2020 වන විට කුරුඳු අපනයනය දෙගුණ කළ හැකියි..

March 2, 2017 at 2:07 am | lanka C news
2020 වන විට කුරුඳු අපනයනය දෙගුණ කළ හැකියි..

ලොව හොඳම කුරුඳු ලෙසින් ශ්රී ලංකා කුරුඳු පිළි ගැනීමට ලක්ව තිබෙන නිසා, තවදුරටත් පර්යේෂණ හා සංවර්ධන කටයුතු මඟින් එහි ප්රමිතිය ඉහළ නැංවීම හරහා 2020 වන විට කුරුඳු අපනයනය දෙගුණයක් කිරීමට රජයට හැකි වනු ඇතැයි ප්රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ පවසයි.

කුරුඳු සඳහා හොඳ අපනයන වෙළෙඳපොලක් පැවතියද, එම ක්ෂේත්රයේ පර්යේෂණ මෙතෙක් සිදු කර ඇත්තේ ඉතා මඳ වශයෙන් බව පෙන්වා දෙන ඔහු, ඊට පිළියමක් ලෙසින් ජාතික විද්යා පදනමේ ද සහාය ඇතිව ක්ෂේත්රයේ පර්යේෂණ වැඩි වශයෙන් සිදු කිරීමට තීරණය කර ඇති බව කියා සිටී.

කුරුඳු ක්ෂේත්රයේ ප්රවීනයින්, අපනයනකරුවන්, විද්වතුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල ප්රාථමික කර්මාන්ත අමාත්යංශයේ දී පැවති කුරුඳු පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සමාරම්භක අවස්ථාව අමතමින් ඔහු ඒ බව පැවසීය.

විශ්ව විද්යාල, පෞද්ගලික අංශය ඇතුළු කොටස්වල ද සහාය ඇතිව පිහිටුවන විශේෂ අංශයක් හරහා පර්යේෂණ පැවැත්වීමට මුදල් සම්පාදනය කරන බවත්, අවශ්ය ප්රතිපාදන ලබා දීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා හෙළි කර සිටියේය.

මාතර පිහිටි කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේදී පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම වෙනුවෙන් රජය රු. මිලියන 50ක මුදලක් වෙන් කළ ද, අදාළ වර්ෂයේදී සිදු කර ඇත්තේ පාංශු පරීක්ෂාවන් 20 පැවැත්වීම පමණක් බව හෙතෙම කීය.

එම දෙපාර්තමේන්තුව පර්යේෂණ 137ක් සිදු කොට ඇතත්, ඒවා පර්යේෂණ පත්රිකාවලට පමණක් සීමා වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

තවදුරටත් අදහස් දක්වමින් ගමගේ මහතා පැවසූයේ, අම්පාර, පොලොන්නරුව ඇතුළු සම්ප්රදායික නොවන කුරුඳු වගා කිරීමේ ප්රදේශවලට ද කුරුඳු වගාව ව්යාප්ත කරන බවයි.

අමාත්යංශයේ ලේකම් බන්දුල වික්රමාරච්චි ද මෙම අවස්ථාව ඇමතූ අතර, 2020 වන විට කුරුඳු අපනයනය දෙගුණ කිරීම සඳහා අමාත්යංශය උපායමාර්ගික සැලසුමක් සකස් කොට ඇති බව ඔහු පැවසීය.

විදේශීය වෙළෙඳපොල සඳහා අගය එකතු කළ කුරුඳු නිෂ්පාදන යැවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ද ඔහු කියා සිටියේය.

කුරුඳු ක්ෂේත්රයේ පර්යේෂණ පැවැත්වූ විද්වතුන් පස් දෙනෙකුට ඔවුන්ගේ පර්යේෂණ පත්රිකා වෙනුවෙන් සහතික ප්රදානය කිරීම මෙම අවස්ථාවේදී ඇමතිවරයා අතින් සිදු කෙරිණි.

– ජෝර්ජ් පෙරේරා

51 views

One Comment to “2020 වන විට කුරුඳු අපනයනය දෙගුණ කළ හැකියි..”

  1. aniwa says:

    can someone tell me what relationship දයා ගමගේ have with cnews please ?

Main News