2017 අයවැයෙන් මෙරට ආර්ථිකය හැකිලීයන බව ස්ථිරයි..

November 18, 2016 at 11:20 am | lanka C news
2017 අයවැයෙන් මෙරට ආර්ථිකය හැකිලීයන බව ස්ථිරයි..

පසුගිය දා ඉදිරිපත්වූ අයවැය වාර්තාව තුළින් අධ්‍යාපනය ක්ෂේත්‍රයට අදාලව ඉදිරිපත්වූ  ජනප්‍රිය යෝජනාවන් සහ රථවාහන දඩ වැඩිකිරීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ මතය පැහැදිලි කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවක් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්, අධ්‍යාපන ලේකම් බෝසෙත් කළහෙපතිරණ යන අය එම අවස්ථාවට සහභාගීවූහ.

මෙහිදී අදහස් දැක්වූ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා විසින් මෙවර අයවැයෙන් උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් යන්ත්‍ර සහ නවීන තාක්ෂණික උපාංග බෙදාදීමට රජය විසින් ගනුලැබූ තීරණය අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන්කිරීමේදී අවධානය යොමුකළ යුතු ප්‍රමුඛතාවයන් කෙරෙහි අවධානය යොමු නොකර ගනුලැබූ හුදු ජනප්‍රිය තීරණයක් බවත් එම තීරණය ජාතික හෙළ උරුමය විසින් කිසිවිටෙකවත් අනුමත නොකරන බවත් අවධාරණය කරන ලදි.

එහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරුද්ධ ප්‍රදීප් මහතා –

අද ලෝකේ කොහෙවත් පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවලා නැහැ. එහෙම තිබියදීත් ලක්ෂ 08ක ණය පහසුකම් හඳුන්වාදීමෙන් පුද්ගලික විශ්ව විද්‍යාල ධෛර්යමත් කරන යෝජනාවක් මෙවර අයවැයට ඉදිරිපත් කිරීමට අපේ රටේ ව්‍යවස්ථා සම්පාදකයින් කටයුතු කිරීම අවාසනාවන්ත තත්වයක් කියන එක පෙන්වා දීමට කැමතියි.

අධ්‍යාපනය කියන්නේ පාන්, බනිස්, අයිස්ක්‍රීම් වගේ වෙළඳ ද්‍රව්‍යයක් නොවෙයි. වෙනත් භාණ්ඩ මිලදීගත් පසුව ක්ෂණිකව ඒවායෙහි ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන්. ඒ කියන්නේ ඒ භාණ්ඩ පාවිච්චි කරද්දීම ඒවායෙහි ගුණාගුණ දැනගන්නට පුළුවන්. නමුත් අධ්‍යාපනය සම්බන්ධයෙන් එහෙම ක්ෂණික අදහසක් ඇතිකර ගන්න බැහැ. සමහරවිට ළමයෙකු තමන් ලැබූ අධ්‍යාපනයේ හොඳ නරක දැනගන්නේ වසර 10ක් 15ක් හෝ 20ක් විතර ගියාට පසුවයි. ඒ නිස අධ්‍යාපනය සම්බන්ධයෙන් රාජ්‍ය නියාමනය අත්‍යාවශ්‍ය බව අප මෙහිදී අවධාරණය කර සිටිනවා.

ඒ වගේම අධ්‍යාපනය පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී අප විසින් සිදුකළ යුත්තේ කාලෝචිතව ගතයුතු හොඳම තීරණය තේරීමයි. වෙනත් විදියකට කියනවා නම් වඩා ඒ අවස්ථාවේදී ප්‍රමුඛම කාර්ය ඉටුකිරීමයි. මෙවර අයවැයෙන් ටැබ් බෙදීමට ගනුලැබූ තීරණය එලෙස ප්‍රමුඛතා හඳුනගෙන ගත් තීරණයක් නොවන බව ඉතා පැහැදිලියි. අපේ ප්‍රතිපත්ති සම්පාදකයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් යම් ආකාරයකින් ප්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කරනවා නම් ඔවුන් පළමුව කළයුතුව තිබුනේ අපේ රටේ පාසැල් අතර තිබෙන විෂමතාවයන් දුරුකිරීමයි. උදාහරණයක් ලෙස කියනවා නම් මහජන බැංකුවේ කොළඹ ශාඛාවකයි කහටගස්දිගිලියේ ශාඛාවේයි එකම වගේ පහසුකම් තිබෙනවා. නමුත් අපේ පාසැල් ගත්තාම එබදු එකම ප්‍රමිතියක් දකින්න ලැබෙන්නේ නෑ. ඒ බව මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවල රටේ ප්‍රභූන් ඡන්දය දමන පාසැල්වල රූප දර්ශන වලින් මනාව ඔප්පු වෙනවා. කොළඹ හා නගරබඳ පාසැල්වල නවීන පිහිණුම් තටාක ඉදිවෙද්දී ලංකාවේ සමස්ත පාසැල් වලින් 50%කම  වැසිකිලියක් වත් පිළිවෙලකට නැහැ.

