි ලෙසම තියෙන්නේ, සංහිඳියාව ශක්තිමත් කිරීම සහ යහපාලන ප්‍රතිපත්ති සාර්ථක කිරීමෙන්, යතාර්ථවාදී කිරීමෙන් කියන එකයි මම දැඩි ලෙස විශ්වාස කරන්නේ. එම නිසා අපි කරන කාර්යය පහසු කාර්යක් නොවෙයි. අද ලෝකේ කිසිම රටකට තනියම ජීවත්වීමට පුළුවන් කමක් නැහැ.”

වර්තමාන පාලකයන් මෙන්න මේක හොඳට දැනගන්න ඕන. වර්මාන පාලකයන් මේ සිරිසේන ජනාධිපතිතුමා කියපු එකට ඇහුම්කන් දෙන්න ඕන.

ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් වීම තුළ තමයි රටක දියුණුවක් තියෙන්නේ. අවසානයේදී අපිට විරුද්ධ වෙච්චි සියලු දෙනා මේ සැරේ, ඒ අයත් එක්ක තමයි අපේ ට්‍රේඩ් ගනුදෙණු සියයට හැටපහක් හැත්තෑපහක් යන්නේ. අපිට ඉරිසියාවක් ඒගොල්ලන් එක්කත් නැහැ අපිත් එක්කත් නැහැ ඔය කියපු රටවල් එකක්වත්. මේක තමයි යථාර්තය.

තව එකක් කියනවා අපි 2016 මාර්තු 25 වෙනිදා රණවිරුසේවා රැස්වීමකදී අරලියගහ මන්දිරයේදී තිබුණ ජනාධිපතිතුමා එතනදිත් හරිම වැදගත් කතාවක් කියනවා.

(අදාල ප්‍රකාශය ඉංග්‍රීසියෙන් කියවයි)

‘යුද්ධයක් කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි:

මොකද යුද්ධයක් කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ලෝකයේ ඕනෑම රටක දියුණුම රටක වුණත් යුද්ධයක් කරනකොට විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානය වගේ මිලේච්ඡ ත්‍රස්ථවාදී පිරිසක් එක්ක යුද්ධයක් කරනකොට, අපිට දැන් ද්‍රොහීන් කියනවා. තමුන්නාන්සේලාට මම අහම්බෙන් හම්වුවෙච්ච දෙයක් දැන් ගෙනාව පෙන්නන්න.

මම සුදු නෙළුම් ව්‍යාපාරය ආරම්භ කරපු දවසේ ඉඳලම එල්ටීටීඊ සංවිධානයේ ඉලක්කයක්. මොකද සුදු නෙළුම් ව්‍යාපාරයෙනුත් අපි කතා කරේ අන්තවාදය පරාජය කරන්න ඕනැයි කියලා, දෙමළ අන්තවාදය වෙන්න පුළුවන්, මුස්ලිම් අන්තවාදය වෙන්න පුළුවන්, සිංහල අන්තවාදය වෙන්න පුළුවන්.

මේක පරාජය කරලා ශ්‍රී ලංකා දේශයක් ගොඩනැගිමේ අරමුණින් තමයි අපි සුදු නෙළුම් ව්‍යාපාරය පටන් ගත්තේ.

ඒ වෙලාවේ එල්ටීටීඊ කාරයන්ට ඒක ඇල්ලුවේ නෑ. ඒගොල්ලන්ට ඕන වුණේ වෙනම රාජ්‍යයක්. ඔය කතාව ගිහිල්ලා කියනවට අකමැති වුණා.

මම අපේම සිංහල ජාතිවාදීන් විනාශ කරපු යාපනයේ පුස්ථකාලය යළි ගොඩනංවන්නට පොතයි ගඩොලයි ගෙනැල්ලා ආරාම්ක කරනකොට, පීටර් කෙනමන් වගේ නායකයන් තමන්ගේ සම්පූර්ණ ලයිබ්‍රරි එක මේකට පූජා කරනකොට භාර දෙනකොට ඒ ගොල්ලන් කැමති වුණේ නෑ.

