2017 අයවැය කාන්තාවන්ට සහන සැලසූ අයවැයක්…

November 17, 2016 at 8:02 am | lanka C news
2017 අයවැය කාන්තාවන්ට සහන සැලසූ අයවැයක්…

2017 වර්ෂය සදහා මෙවර ඉදිරිපත් කළ අයවැය කාන්තාවන් වෙනුවෙන් විශේෂ සහන රැසක් සැලසූ අයවැයක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පැවසුවාය.

අයවැය විවාදයට ඊයේ (16) පස්වරුවේ එක්වෙමින් එතුමිය කියා සිටියේ, කාන්තාවන්ගේ ජීවත තත්ත්වය උසස් කරමින් කාන්තාවන් කෙරෙහි ගෞරවනීය අනාගතයක් උදා කිරීම වෙනුවෙන් මෙවර අයවැය කැපවී ඇති බවයි.

මෙහිදී පාර්ලිමේන්තුව ඇමතූ නියෝජ්‍ය අමත්‍යතුමිය මෙසේ අදහස් දැක්වූවාය.

“අද රටේ ජනතාවගෙන් සියයට 52ක්ම ඉන්නේ කාන්තාවන්. ඒ වගේම, සමස්ත ජනගහනයෙන් සියයට 25ක්ම ඉන්නේ වයස අවුරුදු 19-34ත් අතර කාන්තාවන්. 2041 වදර වන විට ලංකාවේ සියයට 25ක් වයස අවුරුදු 60 ඉක්මවූවන් වෙනවා. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය ගත්තොත් කාන්තාවන්ගේ දායකත්වය සියයට 36ක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් සැලකුවොත් එය සමස්ත සිසු-සිසුවියන්ගෙන් සියයට 50කට වඩා වැඩියි.

මෙවර අයවැය මගින්, ඉදිරි වසර 25 දී තරුණ හා මැදිවිය කාන්තාවන්ගේ කුසලතා හා දක්ෂතා ඔප් නංවමින් උපරිම දායකත්වයක් රටට ලබා ගැනීම සදහා වැඩසටහන් ගණනාවක් යෝජනා කර තිබෙනවා. දැනට උසස් අධ්‍යාපනය හදාරමින් සිටින හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන අය වෙනුවෙන් දස අවුරුදු ආපසු ගෙවීමේ කොන්දේසි සහිත රුපියල් ලක්ෂ 15 දක්වා වන ණය මුදලක් ලබා දීමට 2016 දී ගත් තීරණය අඛණ්ඩව පවත්වාගෙන යාමට යෝජනා කිරීම අගය කළ යුතුයි. මෙමගින් ස්වයං රැකියා ආරම්භ කිරීම, ඒවා වැඩිදියුණු කිරීම හා මුල්‍යමය අර්බුදයකින් තොරව තම ව්‍යාපාර නව ක්ෂේත්‍රයන් සදහා යොමු කිරීමට කාන්තාවන්ට හැකියාවක් ලැබී තිබෙනවා.

ඒ වගේම, දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු හරහා සෑම ග්‍රාම නිළධාරී කොට්ඨාශයක් වෙතම රුපියල් මිලියනයක මුදලක් නිදහස් කිරීමට යෝජනා කර තිබෙනවා. මෙමගින්, පනස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විසින් දියත් කරන කණ්ඩායම් ස්වයං රැකියා වැඩසටහන් සදහා පොළී රහිත ණය මුදලක් ලබා දීමට යෝජනා කර ඇත. ඒ අනුව විශේෂයෙන්ම කාන්තාවන්ට පුළුවන් වෙනවා- කෘෂිකාර්මික, අත්කම්, බිම්මල් වගා, කාර්මික, විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන සහ විසිතුරු මල් වගා යන අංශයන්ගේ ස්වයං රැකියා වෙනුවෙන් රුපියල් මිලියන 7,000ක් වෙන් කිරිමට යෝජනා කර තිබෙනවා. මෙමගින් නව රැකියා අවස්ථා 350,000ක් පමණ උත්පාදනය වනු ඇතැයි විශ්වාස කෙරේ. මින් අති බහුතර අවස්ථාවක් හිමි වන්නේ කාන්තාවන්ට බව සදහන් කළ යුතුයි.

ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙවර අයවැයෙන් කාන්තාවන්ගේ ශ්‍රමය වෙනුවෙන් නිසි වටිනාකමක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

දැනට සියයට 36ක් වන කාන්තා ශ්‍රම දායකත්වය 2020 වන විට සියයට 40 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා යෝජනා කරලා තියනවා. ඒ වගේම, සේවකයින් 500 ඉක්මවා සේවය කරන සෑම සේවා ස්ථානයකම ‘ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්‘ ආරම්භ කිරීමට යෝජනා කර තිබෙනවා. මෙමගින් දරුවන් බලා ගැනීමේ අවශ්‍යතාව මත රැකියාවන්ගෙන් හා ව්‍යවසායන්ගෙන් ඉවත්වන හා දුරස්වන කාන්තාවන්ගේ දායකත්වය අඛණ්ඩව ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන බව විශ්වාසයි.

ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනි, නුපුහුණු ශ්‍රමික කාන්තාවන් මේ වන විට විවිධ රැකියාවන්ගේ නිරත වෙමින් සිටියි. මෙය වඩාත් ඵලදායී හා ගුණාත්මක සේවාවක් ලබා ගැනීම සදහා ඇති බාධාවක් බව අවිවාදයෙන්ම පිළිත යුතු කරුණකි.

මේ වන විට මැදපෙරදිග කලාපයේ සේවය කරන විදේශ ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාවට හිමිවන විදේශ විනිමය ප්‍රමාණය ඇ.ඩො.මිලියන 7,000කි. මෙසේ සේවය කරන බහුතරය කාන්තාවන් වේ. ඉදිරියේදී විදේශ රැකියා අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කළ යුතු බවට මැදපෙරදිග සේවය කරන ශ්‍රමිකයින්ගේ වැටුප් සදහා අවම අගයක් අයවැය මගින් යෝජනා කර ඇත. ඒ අනුව, පුහුණු ශ්‍රමිකයකු සදහා අවම වශයෙන් මාසිකව ඇ.ඩො. 450ක් ද නුපුහුණු ශ්‍රමිකයකු සදහා අවම වශයෙන් මාසිකව ඇ.ඩො. 350ක් ද ගෙවන වැඩසටහනක් ආරම්භ කරන ලෙස අයවැය මගින් ඉන්නීමක් කර ඇත. අවම වැටුප පිළිබද සහතිකයකින් තොරව විදේශගත වීමට අවස්ථාවක් ලබා නොදිය යුතු බව ද අයවැය යෝජනා වල ඇතුළත් වේ. විදේශයන්ගේ සේවය කරන ශ්‍රමිකයින් සදහා විශ්‍රාම වැටුපක් යෝජනා කර ඇත. මගින්ද වැඩි ප්‍රතිලාභයක් අත්කර ගත හැක්කේ විදේශ ශ්‍රමිකයින් ලෙස කටයුතු කර කාන්තාවන්ටයි.

ඒ වගේම, බැංකු ණය ලබා දීමේ දී (Lending Portfolio) කාන්තාවන් සදහා සියයට 5 ක ණය කලඹක් වෙන් කිරීමට අයවැය මගින් යෝජනා කැ ඇත.

ඒ වගේම, මෙවර අයවැයේ දී කාන්තාවට විශේෂයෙන්ම බලපාන මුළුතැන්ගෙය සදහා සහන සලසා දීමට පියවර ගෙන ඇත. මෙම අඩුකිරීම් සිදු කරනු ලැබ ඇත්තේ 2015 අතුරු අයවැය හා 2016 අයවැය මගින් ද මිල විශාල ලෙස පහත හෙළීමෙන් පසුව වීම විශේෂත්වයකි.