පාසැල් විෂය නිර්දේශයේ බර සැහැල්ලු කිරීම කියලා කියන්නේ අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන්කිරීමේදී ප්‍රමුඛතාවය ලබාදිය යුතු දෙවන කරුණයි. පසුගිය දිනවල විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පසුගිය දිනක කෘතියක් එළිදක්වලා ප්‍රකාශකලා අපේ දරුවන්ට වත්මන් විෂය නිර්දේශය බරවැඩියි කියන එක ඔප්පු කලා. එහෙත් එවැනි වැදගත් තීරණ ගන්නේ නැතිව මෙවැනි හුදු ජනප්‍රිය තීන්දුවලට එළඹීම වැරදි සහගත බව නැවත වරක් ප්‍රකාශ කළයුතුයි.

ඒ වගේම ටැබ් දෙන්න තීරණය කරන්න කලින් ඒ ගැන ලංකාවේ ඉන්න අධ්‍යාපඥයින්ගේ හෝ අධ්‍යාපන මනෝ විද්‍යාඥයින්ගේ මතය විමසුවාද? එසේත් නැත්නම් මේ වනවිට ටැබ් සහ ජංගම දුරකථන නිසා ලංකාවේ ළමුන්ට සිදුව ඇත්තේ යහපතක්ද? අයහපතක්ද? කියන එක හොයලා බැලුවාද කියලා මේ තීරණ ගත්ත අයවලුන් වහාම පිළිතුරු ලබාදිය යුතුයි කියන එකත් අප මෙහිදී ප්‍රකාශ කර සිටිනවා.

මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති අධ්‍යාපන යෝජනාවලට අමතරව රථවාහන දඩ වැඩිකිරීම සම්බන්ධයෙනුත් සමාජයේ වැඩි කථාබහක් ඇතිවෙලා තිබෙනවා. රථවාහන අනතුරු වැලැක්වීමේ අරමුණින් මාර්ගනීති කඩකිරීමට එරෙහිව අයකරන දඩගාස්තු වැඩකිරීමට රජය විසින් ගනුලැබූ තීරණය අපත් අනුමත කර සිටිනවා. ඒ වගේම පොලිසිය විසිනුත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් තමන් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය වෙනස් කළයුතු බවත් අපේ අදහසයි. මේ වනවිට අපේ රථවාහන පොලිසිය කරන්නේ රියදුරන්ට වැරදි කරන්න ඉඩදීලා ඔවුන්ගෙන් දඩ එකතු කරගන්න එකයි. ඒක හරියට කෙමනවල් අටවලා මාලු අල්ලනවා වගේ වැඩක් වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රථමයෙන්ම පොලිසියේ ඒ ක්‍රමවේදය වෙනස් කර ගතයුතුයි.

ඒ වගේම මේ සම්බන්ධයෙන් අපේ දෙවන යෝජනාව වන්නේ පොදු ප්‍රවාහනයට අදාල දඩ ප්‍රමාණයන් තවත් ඉහළ දමන්න කියන එකයි. බස් රියදුරෙක් වරදක් කලොත් ජීවිත ගණනාවක් අනතුරුට පත්වනවා. රටක් දියුණු වෙනවා කියන්නේ සියලු දුප්පතුන්ට වාහන ලැබෙනවා කියන එක නෙවෙයි. ඒ නිසා විශේෂයෙන්ම පෞද්ගලික බස්රථ රියදුරන්, පාසැල් වෑන් රථ රියදුරන්, ත්‍රීවිල් රථ රියදුරන් සිදුකරන රථවාහන වැරදි සම්බන්ධයෙන් වැඩි දඩ අයකළ යුතුයි.

