කාන්තාවන් 08කගේ මාල කැඩූ ලෝක හොරෙක් අල්ලයි…

August 28, 2018 at 2:02 am | lanka C news
කාන්තාවන් 08කගේ මාල කැඩූ ලෝක හොරෙක් අල්ලයි…

හික්කඩුව, හබරාදූව ඇතුළු පොලිස් වසම් 05 ක මහමග ගමන් කල කාන්තාවන් අට (08) දෙනෙකුගේ රුපියල් ලක්ෂ දහයකට (10,00000/-) ආසන්න වටිනාකමකින් යුත් ගෙලබැදි රන්මාල 08 ක් කඩා ගත්තේ යැයි හික්කඩුව පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 2018 සැප්තැම්බර් මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා අයි හෙට්ටිවත්ත මහත්මිය නියෝග කළාය.

සැකකරු සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් මීලග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය මෙහිදී වැඩි දුරටත් නියෝග කළාය.

සැකකරු සන්තකයේ තිබී රන්මාල කඩාගැනීම සදහා යොදා ගන්නා ලද යතුරු පැදිය හා අත් අඩංගුවට ගැනීමට ස්වල්ප වේලාවකට පෙර වදුරඹ ප්‍රදේශයෙන් කඩාගන්නා ලද රන්මාලයක්ද හික්කඩුව පොලීසිය මගින් සොයා ගෙන තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ අගුළුගහ, හබරාදූව ලිපිනයේ පදිංචි පිටුවල ගමගේ සුනිල් ශාන්ත (31) නැමැති අයයි.

හික්කඩුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අයි ජී ඩබ්ලිව් ලක්මාල් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මාර්ග සෝදිසියේ යෙදී සිටියදී සැකකටයුතු අංක තහඩුවක් සහිත ඩිස්වරි වර්ගයේ යතුරු පැදියක් ඔවුන් පසුකර ගොස් ඇත. එම අංක තහඩුව හා යතුරුපැදිකරු පැලද සිටි ජැකට් එක පිළිබදව සැකසිතී වෙනත් යතුරු පැදියකින් සැකකරු ලුහුබැද ගොස් ඇත. එහිදී සැකකරු යතුරු පැදිය හික්කඩුව – බද්දේගම මාර්ගයේ පතන ප්‍රදේශයේ අතුරු පාරකට හරවා පලා යෑමට උත්සාහ කිරීමේදී අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පැමිණි යතුරු පැදියේ අංක තහඩු වෙනස්කර ස්ථිර අංක තහඩු වලට උඩින් වෙනත් අංකයන් අලවා තිබී ඇත. එහි ස්ථිර අංකය වී ඇත්තේ SP BGJ – 0513  යන්නයි. යතුරු පැදියේ ඉදිරිපස අංකය WP BGF – 6540  යනුවෙන්ද පිටුපස අංකය WP BGF – 3868 යනුවෙන්ද වෙනස් කර තිබූ බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී හික්කඩුව පොලිස් වසමේ රන්මාල 03 ක්, හබරාදූව පොලිස් වසමේ රන්මාල 02 ක්, වදුරඹ, අක්මීමන හා බද්දේගම පොලිස් වසම් තුල රන්මාල 01 බැගින් මංකොල්ල කෑම් පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. මෙයින් එක් රන්මාලයක් හබරාදූව දැඩිගම උකස් මධ්‍යස්ථානයට තමන්ගේම හැදුනුම්පත භාවිතා කරමින් උකස්කර රුපියල් 1,07,000/- ක් ලබාගෙන තිබේ. සැකකරු අත් අඩංගුවට ගැනීමෙන් පසු තමා අත් අඩංගුවට ගත් ස්ථානයේ ඊට ස්වල්ප වේලාවකට පෙර වදුරඹ ප්‍රදේශයෙන් කඩාගත් රන්මාලයක් විසිකල බව පොලීසියට දන්වා තිබෙන අතර පොලීසිය පසුව සැකකරු සමග ගොස් එම රන්මාලයද සොයාගෙන තිබේ.

රන්මාල කඩා ගැනීමක් සම්බන්ධයෙන් සැකකරු මීට වසරකට පමණ පෙර හික්කඩුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරු බැලීමට පොලීසියට ඔහුගේ සොහොයුරා පැමිණ ඇත. සොහොයුරා පැමිණි යතුරු පැදිය හා ඔහු පැලද සිටි ජැකට් එක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ මතකයේ තිබී ඇත. එම මතකය ඔස්සේ සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු රන්මාල වැඩි ප්‍රමාණයක් කඩාගෙන ඇත්තේ සිය සහෝදරයාගේ යතුරු පැදියෙන් ඔහුගේ ජැකට් එක පැලද ගොස් බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

නමුත් මේ සම්බන්ධයෙන් සැකකරුගේ සහෝදරයා දැන සිට නොමැති බවත් එසේ දැන සිටියාද යන්න සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වන බවත් හික්කඩුව පොලීසිය කියයි. ප්‍රදේශයේ රන්මාල කඩාගැනීම් සම්බන්ධයෙන් අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගත් බවද එවන් සිද්ධීන් වලට මුහුණ දුන් අය සිටී නම් හික්කඩුව පොලීසිය දැනුවත් කරන ලෙසද හික්කඩුව පොලිසිය ඉල්ලා සිටී.

– ජයකාන්ත ලියනගේ

169 views
Main News