අන්න ඒ නිසා තමයි මේ ලංකා ඉතිහාසයේ ගැසට් නිවේදනය 2001 පැවති මහමැතිවරණයේදී, අපි 2000 මහමැතිවරණයක් තියලා, ඒකේ කොටසක් යූඇන්පීයට ගියා. ආයිමත් 2001 එවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති. එතකොට විදේශ රටකින් අපිට තොරතුරු එව්වා පස් හයදෙනෙක් ඡන්ද පොලේදි මරන්න ඉන්නවා කියලා එල්ටීටී එක.

ඒ නිසා අපිට කිව්වා ඡන්ද පොලට යන්න එපා කියලා. විශේෂ ගැසට් නිවේදනයකින් ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩානාරයක කුමාරණතුංග, රත්නසිරි වික්‍රමනායක, ලක්ෂ්මන් කදිරිගාමර්, මංගල සමරවීර, අනුර බණ්ඩාරනායක, අනුරුද්ධ රත්වත්තේ. අපි හය දෙනාටම කිව්වා එදා එලියට බහින්න එපා කියලා. මාතර දිසාපතිතුමා ගෙදරට ඇවිල්ලා මගේ ඡන්දය ගත්තේ.

ඒ තරම් අපි එල්ටීටීඊ ඉලක්ක බවට පත්වෙලා හිටියේ පස්සේ ඊටත් වඩා තරහ වුණා.

මහින්ද රාජපක්ෂගේ විදේශ ඇමතිවරයා හැටියට එවකට 2006 මම බොහොම අමාරුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මගේ පෞද්ගලික තිබුණ මිත්‍රත්වයන් එකතු කරගෙන එවකට හිටපු සහකාර ලේකම් නිකලස් බර්න්ස් මහත්තයාටත් කියලා මුළු යුරෝපයේම තහනම ඇපි ඇති කරගත්තා.

යුරෝපයේ තහනම් කරේ 2006 . කදිරගාමර් ඇමතිතුමා තමයි ඉස්සෙල්ලම තහනම ගත්තේ ඇමෙරිකාවෙන් සහ එංගලන්තයෙන්, ඊට පස්සේ ඉන්දියාවත් තහනම් කරා.

නමුත් මේ අයගේ ඔක්කොම මුදල් ආවේ යුරෝපයට. ප්‍රංශයෙන්, ස්විට්සර්ලන්තයෙන්, ජර්මනියෙන් ඔය හැමතැනින්ම.

බොහොම අමාරුවෙන් අපි ඒ තහනම ගත්තේ ඇත්තවශයෙන්ම අපි ඇමෙරිකාවටත් ස්තූත්වන්ත වෙන්න ඕන ඒක ලබා ගැනීම සම්බන්ධයෙන්.

අන්න ඒ නිසා තමයි ඔය අන්තවාදී දෙමළ කොටස් අපිත් එක්ක ඒ දවස්වල ඉඳන් තරහයි. නමුත් අපිට පුළුවන් වුනා ඒ කොටස්වලිනුත් කොටසක් මධ්‍යස්ථ තැනකට ගේන්න. ඉතින් මේවා අපි මෙච්චර කරලා තියෙනකොට තමයි අපි ජාති ද්‍රෝහී අරවා මේවා කියලා කියනනේ.

මේක ලේබල් ගගහ දුවන ආණ්ඩුවක්, කිසිම දැනුමක් නෑ.. අත්දැකීම් නෑ. එකම දේ බොරු කියලා ටියුෂන් මාස්ටර්ස්ල ටිකක් අල්ලගෙන, වොයිස්කට් සාදුලා ටිකක් අල්ලගෙන රූපවාහිනී මාධ්‍යවලින් සම්පූර්ණ බොරු කියලා අහිංසක ජනතාව නොමඟ යැවීම තමයි මේ අයගේ මාතෘකාව.