අධාපන ලේකම් බෝසත් කළහෙපතිරණ මහතා –

මෙවර අයැයෙන් අධ්‍යාපනයට වෙන්කළ මුදල සම්බන්ධයෙන් අපට කිසිවිටෙකත් සෑහිමකට පත්විය නොහැකියි. පසුගිය ජනපතිවරණ වේදිකාවේ අධ්‍යාපනය සඳහා 6%ක් වෙන්කළ යුතුබවට අදහස් ඵලවුනා. එලෙස 6% ක් ගැන ප්‍රදර්ශනාත්මකව ප්‍රකාශ කලාට සිදුවුයේ ගොඩනැගිලි ඉදිකරලා කොමිස් ගහන්න මුදල් වෙන්කිරීම පමණයි. එහෙම ගොඩනැගිලි වලට මුදල් වෙන්කරත් දරුවන්ගේ ගුණාත්මක සංවර්ධනය උදෙසා  අවධානයක් යොමු නොකිරීම සම්බන්ධයෙන් අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම හුණු කෑල්ලෙන් ලියන පංති කාමර තියෙන රටේ පාසැල් සිසුන්ට ටැබ්  බෙදන්න කථාකරීම එක විහිළු සහගත වැඩක් බවත් මෙහිදී ප්‍රකාශ කළයුතුයි.

ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා –

මෙවර ඉදිරිපත්වූ අයවැය වාර්තාව නිදහස් ලංකාවේ 71 වැනි අයවැයයි. එමඟින් නවෝත්පාදනය සඳහා රජය විසින් වැඩි මුදලක් වෙන්කරයි කියලා අප බලාපොරොත්තු වුනා. ඒත් එහෙම වෙලා නැතිබවක් පෙනීයාම කණගාටුදායක බව මෙහිදී සිහිපත් කළයුතුයි. 2015 ඉදිරිපත්වූ අයවැය, සරදියෙල් අයවැයක් බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කළබව අපට මතකයි. මාලිගා බද්ද වගේ බදු ගැසීම හා රජයේ සේවකයින්ට රුපියල් 10000කින් පඩි වැඩිකරනවා වගේ පොහොසතුන්ගෙන් අන් දුප්පතුන්ට වරප්‍රසාද ලබාදෙන යෝජනා ඇතුලත් කරලා දැක්මක් හෝ වැඩපිළිවෙලක් නොමැතිව සකස්කල එම අයවැය, සරදියෙල් අයවැයක්  ලෙස හැඳින්වීමට හේතු උනා.

ඒ වගේම මෙවර අයවැය ඉදිරිපත් කිරීමට පෙර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේ රට හොල්මන් වන අයවැයක් ඉදිරිපත් කරනවා කියලයි. එහෙත් එය ඉදිරිපත්විමෙන් පසු ඔප්පුවෙලා තිබෙනවා මෙවර ඉදිරිපත්ව ඇත්තේ සකසුරුවම් අයවැයක් කියලා.  ඒ කියන්නේ ආදායම් උපයන යෝජනා එක පසකින් ඉදිරිපත් කරද්දී අනෙක් පසෙන් වියදම් පාර්ශවය පාලනය කිරීම සිදුකරන බවක් පෙනීයනවා. ඒ නිසා මේ අයවැයෙන් සිදුව ඇත්තේ රටේ ආර්ථිකය ප්‍රසාරණය වීම නොව එය හැකිලීයාම බව ප්‍රකාශ කරන ලදි.

මහේෂ් රංගන ජයරත්න
මාධ්‍ය ඒකකය
ජාතික හෙළ උරුමය

19 views

One Comment to “2017 අයවැයෙන් මෙරට ආර්ථිකය හැකිලීයන බව ස්ථිරයි..”

  1. openmind says:

    hela urumetath jathiya etha kaale thibuna widihatama thiyanawanam hondai kiyala hithenawa ethi. ethakota owun dinum

Main News