ඒ වගේම, ගරු මන්ත්‍රීතුමනි, රජයේ විවෘත සහයෝගීතාවයේ දී කාන්තාවන් හා කාන්තා දේශපාලන සහභාගීත්වය සදහා පසුගිය 2015/16 වසර වලදී වැඩි උනන්දුවක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව, කාන්තාවන් සදහා පළාත් පාලන ආයතන තුළ නියෝජන අවස්ථාව 25%ක අනිවාර්ය කෝටාවතක් ලබා දීම, කාන්තාවන් වෙනුවෙන්, ගැබිණි මව්වරුන් සදහා පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහන දිවයින පුරා සිදුවෙමින් තිබේ. කාන්තාවන් දස ලක්ෂයක් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම හා රුපියල් ලක්ෂයක නව ආදායමක් ලබා ගත හැකි පරිදි ‘ධන සවිය‘ නමින් අපනයන කෘෂිබෝග වගා හා ප්‍රාථමික කර්මාන්ත යෙදවුම් ස්වයං රැකියා වැඩසටහනක් මේ වන විටත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත. පුද්ගලික අංශයේ සේවකයින් වෙනුවෙන් රුපියල් 2,500ක වැටුප් වැඩිකිරීමක් රජය විසින් ලබා දීමට කටයුතු කළේය. මෙහිදී, අඩු වැටුප් යටතේ වැඩ කරන බහුතරයක් වන කාන්තාවන් සදහා ආර්ථික ශක්තියක් එකතු විය.

ගරු මන්ත්‍රීතුමනි, කාන්තාවන් යනු ‘විදෙස් මුදල් ඉපයීමේ භාණ්ඩයක්‘ ලෙස සලකමින් පුහුණු නුපුහුණු භේදයකින් තොරව විදේශ සේවයට යොමු කිරීම හා එමගින් කාන්තාවන්ට මුහුණ පෑමට සිදු වූ සමාජයීය හා සෞඛ්‍ය හානි වලක්වාලමින් කාන්තාවන් විදේශගතවීම නියාමනය කිරීම සදහා රජය මැදිහත් වීම විශේෂත්වයක් ලෙස සලකන්න පුළුවන්.

මෙරට පවුල් සංඛ්‍යාවෙන් 20% කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ වැන්දඹු කාන්තාවන් බව අපි දන්නවා. යුද්ධය හා වෙනත් හේතු හේතුවෙන් මෙලෙස පවතින වැන්දඹු පවුල් සදහා විශේෂ වැඩසටහන් රැසක් වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වනවා.“

එසේම, තමන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීමකට මෙවර අයවැයේ දී යහපත් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය මුදල් අමාත්‍යවරයාට හා සෞඛ්‍ය අමාත්‍යවරයාට විශේෂ ස්තුතියක් ද දැක්වූවාය.
“මම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනි, අයවැයට පෙර මම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමන් සමග කතා කළා තැලසීමියා රෝගීන් සම්බන්ධයෙන්. අපි රජයක් විදිහට මේ රෝගීන් වෙනුවෙන් රුපියල් මිලයන 1600ක් පමණ වෙන් කරනවා.

තැලසීමියා රෝගීන් සදහා ඇටමිදුළු බද්ධ කිරිමේ මධ්‍යස්ථානයක් වෙනුවෙන් මම ඉල්ලීමක් කළා සෞඛ්‍ය අමාත්‍යතුමන්ගෙන් රුපියල් මිලියන 250ක් වෙන් කරන්න කියලා. මම ස්තූතිවන්ත වෙනවා ගරු අමාත්‍යතුමන් මගේ යෝජනාව පිළිගෙන රුපියල් මිලියන 500ක් මේ වෙනුවෙන් වෙන් කිරීම ගැන.

ඒ වගේම මම යෝජනා කරනවා, මෙම මුදල්ම භාවිත කරමින් තැලසීමියා රෝගීකන් හදුනාගැනීමේ වැඩසටහන් දිවයිනේ පාසල් ආශ්‍රිතව දියත් කරන්න පියවර ගන්න කියලා. ඔවුන්ගේ රුධිර පරීක්ෂාවකින් පසුව, ඔවුන් වෙනුවෙන් හැදුනුම්පතක් ලබා දෙන ලෙස ද මම යෝජනා කරනවා.“

– භාරත තෙන්නකෝන්

19 views

2 Comments to “2017 අයවැය කාන්තාවන්ට සහන සැලසූ අයවැයක්…”

  1. upul says:

    කාන්තාවන්ට විතරක් සහන සැලසෙන්නේ මොන ක්‍රමවෙදෙටද? එක දෙයක් දන්නවා, නමුත් මේකේ ලියන්න බැහැ . මොකෝ ඒවගේ මිල අඩු කරලද?

  2. suji says:

    එතකොට අර ඉන්දියන් ගනිකාවො තරුන මන්ත්‍රී ලට ගේන එකට මොකද කියන්නෙ.

Main News