කොහොම නමුත් 2015 දි මම කියපු විදිහට 2015 මේ යෝජනාව ඉදිරිපත් කරලා. අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා විතරක් නෙවෙයි ඊට පස්සේ මේ ජයග්‍රහණයෙන් රටට වාසි විශාල ප්‍රමාණයක් ලැබුණා. මට එක පාරටම ඔලුවට එන ප්‍රධානම තුන තමයි යළි වතාවක් GSP+ සහනය ලැබුණ. රැකී රක්ෂා ලක්ෂයකට වඩා අපිට අහිමි වුණා 2013 මේක අයින් කරනකොට.

ඒක අපි ලබා ගත්තා යලි කර්මාන්තශාලා විවෘත කරගෙන අර ඉන්න තරුණ තරුණියන්ට රැකී රක්ෂා ලබා ගන්න හැකි වුණා.

අපි එනකොට යුරෝපීය සංගමය විසින් ලංකාවේ ධීවර කර්මාන්තයට යුරෝපයට මාළු විකිණීමත් තහනම් කරලා රෙඩ් කාඩ් එකක් දීල තිබුණා.

මම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ යුරෝපීය සංගමයේ නායකයන් හමුවෙලා සාකච්ඡා කරලා, එතුමත් සාකච්ඡා කරලා ඒ ධීවරයන්ගේ තිබෙන වරප්‍රසාද පවා අපි ඉතා ඉක්මනින් ලබා ගත්තා.

ඒ විතරක් නෙවෙයි අපිට හැම විටම හිටියේ දක්ෂ හමුදාවක්, නිර්භීත හමුදාවක්. ඕනම හමුදාවක වගේ එක්කෙනෙක් දෙන්නෙක් ඇති අමාරු කාරයෝ , ඒ අය ගැන අපි මේ පරීක්ෂණවලදී බලන්නම්, පොදුවේ ගත්තම අපට ඉන්නේ ලෝකයේ සිටින විනයානුකූලම හමුදාවක් කියලා, විදෙස් සාකච්ජාවලදී මම ඕන කියල තියනවා. ඒ ගැන ලියකියවිලි රාශියක් මෙතනත් තියනවා අපි ලියපු ඒවා.

එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා සමන්ත පවර හිටියේ. මොකද ඒ සාමසාධක හමුදාව ඉන්නේ එක්සත් ජාතීන් යටතේ.

අන්තිමට ලංකාවේ හමුදාව ඒ සාමසාධක කණ්ඩායම් වලට ඇතුළත් කරගන්න අපිට පුලුවන් වුනා. ඇත්තවශයෙන්ම ඒ අයට ඉතා හොඳ දීමනා ආදිය ලැබෙනවා හමුදාවත් ඒ ගැන බොහොම සන්තෝෂ වුණා.

අපිට ලිඳක තනිවෙච්ච ගෙම්බො වෙන්න බැහැ. අපේ මානසිකත්වය ගොඩ නගන්න නම් පුංචි ලිඳක මහ ගෙම්බෙක් වෙලා ඉන්න පුලුවන්.

පුංචි ලිඳක වැටිලා ඒක අස්සේ ඉඳන් ක්‍රොක් ක්‍රෝක් කියලා කෑ ගැහුවට, ඒකෙන් අපිට වත් ලිඳට වත් ලිඳේ ජීවත්වන අනිත් ගෙම්බන්ටවත් වැඩක් නැහැ අපි ලෝකයත් එක්ක ගමන් කරන්න ඕන

එතකොට විතරමයි අපිට පුලුවන් වෙන්නේ මේ රට දියුණු කරන්න.

කොරියාව ලබා ඇති ප්‍රගතිය :

මට මතකයි අපි පොඩිකාලේ මුඩුක්කු තියෙන ප්‍රදේශවලට කියන්නේ මොකක්ද කොරියාව කියලා. දුප්පත්ම පැතිවලට.

අද මොකක්ද වෙලා තියෙන්නේ අපේ මුඩුක්කුවල, ගම්වල ජීවත්වන අසරණ තරුණයන් කොරියාවට ගිහිල්ලා කුණු බාල්දියක් හරි අදින්න පෝලිමේ ඉන්නවා භාෂාව ඉගෙන ගන්නවා ඒ ඔක්කොම කරනවා.

එදා ජපානට විතරයි අපි සෙකන්ඩ් වුනේ. ඔය ඔක්කොම රටවල් පල්ලෙහයින් තිබුණේ බංගලාදේශය ඊටත්වඩා පල්ලෙහා. ඒක ආවේ 1973 ද කොහෙද රටක් හැටියට .

නමුත් අද අපි මේ කළාපයෙන්ම ටික ටික පස්සට යනවා. ඊයේ පෙරේදා අගමැතිතුමා ගිහිල්ලා බංගලාදේශයෙනුත් ණයක් ගත්තා.

බංගලාදේශය කියන්නේ මේ ආර්ථිකයේ ගමන් මග හොඳටම තේරුම්ගත්ත රටක් අපි ඒ අයට ප්‍රශංසා කරන්න ඕන. නමුත් මම එහෙම කිව්වේ බංගලාදේශයට නින්දා කරන්න නෙවෙයි අපි ආපු මාර්ගය වටහා ගන්න.

අන්න ඒ නිසා තමුන්නාන්සේලා හිතන්න කල්පනා කරන්න රූපවාහිනියෙන් දැක්ක පලියට මංතරයක් වගේ බොරුව නැවත නැවතත් කියපු පලියට මේවා විශ්වාස නොකොට විශේෂයෙන්ම අනාගතය භාරගන්න ඉන්න අපේ දූ දරුවන් තරුණ තරුණියන් ගැන හිතලා වත් මේ මොහොතේ අපි කටයුතු කරන්න ඕන.

අපි ඉතාමත්ම භයානක සන්ධිස්ථානයක ඉන්නේ, ආර්ථික වශයෙන්ම භයානක සන්ධිස්ථානයක ඉන්නේ. ජාත්‍යන්තරයෙන්ම යළි වතාවක් හුදෙකලා වෙලා ඉන්නේ.

අපේම මේ පුංචි ලස්සන රටේ භූමිය පවා අපිට අහිමි වෙමින් තියෙන්නේ. ගස්කොලන් සත්ව සිව්පාවන් පවා අපිට අහිමි වෙමින් තිබෙන්නේ. අන්න ඒ නිසා අපි දැන්වත් හොඳට කල්පනා කරලා ඇස් දෙක ඉදිරියේ තියෙන ඔය වෙන වෙන අදහස් පැත්තකට දාලා මම මුලින් කිව්වා වගේ සැබෑ දේශප්‍රේමියෙක් වෙනවාද? තමන්ගේ වාසියට පමණක් දේශප්‍රේමය විකුණාගෙන කනවද කියන තීන්දුව ඔබ හැම දෙනාම ගන්න කියන ඉල්ලීම කරමින් මම මගේ කරුණු පැහැදිලි කිරීම නිමා කරනවා.

– මාධ්‍ය අංශය

28,419 views

25 Comments to “2015දි මුළු ලෝකේම අපි සමගයි… අද ලංකාවට ඉන්නේ අසාර්ථක රාජ්‍ය අතළොස්සක් විතරයි… දැන් ගැලවෙන්න බෑ…”

  1. D.Nimal says:

    That designer turn politician of Mangala samaraweera who has no knowledge of studies Political Science and politics of world order by himself. How is that such man be fit of governances of democracy of any country? He read by other mind of thinking not by that self studies or Not being any higher Education in life times ? He hold Two Important of Foreign & Financial Ministries in last govt of UNP regime of which was most corrupt party in power after 1948@

Main News